“අසිරිමත්ය ඒ බුදුනුවණ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, දිනක් අපේ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මුල් කාලෙ විස්තර ඇහුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සම්මා සම්බුද්ධත්වය ලැබූ දා හරි අසිරියක් වෙන්න ඇති නේද?”

“පින්වත් ආනන්ද, සැබැවින්ම එය අසිරිමත්. එදා තථාගතයන් වහන්සේ බෝධිමූලයෙහි වැඩසිටියේ ආයෙ නැගිටින අදහසින් නම් නොවෙයි. හැබැයි හරියට කරදර ආවා. දස බිම්බරක් සේනා සහිත මාරයා ඇවිදින් නොකළ කරදරයක් නෑ. නොවැස්ස වැස්සක් නෑ. නොකළ භයක් නෑ. නොබැන්න දෙයක් නෑ. හැදුවේම එතනින් නැගිට්ටවන්නයි. නමුත් තථාගතයන් වහන්සේ ඒ සියල්ලට නොසෙල්වී මුහුණ දුන්නා. අන්තිමේදී ඔවුන් පැරද පලා ගියා.

එදා රාත්‍රී ප්‍රථම යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙල දකින ඥානය නම් වූ ප්‍රථම විද්‍යාව පහළ වුණා. මධ්‍යම යාමයෙහි චුතූපපාත ඥානය නම් වූ දෙවෙන විද්‍යාව පහළ වුණා. පශ්චිම යාමයෙහි පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රඥාවෙන් විමසා බැලීම නිසා සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට උතුම් නිවන පසක් කළා. අරහත්වයට පත්වුණා. ඒ අරහත්ඵල සමාපත්තියෙන්ම සතියක් ගෙව්වා. ඒ සතිය ඇවෑමෙන් සමාධියෙන් අවදිවුණා. එහෙමම සිටියා. මේ සිදුවූ දෙය ගැන උත්සාහ රහිතව මෙම ගාථා මුවින් පිටවී ගියා.

අනේකජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං

ඉපදෙමින් නොයෙක් අයුරින් – සැරිසරා ගොස් සසරේ
බොහෝ දුක් විඳිමින් – සොය සොයා ගියෙමි මං
සසරගත මේ නිවස – සදන්නේ කවුදැයි කියා
යළි යළි ඉපදීම නම් – ලොවෙහි ඇති දුකක්ම ය

ගහකාරක දිට්ඨෝ’සි – පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛයමජ්ඣගා

සසරගත නිවස තනනා – අවිද්‍යාව නම් වූ වඩුවා
හොඳින් මම දැකගත්තෙමි – නැවත ඔබ හට නම්
මේ නිවස කිසිදා – යළි තනන්නට නොදෙමි
ගෙට ගත් සියලු ලී දඬු – එක් කරන කැණි මඬලද
සියලු දේ සිඳ දැමුවෙමි – එනිසාම මේ සිත දැන්
සංස්කාර රහිත විය – ගෙවී ගියේය සියලු තණ්හා


පින්වතුනේ, පින්වත් දරුවනේ, හරි පුදුමයි නේද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නම් හරිම පුදුමයි. අපි කවුරුත් සිත පහදවාගන්න ඕන උන්වහන්සේගේ අවබෝධය ගැනමයි. එතකොට යම්කිසි පිහිටක් අපට අවබෝධයෙන් දෙසූ ඒ ධර්මයෙන් සළසා ගත හැකියි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ