“අවවාදයට වඩා ආදර්ශය උතුම්…”
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අයට නොයෙක් දක්ෂතා ඇතිවෙනවා. හිටිවන කවි කියනවා. ලස්සනට සිංදු කියනවා. නළු නිළියෝ වෙනවා. ඇත්තෙන්ම මේ දක්ෂතා ඇතිවෙන්නේ සසරේ පුරුදු කළ යම්කිසි පිනක් නිසයි. නමුත් ඇතැම් අය ඒ පින, පව් රැස්වෙන ආකාරයට ගෙවා දමනවා. අන්තිමේදී තමන්ගේ දක්ෂතාත් ඉවර වෙනවා. පව්ත් රැස් වෙනවා.
පැවිදි වුණු අයට පවා එබඳු දුර්වලතා තිබුණා. එතකොට තමන්ගේ වාසනාවට ලැබුණු බණ කීමේ හැකියාව පවා අයුතු ලෙස පාවිච්චි වුණා. එහෙම අයුතු විදිහට ලාභ අපේක්ෂාවෙන් බණ කියන්ට ගිහින් අමාරුවේ වැටුණු භික්ෂූන් වහන්සේ නමක් ගැන දැන් අපි ඉගෙන ගන්නේ.
උපනන්ද නමින් එක් භික්ෂූන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේත් දස කථාවෙන් බණ කියන්ට හරී දක්ෂයි. දස කථා කියන්නේ මොනවාද? බුදුරජාණන් වහන්සේ එකල භික්ෂූන්ට වදාළේ දස කථාව කරන ලෙසයි. දෙතිස් කථාව නොකරන ලෙසයි. දෙතිස් කථා කියන්නේ කිසි වැඩකට නැති වල්පල්. දසකථා කියන්නේ මේවා.
1. අප්පිච්ඡ කථා – අල්පේච්ඡ ජීවිතයක් පවත්වා ගැනීම ගැන උපදෙස්
2. සන්තුට්ඨි කථා – ලද දෙයින් සතුටු වෙමින් පැවිදි ජීවිතය දියුණු කරගැනීම ගැන උපදෙස්
3. පවිවේක කථා – හුදෙකලාවේ වාසය කිරීම ගැන උපදෙස්
4. අසංසග්ග කථා – පිරිස සමඟ හෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සමඟ හෝ එක් නොවී වාසය කිරීම ගැන උපදෙස්
5. විරියාරම්භ කථා – අකුසල් ප්‍රහාණය කිරීමටත්, කුසල් උපදවා ගැනීමටත් වීරිය කළ යුතු ආකාරය ගැන උපදෙස්
6. සීල කථා – ඉන්ද්‍රිය සංවර කරගෙන සිල්වත් බව දියුණු කරගැනීම ගැන උපදෙස්
7. සමාධි කථා – සිත එකඟ කරගෙන ධ්‍යාන සමාපත්ති ආදිය උපදවා ගැනීම ගැන උපදෙස්
8. පඤ්ඤා කථා – විදර්ශනා වඩමින් ප්‍රඥාව දියුණු කරගැනීම ගැන උපදෙස්
9. විමුක්ති කථා – නිකෙලෙස් වීම ගැන උපදෙස්
10. විමුක්ති ඤාණදර්ශන කථා – නිකෙලෙස් වූ කෙනාට ඇති වූ අවබෝධය ගැන උපදෙස්
ඉතින් ගෞතම සසුනෙහි පැවිදි වූ ස්වාමීන් වහන්සේලාට මෙය ඉතා රසවත් දෙයක් වුණා. ඒ උපනන්ද තෙරුන්ගෙන් බණ ඇසූ බොහෝ භික්ෂූන් තුන් සිවුරුවලින් උන්වහන්සේව පිදුවා. තමනුත් ධුතාංගාදිය සමාදන් වුණා. දස කථාව ඇසූ ඒ භික්ෂූන් සතුව තිබූ වැඩිමනක් පිරිකර අස්කරද්දී ඒවත් උපනන්ද තෙරුන්ම ගත්තා.
ඉතින් මේ තෙරුන් වස් වසන්ට වෙනත් ජනපදයකට වැඩියා. එහි එක් විහාරයක තරුණ සාමණේරවරුන් තමයි වාසය කළේ. ධර්ම කථිකයන්ට හරී ආදරෙයි.
“අනේ ස්වාමීනී, මේ වස් කාලේ අපේ ස්ථානයේ වැඩඉන්න” කියලා ඇවිටිලි කළා.
“හොඳයි. මං මෙහෙ වස් වැසුවොත් මොනවද දෙන්නේ?”
“ස්වාමීනී, එහෙම වුණොත් අපි සළුවක් පූජා කරනවා.”
“හරි අගෙයි! එහෙනම් මං වෙනුවට ඕන්න මගේ සෙරෙප්පු දෙක තිබ්බා…”
ඊට පස්සේ උපනන්ද තෙරුන් වෙනත් විහාරයකට වැඩියා. මේ සුප්‍රසිද්ධ ධර්ම කථිකයන් වහන්සේට එතනදිත් වස් වසන්ට ඇරයුම් ලැබුණා. එහෙදී වස් වැසුවොත් සළු දෙකක් ලැබෙන බව කිව්වා.
“බොහොම අගෙයි! එහෙනම් ඕන්න මං වෙනුවෙන් හැරමිටිය තිබ්බා…”
තුන්වෙනි ආවාසයට වැඩියා. එතනදිත් භික්ෂූන් වහන්සේලාගෙන් බේරෙන්ට බෑ. වස් වසන්නම කියනවා. ඒ වගේම සළු තුනකුත් ලැබෙනවාලු!
“තමුන්නාන්සේලාගේ ඉල්ලීම අහක දාන්න බෑ නෙව. එහෙමනම් මං වස් වැසුවා කියලා හිතා ගන්නවාකො. ඒ වෙනුවෙන් තමයි මේන්න මේ වතුර කළේ තියන්නේ….”
ඊට පස්සේ හතරවෙනි විහාරයට වැඩියා. එතැනදි සළු හතරක් ලැබෙන බව දැනගත්තා.
“හොඳයි. තමුන්නාන්සේලාට යහපතක් වෙන්න එපායැ. එහෙනම් මං මෙහෙ වස් වසන්නම්” කියලා වස් වැසුවා.
ඒ වස් කාලෙත් ගිහි පැවිදි දෙපක්ෂයටම බණ කිව්වා. සිවුරු පිරිකර ගොඩාක් ලැබුණා. ඔය අතරේ තමන්ගේ සෙරෙප්පු ආදිය තැබූ ආවාසවලට පණිවිඩ යැව්වා.
“ඔන්න මං වස් කාලෙ මගේ පිරිකර තැබුවා නෙව. දැන් ඉතින් වස් වැසූ භික්ෂුවට ලැබෙන කොටස මට ලැබිය යුතුයි” කියලා ඒ හැමදෙයක්ම ගෙන්න ගත්තා. කරත්තයක පිරෙව්වා. තමන්ගේ ආවාසයට පිටත් කෙරෙව්වා.
ඔය අතරේ එක් ආවාසයක තරුණ භික්ෂු දෙනමකට සළු දෙකකුයි, පොරෝනයකුයි ලැබුණා. මේක බෙදාගන්ට බැරුව ඒ දෙනම වාද විවාද කරමින් හිටියා. ඔතනින් වඩින උපනන්ද තෙරුන් දුටු මේ දෙනම ප්‍රශ්නය විසඳා දෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා.
“ඉතින් තමුන්නාන්සේලාම බෙදාගන්නා එකනෙ ඇත්තේ. ඕකට මං ඕනයැ.”
“අනේ ස්වාමීනී, අපට මේක බේරුමක් කරගන්න බැහැ. ඔබවහන්සේම මේක බෙදලා දෙන්න.”
“හරි! තමුන්නාන්සේලා මගේ වචනය පිළිගන්න කැමතිද?”
“එහෙමයි ස්වාමීනී”
“එහෙනම් මේ සළුව තමුන්නාන්සෙට. අනෙක් සළුව ඔය නමට. මේ පොරෝනය නම් වටින්නේ මටයි. මං වගේ ධර්ම කථිකයෙක් තමයි මේක පෙරවිය යුත්තේ…” කියලා ඒ මහාර්ඝ පොරෝනයත් අරගෙන පිටත් වුණා.
අර තරුණ භික්ෂූන් දෙනම හරී කම්පාවට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් කාරණාව සැළ කළා.
“පින්වත් මහණෙනි, ඔය උපනන්ද ඔබ සතු දේ අරගෙන ඔබට සෝකය ඉපැද්දෙව්වේ මේ ආත්මයේ විතරක් නොවෙයි. මීට කලිනුත් ඕකමයි කළේ.
ඉතින් මහණෙනි, අතීතයේ ‘අනතීරචාරී’ කියන නමිනුයි, ‘ගම්භීරචාරී’ කියන නමිනුයි දියබල්ලන් දෙදෙනෙක් හිටියා. ඔවුන්ට ලොකු රෝහිත මත්ස්‍යයෙක් හම්බ වුණා.
එතකොට “මට තමයි මේකාගේ ඔළුව. නුඹ වලිගෙ ගනින්…” කියලා මාළුවා බෙදාගැනීමට රණ්ඩු අල්ලගත්තා. මේක විසඳගන්න බෑ. එක්තරා සිවලෙක් දැකලා මේ දෙන්නා එතනට ගිහින් “අනේ මාමණ්ඩියේ… අපට මූව බෙදලා දෙන්න…” කියලා කිව්වා. එතකොට සිවලා මෙහෙම කිව්වා.
“මං එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. රජ්ජුරුවන්ගේ විනිසුරුවෙක්. ගොඩක් වෙලා වාඩිවෙලා උන්නා. ව්‍යායාම පිණිස ඇවිදින්න ආපු ගමන් මං ඉන්නේ. ඒ නිසා දැන් මට වෙලාව නෑ.”
“අනේ මාමණ්ඩියේ… එහෙම කරන්න එපා! අපට මේක බෙදලා දෙන්න…”
“හරි! නුඹලා මගේ වචනය පිළිගන්න කැමතිද?”
“එහෙමයි මාමණ්ඩියේ…”
එතකොට සිවලා මාළුවාගේ ඔළුව කැපුවා. වලිගයත් කැපුවා. දෙපැත්තට කළා.
“ඉතින් දරුවෙනි, අනුතීරයේ හැසිරුණු එක්කෙනාට තමයි මේ වලිගය. ගම්භීරයේ හැසිරුණු එක්කෙනාට තමයි මේ ඔළුව. මැද කොටහ අයිති මටයි. මම නෙව මේක විනිශ්චය කළේ…” කියලා හොඳ කොටස අරගෙන පිටත් වුණා. අර සත්තු දෙන්නා දුකෙන් බලාගෙන හිටියා.
ඔන්න ඔහොමයි ඉස්සරත් කළේ. ඒ නිසා පින්වත් මහණෙනි, අනුන්ට අවවාද දෙන්න කලින් තමන්මයි ඒ අවවාදයේ පිහිටිය යුත්තේ. ඊට පස්සේ තමයි අවවාද කළ යුත්තේ” කියා වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා මධුර වූ ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළා.
අත්තානමේව පඨමං – පතිරූපේ නිවේසයේ
අථඤ්ඤමනුසාසෙය්‍ය – න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝපළමුවෙන්ම තමන්වමයි – ගුණයෙහි පිහිටිය යුත්තේ
ඉන්පසුවයි අන් අය හට – අවවාදය කළ යුත්තේ
මේ අයුරින් නුවණැත්තා – කටයුතු කරනා විටදී
නින්දා ලැබෙනා විලසට – නැත කිලුටක් සිදුවන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, අද කාලෙ තත්වය අපට හිතාගන්නත් අමාරුයි. උපනන්ද තෙරුන්ගේ පරපුරද කියලත් හිතෙනවා. ඒ තරම්ම ගිහි පැවිදි සියල්ලෝම සැදී පැහැදී සිටින්නේ අනුන්ට උපදෙස් දෙන්න විතරයි. තමන් යහපතෙහි පිහිටන්න සූදානම් අය ඉන්නේ හරි ටික දෙනයි. තමන් ඇදේට යමින් අන් අයට කෙලින් යන්න උපදෙස් දෙන අය කකුළුවෝ වගේ කියලයි ගමේ කතාවේ කියන්නේ.
බුද්ධිමත් උදවිය එහෙම නෙවෙයි. පළමුවෙන් තමන් ගුණයක පිහිටනවා. ඊට පස්සේ අනිත් අයට ඒ ගුණය ඇති කරගන්න කියලා කියනවා. එතකොට තමයි ඒ අවවාදයේ බලයක් තියෙන්නේ. වටිනාකමක් තියෙන්නේ. ආනුභාවයක් තියෙන්නේ. නැත්නම් මොනතරම් කිව්වත් එය අන් අය ඉදිරියේ වටිනා දෙයක් බවට පත්වන්නේ නෑ.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ ශාස්තෘන් වහන්සේත්, නිවන් මග වැඩි ආර්ය මහා සංඝරත්නයත් යමක් පැවසුවාද, එයයි කළේ. එයට කියන්නේ ‘යථාවාදී තථාකාරී’ කියලයි. යමක් කරනවාද, එයයි පැවසුවේ. එයට කියන්නේ ‘යථාකාරී තථාවාදී’ කියලයි. ඒ ගුණය මොනතරම් වටිනවාද? අපිත් කියන දේ කරන, කරන දේ කියන උදාර මිනිසුන්ගේ ගුණවත්කම ඇතිකරගන්නට මහන්සි ගනිමු.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ