“ධර්මාවබෝධයට හානි කිරීම පාපයක්”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් භික්ෂූන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි අයටත් ඇතැම් විට තමන්ගේ මව්පියන් වගේ පිටස්තර අය සළකනවා. ‘අනේ මෙයා මගේ දරුවෙක් වගේ’ කියලා ඉගෙන ගන්න උදව් කරනවා. තවත් උපකාර කරනවා. මේ ස්වාමීන් වහන්සේ ‘මගේ දරුවෙක් වගේ’ කියලා ඇතැම් උපාසිකාවන් ඉතා ආදරයෙන් උපස්ථාන කරනවා. මෙහෙම උපස්ථාන ලබද්දී ඇතැම් භික්ෂූන් වහන්සේලාට ලැබෙන ලාභ සත්කාර ගැන ලෝභය ඇතිවෙනවා. තමන් දන්නෙම නෑ ඒ තුළින් කරදරයට වැටෙනවා. දැන් අපි කියවන්නේ කාල නම් භික්ෂුවක් ගැන  එබඳු කථාවක්.

කාල නමින් එක් තෙරුන් වහන්සේ නමක් හිටියා. සැවැත් නුවර පිඬු සිඟා වඩිද්දී මේ භික්ෂුව ගැන එක මව්කෙනෙක් පැහැදුණා. ‘මේ ස්වාමීන් වහන්සේගේ මෑණි කෙනෙක් වෙන්න ඇති මම’ කියලා මහා ශ්‍රද්ධාවෙන් උපස්ථාන කළා. තමන්ට ලැබෙන උපස්ථාන ගැන මේ භික්ෂුව බොහොම ආඩම්බර වුණා. එයට ගොඩාක් ආසා කළා. වෙන කෙනෙකුට එබඳු සැලකිල්ලක් ලැබෙනවාට අසතුටු වුණා. නමුත් උපාසක අම්මා මේ කිසිවක් දන්නෙ නෑ. ඈ ශ්‍රද්ධාවෙන්මයි හැමදේම කළේ.

අසල්වැසි මිනිසුන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යනවා. ගිහින් ඇවිත් අර උපාසිකාවත් සමඟ ඒ ගැන කතා කරනවා.

“පින්වත් මෑණියනි, භාග්‍යවතුන් වහන්සේගේ බණ පදයක් අහන්න ගියේ නැද්ද? පුදුම විදිහට ජීවිතයට යහපත සැලසෙනවා. හරීම අසිරිමත්! බුද්ධරත්නය ඒකාන්තයෙන්ම ආශ්චර්යයි!”

“අනේ දරුවනේ, මාත් හරී ආසයි බුදුබණ අහන්න. අපේ ස්වාමීන් වහන්සේගෙන් අහලා හෙට යද්දී මාත් එනවා.”

ඉතින් එදා අර කාල භික්ෂුව නිවසට පිඬු සිඟා වැඩියා. මේ මාතාව ඉතා ප්‍රණීතව ආහාරපානාදියෙන් උපස්ථාන කළා. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න යන්න අවසර ඉල්ලුවා.

“මෑණියනි, ඔය කරන පින් මදිද? අනික ඔය ධර්මය හරී ජඹුරයි. ඕවා හැමෝටම තේරෙන්නේ නෑ. දැන් මේ කරන උපස්ථාන මදිද?”

එතකොට ඒ මෑණියන් නිශ්ශබ්ද වුණා. අසල්වාසීන් නැවත නැවතත් භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කරද්දී මේ අහිංසක අම්මාට බණ අහන්න යන්නම ආසා හිතුණා. දෙතුන් වතාවක්ම දරුවෙකුට මෙන් ඇප උපස්ථාන කරන මෙම භික්ෂුවගෙන් අවසර ඉල්ලුවා. ලැබුණේ නෑ. ඒ භික්ෂුව කිසියම් භයකින් පෙලුණා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පැහැදුණොත් මට මේ විදිහට සළකන එකක් නැහැ කියලා හිතුවා. මේ තුච්ඡ සිතුවිල්ලෙන් වෙලී ගිය මේ භික්ෂුවට තමන්ගේ ශාස්තෘන් වහන්සේව පවා අමතක වුණා. පින් සළකාගෙන දන්පැන් පුදන අහිංසක මාතාවට කෘතගුණ සැලකීමට පවා අමතක වුණා.

නමුත් මේ මාතාව එක් දිනක් දැඩි තීරණයක් ගත්තා. තම දියණිය අමතා මෙහෙම කිව්වා.

“අනේ මයෙ දුවේ… අද අපගේ ආර්යයන් වහන්සේ පිඬු සිඟා වඩීවි. වෙනදා වගේම දානයෙන් උපස්ථාන කරන්න. මං අද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න යනවා” කියලා ඈ පිටත් වුණා.
අර කාල  භික්ෂුව නිවසට වැඩියා. දියණිය විසින් පිළිගැන්වූ දන්පැන් වැළඳුවා.

“නැගණියෙනි, අපගේ මෑණියන් කෝ….?”

“ස්වාමීනී, නුඹ වහන්සේගේ මෑණියන් බණ ඇසීමට දෙව්රමට පිටත් වුණා.”

ඒ භික්ෂුව දෑස් ලොකු කර බලා සිටියා. එක පාරටම නැගිට්ටුණා. හනිකට ආපසු හැරී පිටත් වුණා. ‘අද නම් ඈ මා කෙරෙහි ඇති පැහැදීම නැති කරගන්නවා’ කියලා හිතුණා. කෙලින්ම දම්සභා මණ්ඩපයට ගියා. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩසිටින සේක. මහා ශ්‍රද්ධාවෙන් පිනාගිය සිත් ඇතිව අර මව් එතන සිටිනවා දැක්කා. දැකලා කිසි ලැජ්ජාවක් නැතුව මේ භික්ෂුව ඉදිරියට පැනලා මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මේ ස්ත්‍රිය හරී මෝඩයි. සියුම් ධර්ම කථාව තේරෙන්නේ නෑ. ඒ නිසා ස්කන්ධ, ධාතු, පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්මය නොකියා දන් දීම ගැනත්, සිල් රැකීම ගැනත් කියා දුන්නාම ඇති.”

භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පිළිතුරු දුන්නා.

“හිස් පුරුෂය, ප්‍රඥා රහිතව පවිටු දෘෂ්ටියකින් වෙළී බුදුවරුන්ගේ අනුශාසනයට නේද ඔය ගරහන්නේ? තමන්ව වනසා ගන්නම නේද වෑයම් කරන්නේ?” කියලා මේ ගාථා රත්නය වදාළා.

යෝ සාසනං අරහතං – අරියානං ධම්මජීවිනං
පටික්කෝසති දුම්මේධෝ – දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සේව – අත්තඝඤ්ඤාය ඵල්ලති

යමෙක් මිසදිටු පවිටු මතයක – දැඩිව එල්ලී ලාමකව සිට
රහත් මුනි උතුමන්ගෙ දහමට – දහම තුළ හික්මෙනා දිවියට
හානි කෙරුමට වෙහෙස ගත්විට – නැගී උණ ගොබයක් ගසෙන් විත්
උණ ගසම වනසනා විලසට – තමාමයි වැනසිලා යන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතය අවබෝධ කරවන උතුම් ධර්මය ඇසීමට ඇති අවස්ථාව අහිමි කරන්න හොඳ නෑ. දැන් බලන්න අර කාල භික්ෂුව කළේ අහිංසක අම්මාගේ ශ්‍රද්ධාවෙන් ලාභ ප්‍රයෝජන ගත්තු එක විතරයි. ඒ අම්මාගේ ජීවිතයට කිසි විශේෂයක් වුණේ නෑ. නමුත් එදා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අවසානයේ ඒ අම්මා සෝවාන් ඵලයට පත්වුණා. අර පවිටු භික්ෂුව විසින් වළක්වන්නට මහන්සිගත්තේ ඒ දුර්ලභ වාසනාව නේද? ඒ අම්මා හරිම ඤාණවන්තයි. ධර්මය සොයා යෑමේ තමන්ගේ අයිතිය හොඳින් රැකගත්තා. එයින් ප්‍රයෝජන ගත්තා.

පාඩුව සිදුවුණේ අර භික්ෂුවටමයි. මෙය අපට හොඳ පාඩමක්. තවත් කෙනෙකුගේ අවබෝධය මනින්නේ කොහොමද? ඒ අයට ධර්මය අවබෝධ කරගන්න බැහැ කියලා අපි කියන්නේ කොහොමද? දානය, සීලය ගැන විතරක් කතා කිරීම ප්‍රමාණවත් කියලා කියන්නේ කොහොමද? ශාසනය අයිති බුදුරජාණන් වහන්සේටනේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

මෙවැනි ලස්සන කථා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>