“බාහිර කෙනෙකුට මෙය කළ නොහැකිය”
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබට මතකනේ මහා කාල උපාසකගේ කථා වස්තුව. එදා පොකුණේ මූණ කට සෝදමින් සිටිද්දී සොරු ඇවිදින් ඔහු ඉදිරියෙන් බඩු දාලා පැනලා දිව්වානේ. මෙතනත් වුණේ එහෙම දෙයක්.සොර මුලක් ගෙයක් බින්දා. නිවැසියන් අවදි වුණා. හොරු අල්ලගන්න පස්සෙන් පැන්නුවා. හොරු දුවද්දී චූල කාල උපාසකතුමා ඉදිරියේ බඩු දාලා පැනලා දිව්වා. මිනිස්සු ඇවිදින් මොහුව අල්ලගත්තා. ගහන්න පටන් ගත්තා.
චූළ කාල උපාසකගේ වාසනාවට එදා පාන්දරින් ගෙවල්වල දාසියන් වතුර ගෙනියන්න පොකුණට ඇවිත් හිටියා. මේ කෝළහලය දැකලා ඔවුන් එතනට දුවගෙන ආවා. ඒ දාසියන් කෑ ගැහුවා.
“අයියෝ! මේ මොන අපරාධයක්ද…! ඔහේලට වැරදිලා. හොරු බඩු දාලා දිව්වා. මේ උපාසක හොරෙක් නොවෙයි. කවදාවත් මෙයා ඔවැනි හොරකම් කරන්නේ නෑ. අනේ පින් සිද්ධවෙයි මේ මනුස්සයව නිදහස් කරන්න.”
එතකොට ඒ මිනිස්සු චූල කාල උපාසකව නිදහස් කළා. උපාසක නැවත විහාරයට ගියා. භික්ෂූන් වහන්සේලාට මෙය සැළකළා.
“අනේ ස්වාමීනී. මාව අල්ලගෙන මිනිස්සු මරන්න හැදුවා. වතුර ගෙනියන දාසියන් නිසා යාන්තම් මට ජීවිතය ලැබුණා.”
භික්ෂූන් වහන්සේලා මේ ගැන කතා වුණා. බුදුරජාණන් වහන්සේට මෙය සැළ කළා.
“පින්වත් මහණෙනි, චූල කාල උපාසකතුමා බේරුණේ වතුර ගෙනියන දාසියන් නිසාත්, තමනුත් පවක් නොකළ නිසාත් තමයි. මේ වගේ තමයි තමන් කරන පව්වලින්ම සත්වයන් නිරයේ යනවා, කිලුටු වෙලා යනවා. තමන් කරන කුසල්වලින්ම සත්වයන් දෙව්ලොවත් යනවා, නිවනටත් යනවා, පිරිසිදුත් වෙනවා.”
මෙය වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි අයුරින් මෙම ගාථාරත්නය වදාළා.
අත්තනා’ව කතං පාපං – අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං – අත්තනා’ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං – නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේතමා කිලුටු වී යන්නේ – තමා කරපු පව් නිසයි
එලෙසින් පිරිසිදු වන්නේ – ඒ පව් නොකරපු නිසයි
පිරිසිදු බව හා කිලුට ද – තම තමන්ට සතු දෙයක්ය
වෙනත් කෙනෙකු තව කෙනෙකුට – කිලුටක් හෝ පිරිසිදු බව සළසාලන්නට නොහැකිය
පින්වතුනේ, පින්වත් දරුවනේ, චූල කාල උපාසකතුමා පවක් නොකරපු නිසා එයින් බේරෙන්න ලැබුණා. ඔහුගේ වාසනාවටමයි වතුර කලගෙඩි අරන් දාසියන් එතැනට ඇවිත් හිටියේ. ඔවුන් නොසිටියා නම් සමහර විට අනතුරු වෙන්න තිබුණා. නමුත් පින බලවත් නිසා එය වැළකුණු අයුරු බලන්න. ඒ නිසා පින්ම කරන්න. පව් කරන්න එපා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ