“දැන අනතුරු වැළකිය යුතු”
පින්වතුනේ, පින්වත් දරුවනේ, බලාපොරොත්තු නැති විදිහට අපට කරදර ඇතිවෙන්න පුළුවන්. කල්තියාම අනතුරු දැනගන්න ලැබෙනවා. එතකොට නුවණැත්තා කළ යුත්තේ ඒ අනතුරු මගහැරෙන විදිහට කටයුතු කිරීම නේද? එවැනි දෙයක් ගැනයි අපි මේ කතා කරන්නේ.
සැවැත් නුවර මහාධන නමින් වෙළෙන්දෙක් සිටියා. මොහුගේ වස්තුව කොල්ලකෑමේ අදහසින් පන්සියයක සොරු රැළක් මාන බලමින් සිටියා. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. අන්තිමේදී සොරුන්ට ආරංචි වුණා මහාධන වෙළෙන්දා ගැල් පන්සියයක් අරගෙන ඈතට වෙළඳාමේ යන වග.
මහාධන වෙළෙන්දා හරි සැදැහැවත් කෙනෙක්. ඔහු භික්ෂූන් වහන්සේලාටත් ආරාධනා කළා.
“පින්වත් ස්වාමීන් වහන්ස, මං අසවල් පළාතට වෙළඳාමේ පිටත් වෙනවා. ගැල් පන්සියයක් ගමනට සූදානම්. ඔබවහන්සේලා චාරිකාවේ වඩිනවා නම් මා සමඟ වඩින්න. මං දානමානාදියෙන් උපස්ථාන කරන්නම්. එතකොට සුවසේ වඩින්න පුළුවන් නෙව.”
ඉතින් පන්සියයක් භික්ෂූන් වහන්සේලා එයට කැමති වුණා. ඔහු සමඟ පිටත් වුණා. මහාධන වෙළෙන්දා වනාන්තරයට ආසන්නව එක්තරා ගමක දින දෙක තුනක් නවාතැන් ගත්තා. ගොන්නුන්ට කෑම්බීම් සකස් කළා. බඩු බාහිරාදිය පිළිවෙලට ඇසිරුවා.
අර හොරු රැළ වේලාසනින්ම ගොස් වනාන්තරයේ හැංගුණා. මංකොල්ලකෑමට මාන බලාගෙන හිටියා. එක හොරෙකුට කිව්වා ගමට ගිහින් විපරම් කරන්න කියලා. ඒ වෙළෙන්දා එන්නේ කවද්ද කියලා දැනගැනීමටයි. ඉතින් මේ හොරා අර ගමට ගියා. ගිහින් තම මිතුරෙකුව මුණ ගැසුණා.
“මහාධන වෙළෙන්දා කැලෑ පාරෙ පිටත් වෙන්නෙ කවද්ද?”
“මං හිතන්නෙ තව දවස් දෙක තුනකින් පිටත් වේවි. ඇයි ඒකම අවුස්ස අවුස්ස අහන්නේ…?”
“යහළුවා, කාරණය මේකයි. කැලෑවේ හොරු පන්සීයක කණ්ඩායමක් දැන් හැංගිලා ඉන්නවා. අපේ බලාපොරොත්තුව මේ ගැල් ටික අල්ලගන්නයි.”
“හොඳයි! එහෙනම් උඹ පලයන්. අපි දවස් දෙක තුනකින් එනවා…”
ඉතින් මොහු තනියම කල්පනා කළා. ‘ඔව්! එතකොට මං ගන්නෙ කාගෙ පැත්තද? හොරුන්ගේ පැත්තද? වෙළෙන්දාගේ පැත්තද? හොරුන්ගේ පැත්ත ගත්තා කියලා මට ප්‍රයෝජනයක් නැහැ. මේ අහිංසක භික්ෂූන් වහන්සේලා පිළිවෙත් පුරමින් චාරිකාවේ වඩිනවා. භාවනාවෙන් වාසය කරනවා. මේ වෙළෙන්දා දෙන දානයෙනුයි යැපෙන්නේ. බැරිවෙලාවත් සොරුන්ගේ ප්‍රහාරයකට වෙළෙන්දා ලක් වුණොත් මේ අහිංසක භික්ෂූන් වහන්සේලාත් විශාල කරදරයකට වැටෙනවා. මේ වෙලාවේ මං ගත යුත්තේ මේ වෙළෙන්දාගේ පැත්ත….’
ඉතින් අර තරුණයා වෙළෙන්දාගෙන් ඇහුවා,
“පින්වත, තව දවස් දෙක තුනකින් ඔබ වනාන්තර පාරට පිටත් වෙන්නම ඕනද?”
“ඇයි, ඔබ එහෙම අහන්නේ….?”
“මාව විශ්වාස කරන්න. පන්සියයක භයානක සොර මුලක් කැලෑවට රිංගලා ඉන්නවා. උන්ගෙ ඉලක්කය මේ ගැල් පන්සියය මංකොල්ලකෑමයි. ඒ නිසා දැන්ම යන්න එපා…!”
“කොහොමද ඔබ ඒක දන්නේ…?”
“ඒ හොරමුලේ ඉන්නවා මගේ යහළුවෙක්. ඔහු ගෙනුයි මං මේ ඔත්තුව දැනගත්තේ…”
“බොහොම හොඳයි. එහෙනම් දැන්ම යා යුතු නැහැ.”
ඉතින් මහාධන වෙළෙන්දා ඒ නිවසේම තව ටික කාලයක් නැවතුණා. හොරු රැළ බලාපොරොත්තු වෙච්චි දේ තාම සිදුවුණේ නැහැ. ආයෙමත් අර හොරාව පිටත් කළා. ඔහු ගිහින් කලින් පුද්ගලයාටම දැනුම් දුන්නා. එතකොට ඔහුගෙන් දැනගන්න ලැබුණා. මහාධන වෙළෙන්දා ගමන කල් දැමූ බව. වෙන පාරකින් යන්න ලෑස්ති වෙද්දී ඒ පාරෙත් අර සොරමුල ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. මහාධන වෙළෙන්දා ඒ ගමන පිටත් වුණේ නැහැ.
පින්වත් ස්වාමීන් වහන්ස, අපට මේ වතාවෙ ඈත පළාතකට යන්න වෙන්නෙ නැහැ. මං දැන් කීප විටක්ම සූදානම් වුණා. හොරමුලක් ගැවසෙනවා…. යන්න විදිහක් නැහැ. මේ ප්‍රදේශයෙත් වෙළඳාම සරුයි. ඒ නිසා මං ටික කාලයක් මෙහෙ ඉන්නවා. ඔබවහන්සේලා කැමති නම් මෙහෙ වැඩඉන්න. නැත්නම් වඩින්න.”
“පින්වත, අපි එහෙනම් ආපහු වඩින්නම්” කියලා යළි ඒ භික්ෂූන් වහන්සේලා සැවැත් නුවරට වැඩියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා.
“පින්වත් මහණෙනි, මහාධන වෙළෙන්දා සමඟ චාරිකාවේ පිටත්වුණා නේද? ඇයි, ගමන කඩාකප්පල් වුණාද?”
“එසේය, ස්වාමීනී. මහාධන වෙළෙන්දා පාරවල් දෙකකින් ගමනට සූදානම් වුණා. පන්සියයක සොරු රංචුවක් කැලෑ වැදිලා මහාධන වෙළෙන්දා ඉලක්ක කරගෙන ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඒ නිසා ඔහු එහිම නැවතුණා. ඉතින් අපි හැරිලා ආවා.”
“දැන් බලන්න පින්වත් මහණෙනි, සොරුන්ගෙන් වන අනතුර වේලාසනින් දැනගත් මහාධන වෙළෙන්දා ඒ භයානක මාවත අත්හැරියා නෙව. ජීවත් වෙන්න ආස කරන කෙනා හලාහල විෂ තියෙන ආහාරය කොයිතරම් සුවඳ තිබ්බත්, රස තිබ්බත් අනුභව කරන්නේ නැහැ. අත්හරිනවා. ඒ වගේ ඔබත් මේ කාම, රූප, අරූප සෑම භවයක්ම දැක්ක යුත්තේ භයානක සොරුන් අරක්ගත් මාර්ගයක් ලෙසයි. ඒ විදිහට සළකා සියලු පව් අත්හළ යුතුයි.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට මහාධන වෙළෙන්දා අරභයා මෙම ගාථාරත්නය වදාළා.
වාණිජෝ’ව භයං මග්ගං – අප්පසත්ථෝ මහද්ධනෝ
විසං ජීවිතුකාමෝ’ව – පාපානි පරිවජ්ජයේමහධන නම් වෙළෙඳතුමා – රැකවරණය නොමැති නිසා
බියගෙන දෙන මංමාවත් – අත්හැර මගහැරිය ලෙසින්
ජීවත් වනු කැමති කෙනා – වස විස දුරු කරන ලෙසින්
දුක් බිය උපදින පාපය – අත්හළ යුතු මේ විලසින්
පින්වතුනේ, පින්වත් දරුවනේ, අනතුර දැක්ක විට එය මගහැරීම නැණවතුන් විසින් කරන දෙයක්. තමන්ගේ යහපත සළකන කෙනා පවිටු මිතුරන්ගේ අනතුර දැනගත යුතුයි. ඔවුන්ව අත්හළ යුතුයි. භයානක තැන්වලට නොයා යුතුයි. එමෙන්ම පවෙහි ඇති අනතුර ද දැක්ක යුතුයි. එයින් වැළකිය යුතුයි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ