“නුවණ වැඩීමමයි හොඳ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරුන්ට ඤාණය නෑ. ඒ නුවණ මඳකම මුලු ජීවිතයටම බලපානවා. පැවිදි වුණත් බලපානවා.

බුදුරජාණන් වහන්සේගේ කාලෙ ලාලුදායී නමින් එක්තරා භික්ෂුවක් හිටියා. ඔහුත් හැම තිස්සේම වරද්දා ගන්නවා. මංගල අවස්ථාවකදි අවංමගල කරුණු කියනවා. අවංමගල අවස්ථාවකදි මංගල කරුණු කියනවා. මිනිස්සු හරියට පැටලෙනවා. ‘මේ මොනවද මේ නොගැලපෙන දේ කියන්නේ’ කියල දොස් කියනවා. බුදුරජාණන් වහන්සේටත් මේ කාරණය සැලවුණා.

“පින්වත් මහණෙනි, ඔය භික්ෂුව කලින් ආත්මෙත් ඔහොම තමයි. කිව යුතු දේ නෙවෙයි කියන්නේ. පටලවා ගන්නවා. ඒ නිසාම අවුල් හැදෙනවා.

එක්තරා කාලයක බරණැස් නුවර අග්ගිදත්ත කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. ඔහුගේ පුත්‍රයාගේ නම සෝමදත්ත. මොහු රාජ්‍ය සේවයට යනවා. රජ්ජුරුවෝ මොහුට හරී කැමතියි. බ්‍රාහ්මණයා කළේ ගොවිතැනින් ජීවත් වීමයි. දිනක් ඒ බ්‍රාහ්මණයාගේ ගව දෙන්නාගෙන් එකෙක් මැරුණා. ඉතින් බ්‍රාහ්මණයා තම පුතාට මෙහෙම කිව්වා.

“අනේ පුතේ… රජ්ජුරුවන්ට කියාපන්කො අපට එක හරකෙක් දෙන්න කියලා….”

“හප්පේ… මට නම් බෑ… එතකොට මගේ තත්වෙට මොකද වෙන්නෙ?”

“එහෙම කියල බෑනෙ පුතේ… එක හරකයි ඉන්නේ… මං නගුලෙ බඳින්නෙ මොකාවද?… උඹ ඉල්ලන්නෙ නැත්නම් මංවත් ගිහින් ඉල්ලගන්නම්.”

“හොඳයි! තාත්තා යන්න… හැබැයි තාත්තා පටලවා ගන්නවානේ…. රජ්ජුරුවො ළඟට ගිහිල්ලා මොනවා ඉල්ලයිද දන්නෙ නෑ…. අපි මෙහෙම කරමු. මං තාත්තව පුහුණු කරවන්නම්. ඊට පස්සෙ ගිහින් ගවයාව ඉල්ලන්න.”

ඉතින් මේ පුතා තාත්තව එක්කරගෙන කමතට ගියා. පිදුරු ගොඩවල් තුනක් ගැහැව්වා.

“ඔන්න තාත්තෙ බලාගන්න. මේ ඉන්නෙ රජ්ජුරුවො. මෙයා යුව රජ්ජුරුවො. මෙයා සේනාපති. දැන් තාත්තා කරන්න ඕන මේ තුන් දෙනාට පිළිවෙලින් නමස්කාර කිරීම. ඊටපස්සෙ කියන්න ඕන. ‘මහරජතුමනි, ජයවේවා’ කියලා. ඊටපස්සේ මෙන්න මේ කවිය කියන්න ඕන.

පින්වත් රජතුමනි හරක් දෙන්නෙක් සිටියා මා හට
සී සානා විට කුඹුරේ වැඩකර දුන්නා මා හට
මැරුණා දැන් එක ගවයෙක් එකයි සිටින්නේ මා හට
අනේ රජුනි එනිසා තව ගවයෙක් දෙනු මැන මා හට

ඔන්න තාත්තෙ, වරද්දගන්න බෑ… ඕක හොඳට පුරුදු වෙන්න ඕන.”

ඉතින් මේ පියාට ඔය කවිය පුරුදු වෙන්න අවුරුද්දක් ගියා. අන්තිමේදි හිතට දහිරිය අරගෙන රජතුමාට තෑගි බෝග අරගෙන මුණගැහෙන්න පිටත් වුණා. එදා සෝමදත්ත පුතත් රජු අසලම සිටියා. බ්‍රාහ්මණයා ආවා. ‘මහරජ ඔබට ජයවේවා!’ කියල කිව්වා.

“ඔව්. සෑහෙන කාලෙකින්නේ ඔබ මේ පැත්තේ ආවේ… මොකුත් අවශ්‍යතාවයක්වත්ද?”

එතකොට බ්‍රාහ්මණයා මේ කවිය කිව්වා,

පින්වත් රජතුමනි හරක් දෙන්නෙක් සිටියා මා හට
සී සානා විට කුඹුරේ වැඩකර දුන්නා මා හට
මැරුණා දැන් එක ගවයෙක් එකයි සිටින්නේ මා හට
අනේ රජුනි එනිසා ඒ ගවයා ගනු මැන ඔබ හට

පුතාට කර කියා ගන්න දෙයක් නැතුව ගියා. තාත්තා දිහා ඔරොවාගෙන බලා සිටියා. රජ්ජුරුවන්ට තේරුණා මොකක් හරි වරදක් ඇති බව. රජ්ජුරුවො මෙහෙම කිව්වා.

“ආයෙමත් කියන්න බලන්න… කවියේ මොකක්දෝ අඩුවක් තියෙන පාටයි…”

එතකොට ඒ බ්‍රාහ්මණයා ඒ කවියම කිව්වා. රජ්ජුරුවෝ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. පුතා දිහා බැලුවා.

“ගොඩක් ගවයො ඉන්නවද ගෙදර?”

“නැහැ රජතුමනි, දෙන්නයි හිටියේ. එකෙක් මළා. තව එකෙක් ඉල්ලගන්නයි තාත්තා ඔය ඇවිල්ලා ඉන්නේ.”

රජ්ජුරුවන්ට දුක හිතුණා. ගොන්නු දහසයක්ම දුන්නා. අනිකුත් පහසුකමුත් දුන්නා. මහණෙනි, ඒ කාලෙ රජ්ජුරුවො වෙලා හිටියේ මේ ආනන්දයන්. බ්‍රාහ්මණයා වෙලා හිටියේ මේ ලාලුදායී. සෝමදත්ත වෙලා සිටියේ මේ මම. දැනුම නැති කෙනා කාලා බීලා ඔහේ ගවයා වගේ වැඩෙනවා නෙව” කියලා මේ ගාථා රත්නය වදාළා.

අප්පස්සුතායං පුරිසෝ – බලිවද්දෝ’ව ජීරති
මංසානි තස්ස වඞ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඞ්ඪති

අල්ප දැනුම ඇති මිනිසා – දිරා යයි ගවයෙකු ලෙසින්
වැඩෙනමුත් ඇඟපත – නුවණ නොවැඩෙයි ඔහුට එලෙසින්


පින්වතුනේ, පින්වත් දරුවනේ, මේකෙන් යමක් තේරුම් ගන්න පුළුවනි. කාලා බීලා ඇඟ විශාල කරගෙන විතරක් මදි. අපි නුවණිනුත් විශාල වෙන්න ඕන. ඇඟ විශාල අය දැක්කාම තේජස් විදිහට පෙණුනට කතා කරල බලද්දි නුවණ නැතිවුණොත් ඒක හරි මදි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ