“අතිභයානක සසර පුරුදු”

පින්වතුනේ, පින්වත් දරුවනේ, දේවදත්ත ගැන විස්තර ගොඩක් දැන් අපි දන්නවනේ. සේරිවාණිජ ජාතකය, ගුත්තිල ජාතකය, ඡද්දන්ත ජාතකය වැනි බොහෝ අතීත කථාවල අප බෝසතාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගෙන මොහු පැමිණි වග අපි අසා තිබෙනවා. ඇත්තෙන්ම හරි පුදුමයි නේද? පින් කරන කෙනා පස්සෙන්ම වෛරක්කාරයා පන්නන විදිහ හරි පුදුමයි නේද?

දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට පන්න පන්නා පහර දුන්නා. භාග්‍යවතුන් වහන්සේමයි ඒ අසත්පුරුෂයා මහණ කළේ. භාග්‍යවතුන් වහන්සේගේ බණ පදමයි මොහු මිනිසුන්ට කියන්නේ. නමුත් හිතේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේව විනාශ කිරීමමයි. මේ ගැන දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා කතා කරමින් හිටියා.

“ප්‍රිය ආයුෂ්මත්නි, හරි පුදුමයි නේද? පාපී ගතිගුණ ඇති, දුස්සීල වූ, ලාභ සත්කාර කෙරෙහි විකෘති ආශාවකින් පෙළුණු මේ දේවදත්තයා අජාසත් කුමරාවත් නොමග යැව්වා. රැවැට්ටුවා. ඒ හේතුවෙන් මහත් වූ ලාභසත්කාරයක් උපද්දවාගත්තා. අජාසත්ව තම පියාව ඝාතනය කරන්නත් පෙළඹෙව්වා. අජාසත් සමඟ එකතු වෙලා නොයෙක් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේව විනාශ කරන්න සැලසුම් කරනවා. අනේ මේ අසත්පුරුෂයාට මේවා නවත්වන්න බැරිද?”

එදා දම්සභා මණ්ඩපයට වැඩි භාග්‍යවතුන් වහන්සේට භික්ෂූන් වහන්සේලාගේ මේ කතාබහ දැනගන්නට ලැබුණා.

“පින්වත් මහණෙනි, මාව විනාශ කරන්න දේවදත්ත උත්සාහ කළේ මේ ආත්මේ විතරක් නෙවෙයි. ඉස්සරත් එහෙම කළා නෙව.

පින්වත් මහණෙනි, ඉස්සර මං බෝසත් කාලෙ කුරුංග කියන මුව කුලයේ මුවෙක් වෙලා උපන්නා. ඒ මුවා වාසය කළේ විලක් අසලයි. ඒ විලේ ඉබ්බෙක් හිටියා. විල අසල ගසේ කෑරලෙක් හිටියා. මේ තුන් දෙනා ඉතාම යාළුයි. හරි සතුටෙන් කල් ගෙව්වා.

දවසක් වැද්දෙකුට අර මුවාව දකින්නට ලැබුණා. එදා ඉඳලා මුවාව මරණ ආසාවෙන් පෙළුණා. මුවා පස්සේ පැන්නුවා.

දවසක් මුවා යන පාර හොයලා උගුලක් අටවලා තිබ්බා. මේ උගුලට අර මුවා අහුවුණා. මුවා හයියෙන් කෑ ගහලා හඬන්න ගත්තා. ඒ හඬ ඔස්සේ විලේ හිටිය ඉබ්බා ඉක්මනින් මුවා ළඟට ආවා. එවෙලේ කෑරලත් එතනට ආවා.

“අනේ ඉබි යාළුවේ… අපේ මුවාව අපි කොහොමහරි බේරගනිමු. ඔබ පුළුවන් තරම් ඉක්මනින් ඔය වැල්පොටවල් කපන්න. මං ගිහින් වැද්දාගේ ගමන වළක්වන්නම්.”

ඉබ්බා හනික ගිහින් මුවා හිරවී සිටින වැල්පොටවල් හපන්න ගත්තා. ඔය අතරේ කෑරලා වැද්දාගේ නිවස කරා පියඹා ගියා. වැද්දා උදෑසනින්ම ගෙදරින් එළියට බැස්සා. එතකොට හඬ නගා කෑ ගසාගෙන අර කෑරලා වැද්දාගේ ඇඟේ හැපීගෙන ගියා.

“මේ කාලකණ්ණි කුරුල්ලා මගේ ගමන වළක්වනවා. එහෙනම් මං හවසට යනවා.”

හවස් වෙද්දී තම ගොදුර සොයන්න වැද්දා ආයෙ පිටත් වුණා. එතකොටත් කෑරලා කෑගසාගෙන ඇවිත් වැද්දාගේ ඇඟේ හැපීගෙන ගියා.

“නොදකින් මේ කාලකණ්ණියා… ගමනට බාධයි. එහෙනම් මං හෙට යනවා….”

ඉබ්බා වේගයෙන් වරපට හපනවා. ඉබ්බාගේ කට තුවාල වෙලා. දත් කැඩිලා. ඒත් වරපට හපනවා. අමාරුවෙන් දෙපොටක් හපාගත්තා. අනිත් පොටත් දැන් හපන්න පටන් ගත්තා. ඔය අතරේ වැද්දා කෑගහගෙන කඩාගෙන පැන්නා. මුවා බියට පත්වුණා. වරපට වේගයෙන් ඇද්දා. කැඩිලා ගියා. වනාන්තරයට දිව්වා.

කටේ ලේ වැගිරෙමින් ඉබ්බා හති අරිනවා. වැද්දට හරී කේන්තියි. ඔහු ඉබ්බාව පසුම්බියට දාගෙන එල්ල ගත්තා.

දැන් මුවාට හරි දුකයි. මුවා ඈත සිට බලා සිටියා. කොහොම හරි ඉබ්බාව බේරගන්නමයි හිත. මුවා ආයෙමත් වැද්දා ඉදිරියට ආවා. වැද්දා පසුම්බිය අත්හැරියා. මුවා පස්සේ පැන්නුවා. මුවා වැද්දට ළංව ළංව දිව්වා. මහා වනයේ එක එක පාරවල්වලින් දිව්වා. වැද්දාව අතරමං කෙරෙව්වා. වැද්දා මංමුලා වුණා. මුවා හනික දුවගෙන ආවා. අඟෙන් ඇනලා පසුම්බිය ඉරුවා. ඉක්මනින් වතුරට පනින්න කියලා කිව්වා. ඉබ්බා බේරුණා.

පින්වත් මහණෙනි, එදා ඉබ්බා වෙලා හිටියේ අපේ මොග්ගල්ලානයන්. කෑරලා වෙලා හිටියේ අපේ සාරිපුත්තයන්. මුවා වෙලා හිටියේ මං නෙව. එදත් මාව මරන්න පස්සෙන් පන්නපු වැද්දා වෙලා හිටියේ දේවදත්ත තමයි.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ තමා විසින්ම තමා වනසන කරුණ ගැන කියැවෙන මෙම මිහිරි ගාථා රත්නය වදාළා.

යස්ස අච්චන්ත දුස්සීල්‍යං – මාලුවා සාලමිවෝතතං
කරෝති සෝ තථත්තානං – යථා නං ඉච්ඡතී දිසෝ

මාලුවා වැල වෙලීගිය – සල් ගසක් වැනසෙන ලෙස
දුසිල් වූ පවිටු ජනයා – වැනසෙන්නේය ඒ ලෙස
තමාගේ දුසිල් බව – වනසා දමයි යහපත
අපායේ වැටුණු විට – තමා එය කළ බවයි දන්නේ


පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉස්සර දඹදිව වැල් ජාතියක් තිබිලා තියෙනවා. ඒ වැල්වල කොළ ගොඩාක් විශාලයි. උඩු අතට හැරිලා තියෙන්නේ. වැස්සට ඒ කොළ වල වතුර පිරෙනවා. ඉතින් ඒ වැලක් සල් ගසක එතී ගියොත් වැස්ස වෙලාවක ගහට උහුලගන්න බැරි බරක් අර වතුර පිරෙන කොළවලින් ලැබෙනවා. ඒ හේතුවෙන් ගස කඩාගෙන වැටෙනවා. විනාශ වෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ උපමාවෙන් පෙන්වා දෙන්නේ කෙනෙක් දුස්සීල වුණොත් ඒ දුස්සීල බව මාලුවා වැල සල් ගසක් වෙලා ගත්තා වගේ කියලයි. එතකොට ඒ හේතුවෙන් ඒ කෙනාම වැනසෙනවා. සතර අපා දුකට පත්වෙනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ