1. සතුරන් පරදවාලූ අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ ධාතු ගර්භයේ වැඩ සම්පූර්ණ කරලා, භික්ෂු සංඝයා රැස් කරවා මෙහෙම කිව්වා.

2. “ස්වාමීනී, මං ධාතු ගර්භයේ කටයුතු කොට අවසන් කළා. හෙට ධාතු නිධානය කරන්ට ඕනෑ. ධාතූන් වහන්සේලා පිළිබඳව ඔබවහන්සේලා දන්නා සේක්වා!”

3. මෙය පැවසූ මහරජ්ජුරුවෝ අනුරාධපුර නගරයට සැපත් වුනා. ධාතූන් වහන්සේලා වැඩමවාගෙන එන්ට යවන්නේ කොයි භික්ෂුව ද කියලා භික්ෂු සංඝයා සිතන්ට පටන් ගත්තා.

4. ධාතූන් වහන්සේලා වැඩමවාගෙන එන කටයුත්ත පූජාපිරිවෙන්වාසී සෝණුත්තර නමැති ෂඞ් අභිඥාලාභී භික්ෂුවට පැවරුවා.

5. අපගේ ලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේ ලෝකයට යහපත පිණිස චාරිකාවේ වඩිද්දී ගංගා නම් ගඟ අසල නන්දුත්තර නම් තරුණයෙක් වාසය කළා.

6. මේ තරුණයා අප භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ආරාධනා කරලා දන් පැන් පූජා කරගත්තා. අපගේ ශාස්තෘන් වහන්සේ සංඝයා සමඟ ප්‍රයාග නම් නැව්තොටින් ගංගා නදියේ යන නැවකට භික්ෂු සංඝයාත් සමඟ වැඩම කළා.

7. ඒ නැවේ ෂඞ් අභිඥාලාභී මහා ඉර්ධිමත් භද්දජී මහරහතන් වහන්සේ වැඩසිටියා. උන්වහන්සේ නැවෙන් වඩිද්දී ගඟ මැද දිය සුලියක් දැකලා භික්ෂූන්ට මෙහෙම පැවසුවා.

8. “මං කලින් ආත්මෙක මහා පනාද නමින් රජවෙලා ඉන්දෙද්දී වාසය කළ රනින් කළ ප්‍රාසාදය මෙතැන වැටුනේ. ඒ කාලේ මගේ ඒ ප්‍රාසාදය යොදුන් විසි පහක් උසින් යුක්තයි.

9. මේ ගංගාවේ ජලය ප්‍රාසාදය තියෙන තැනට ඇවිත් සුළියක් වගේ කරකැවිලා පහළට යනවා” කියල කිව්වා. ඉර්ධිබල නැති සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා ඒ කථාව විශ්වාස කළේ නෑ. උන්වහන්සේලා ඒ කථාව ශාස්තෘන් වහන්සේට දැනුම් දුන්නා.

10. ශාස්තෘන් වහන්සේ “භද්දජී, ඔබ භික්ෂූන් තුළ ඇති වූ සැකය දුරු කරන්ට” කියා වදාළා. එතකොට භද්දජී මහරහතන් වහන්සේ තමන් බ්‍රහ්මලෝකය දක්වා තම සිතේ බලය පැවැත්විය හැකි බව පෙන්වීම පිණිස,

11. ඉර්ධිබලයෙන් අහසට පැන නැංගා. තල් ගස් හතක් පමණ උසින් හිටගත්තා. තමන් සිටින තැනම සිට අත දිගු කොට බ්‍රහ්ම ලෝකයේ තිබෙන සළුමිණි සෑය,

12. මෙහි ගෙනැවිත් ජනතාවට පේන්ට සළස්වා ආයෙමත් එතැනින්ම තිබ්බා. ඊට පස්සේ ඉර්ධිබලයෙන් ගංගා නම් නදිය මතට වැඩියා.

13. පයේ මහපොට ඇඟිල්ලෙන් ඒ මහා පනාද ප්‍රාසාදයේ කොන පටලවාගෙන ගංගාවෙන් තුන් යොදුනක් උඩට ඔසොවලා ජනයාට පෙන්වා නැවත එහිම බැස්සුවා.

14. ඒ ප්‍රාතිහාර්යය දෙස බලමින් නැවේ සිටිය නන්දුත්තර මාණවකයා ‘මටත් මේ විදිහට අනුන් සතුකරගෙන ඉන්න ධාතූන් වහන්සේලා උඩට වඩම්මන්ට ඇත්නම්’ කියලා කැමැත්තක් ඇතිවුනා.

15. දන් පැන් පූජා කරගෙන ප්‍රාර්ථනාවක් ඇතිකරගත්තා. සංඝයා වහන්සේ උපසම්පදාවෙන් වස් දහසයක් ඇති සෝණුත්තර භික්ෂුව ධාතු ගෙනඑන්ට පිටත් කළේ එසේ ප්‍රාර්ථනා කළ පින් බලය ඇති නිසයි.

16. සෝණුත්තර තෙරුන් ‘ස්වාමීනී, මං ධාතූන් වහන්සේලා වඩම්මන්නේ කොහෙන්ද?’ කියලා සංඝයා ගෙන් ඇහැව්වා. සංඝයා සෝණුත්තර තෙරුන්ට ඒ ධාතූන් වහන්සේලාගේ කථාව කිව්වා.

17. “අප භාග්‍යවතුන් වහන්සේ එදා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් වනයේදී පිරිනිවන් පෑම පිණිස සැතැපී සිටියදී ධාතූන් වහන්සේලාගෙනුත් ලොවට යහපත සැළසීම ගැන සක් දෙවිඳුන් හට මෙසේ වදාළා.

18. ‘දේවේන්ද්‍රයෙනි, මාගේ ශාරීරික ධාතු ද්‍රෝණ අටක් ලැබෙනවා ඇති. එයින් එක් ද්‍රෝණයක් රාම ගමෙහි කෝලියවරුන් පූජා කරනවා ඇති.

19. එතැනින් නාගලෝකයට ගෙනිහින් නාගයින් විසින් නාගලෝකයේදී ඒ ධාතූන්ට පුද සත්කාර කරනවා. අනාගතයේ ලංකාද්වීපයේ ස්වර්ණමාලී නමින් හැදෙන මහා ස්ථූපයේ නිධන්ගත වෙනවා ඇති’ කියා වදාළා.

20. මහා ප්‍රඥාවෙන් යුක්ත, අනාගතයේ වෙන දේ පැහැදිලිව දකින අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ අනාගතයේ ධර්මාශෝක රජ්ජුරුවෝ ධාතූන් වහන්සේලා රැගෙන සෑම තැනම ස්ථූප හදන බව කල්තියාම දැකලා,

21. රජගහනුවරට ආසන්නයේ අජාසත් රජ්ජුරුවන් ලවා මහා ධාතු නිධානය කරවද්දී, ඉතා මනාකොට ධාතූන් වහන්සේලා රැස්කරවන සේක්,

22. ද්‍රෝණ සතක් ධාතූන් වහන්සේලා වැඩමවා තැන්පත් කෙරෙව්වා. ශාස්තෘන් වහන්සේගේ අදහස දන්නා අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ එක් ද්‍රෝණයක් වූ ධාතූන් වහන්සේලා රාම ගමෙහි ම වඩා හිඳෙව්වා.

23. ධර්මාශෝක රජ්ජුරුවෝ අසූ හාරදහසක් චෛත්‍යවල කරවපු ඒ මහා ධාතු නිධානයේදී අටවෙනි ද්‍රෝණයත් වඩමවා ගැනීම පිණිස අණ කරන්ට අදහස් කළා.

24. ‘අප භාග්‍යවතුන් වහන්සේගේ ඒ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වෙන්කොට තියෙන්නේ ලංකාවේ අනාගතයේ ඉදිවෙන මහාසෑයේ නිධන් කිරීම උදෙසා ය’ කියලා රහතන් වහන්සේලා ධර්මාශෝක රජ්ජුරුවන්ව එයින් වැළැක්කුවා.

25. රාමගමෙහි ස්ථූපය කරවා තිබුනේ ගංගාව ආසන්නයේ. දිනක් වේගයෙන් ගලා ආ ගඟේ සැඩ පහරින් ස්ථූපය බිඳී ගියා. ඒ ධාතූන් වහන්සේලා තැන්පත් කරඬුව,

26. මුහුදට ගිහින් ජලය දෙබෑ කරගෙන අහසට මතුවෙලා නොයෙක් රත්නයන් පිරීගිය පීඨිකාවක රැස් විහිදුවමින් වැඩසිටියා.

27. ඒ කරඬුව දැකපු නාගයෝ මාංජේරිකා නාගභවනයේ ඉන්න මහා කාල නැමැති නාගරාජයා වෙත ගිහින් දැනුම් දුන්නා.

28. මහාකාල නාගරාජයා දස කෝටි දහසක නා පිරිවරත් සමඟ එතැනට ගිහින් මහත් ආදරයෙන් පූජාවන් පවත්වමින් තමන්ගේ භවනට ඒ ධාතු කරඬුව වැඩමවාගෙන ආවා.

29. සත්රුවනින් ස්ථූපයක් කරවා ඒ තුළ වඩා හිඳෙව්වා. ඒ ස්ථූපයට උඩින් අලංකාර මණ්ඩපයක් මැව්වා. හැමකල්හී මහත් ආදරයෙන් යුක්තව නාගයන් සමඟ සැමදා පූජා පැවැත්තුවා.

30. ‘ඇවැත් සෝණුත්තරයෙනි, එතන ධාතු කරඬුවට ඉතා දැඩි ආරක්ෂාවක් තියෙනවා. ඔබ ගිහින් ඒ ධාතු කරඬුව මෙහි වඩමවා ගෙන එන්ට. අපේ රජ්ජුරුවෝ හෙට මහා සෑයේ ධාතු නිධානය කරනවා නොවැ.’

31. සෝණුත්තර රහතන් වහන්සේ මෙසේ වදාළ සංඝයාගේ වචනය අහලා ‘එහෙමයි ස්වාමීනී’ කියලා නා ලොවට පිටත් වෙන්ට ඕනෑ කාලය බලමින් තමන් සිටි පිරිවෙනට වැඩියා.

32. දුටුගැමුණු රජ්ජුරුවෝ මහා සෑයේ ධාතු නිධානෝත්සවය සිදුවෙන්නේ හෙටයි! කියලා සියලු කටයුතු වලට කරුණු විධානය කරලා නගරයේ අඬබෙර හැසිරෙව්වා.

33. මුළු නගරයත්, මෙහෙට (මහා විහාරයට) පැමිණෙන මාර්ගයත් අලංකාර කළා. නගරවැසියොත් මනාකොට හැඳ පැළඳ ගත්තා.

34. සක් දෙවිඳුත් විස්කම් දෙව්පුතු අමතා මුළු ලංකාව ම නොයෙක් අයුරින් අලංකාර කෙරෙව්වා.

35. රජ්ජුරුවෝ නගරයේ දොරටු සතරේ නානාවිධ වස්ත්‍රත්, ආහාරපානත් මහජනයාගේ ප්‍රයෝජනය පිණිස තැබ්බෙව්වා.

36. රජෙකු විසින් කළයුතු දේ ගැන හොඳින් දන්නා රජ්ජුරුවෝ සතුටු සිතින් යුතුව එදා පසළොස්වක පොහොය දවසේ හැන්දෑ ජාමේ සියලු රාජාභරණයෙන් සැරසුනා.

37. සියලු නාටක ස්ත්‍රීන් විසිනුත්, ආයුධ අතින් ගත් යෝධයන් විසිනුත්, ඇත් – අස් – රථ – පාබල යන මහා සිව්රඟ සේනා විසිනුත්,

38. නොයෙක් ආභරණවලින් ඉතාම ලස්සනට සැරසීගෙන රජ්ජුරුවන් පිරිවරා ගත්තා. සුදෝ සුදු ආජානේය සෛන්ධව අශ්වයන් සතර දෙනෙකු යොදොවා තියෙන ඉතා මනහර මංගල රථයට නැගුණු රජ්ජුරුවෝ,

39. අලංකාර ලෙස සරසපු කඩොල් ඇතා පෙරටුකොට ගෙන සුදු සේසත යටින් රනින් කළ කරඬුව අල්ලාගෙන සිටියා.

40. අනුරාධපුර නගරවාසී කාන්තාවෝ එක්දහස් අට දෙනෙක් ඉතා අලංකාරව සැරසිලා පිපී ගිය මල් දැමූ පුන්කළස් අරගෙන ඒ රාජරථය පිරිවරා ගත්තා.

41. නොයෙක් වර්ගයේ මල් පොකුරු ගත් ස්ත්‍රීනුත්, දඬුවැට පහන් ගත් ස්ත්‍රීනුත් එබඳු වූ එක්දහස් අටක ප්‍රමාණයෙන් ම සිටියා.

42. ඉතා අලංකාර ලෙස සැරසුණු දරුවන් එක්දහස් අටකුත්, නොයෙක් පැහැ ගත් ඉතා අලංකාර කොඩි අරගෙන පෙළගැසුනා.

43. ඒ ඒ තැන්වල නොයෙක් තූර්යනාද ඝෝෂාවන් ගෙනුත්, ඇත් – අස් – රථ ශබ්දයන්ගෙනුත්, පොළෝ තලය බිඳී යන්නාක් මෙන් ඇසුනා.

44. මහා යස පිරිවරින් යුතු අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ මහත් දිව්‍යානුභාවයෙන් තව්තිසාවේ නන්දන භවයට යන ශක්‍ර දේවේන්ද්‍ර විලාසයෙන් අපමණ රාජ්‍ය ශ්‍රී විභූතියෙන් යුක්තව මහමෙව්නා උයනට සැපත් වීමට සූදානම් වුනා.

45. රජ්ජුරුවන්ගේ ගමනාරම්භයේදී නගරයේ මහා හඬ නංවන තූර්යනාදය පිරිවෙනේ හුන් අපගේ සෝණුත්තර රහතන් වහන්සේට ඇසුනා.

46. ඉර්ධිබලයෙන් එතැනම පොළොවේ කිමිදුනා. නාගභවනට වැඩියා. මහාකාල නාගරාජයා ඉදිරියේ ඉක්මනින් පහළ වුනා.

47. මහාකාල නාරජ්ජුරුවෝ වාඩි වී හුන් අසුනින් නැගිටලා උන්වහන්සේට ආදරයෙන් වන්දනා කරලා ආසනයක වඩා හිඳෙව්වා. සත්කාර දක්වලා කොයි රටෙන් ද වැඩියේ කියලා නාරජ්ජුරුවෝ ඇහැව්වා.

48. තමන් ලංකාදීපයෙන් පැමිණි බව නාරජ්ජුරුවන්ට කිව්වාට පස්සේ වඩින්ට හේතු වූ කාරණාව මොකක්ද කියලා ඇහැව්වා. එතකොට සෝණුත්තර තෙරුන් වහන්සේ සංඝයාගේ සන්දේශයත්, සියලු විස්තරත් පවසා සිටියා.

49. “නාරජ්ජුරුවෙනි, ඔබ ළඟ වැඩහිඳින ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ලංකාවේ ඉදිවෙන මහා සෑයේ නිධන් කරවනු පිණිස සක් දෙවිඳුන් සාක්ෂි කොට අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ම වෙන්කොටයි තියෙන්නේ. ඒ නිසා ඒ ධාතූන් වහන්සේලා මා හට දුන මැනැව.”

50. එය ඇසූ මහාකාල නාරජ්ජුරුවෝ අතිශයින්ම නොසතුටට පත්වුණා. ‘මේ ශ්‍රමණයා බලහත්කාරයෙන්වත් ධාතූන් වහන්සේලා ගන්ට බැරි නෑ.

51. ඒ නිසා මෙතැනින් වෙනත් තැනකට ධාතූන් වහන්සේලා වඩම්මන්ට ඕනෑ’ කියා සිතලා තමා අසල සිටි තම බෑණනුවන්ට ඉඟියකින් දැනුම් දුන්නා.

52. නමින් වාසුලදත්ත වූ ඔහු නාරජ්ජුරුවන්ගේ ඉඟිය තේරුම් අරගෙන ඒ චේතියඝරයට ගිහින් ධාතුකරඬුව ගිල්ලා.

53. ඊටපස්සේ සිනේරු පර්වතය පාමුලට ගිහින් රවුමට කැරකිලා නිදාගත්තා. වාසුලදත්තගේ නාග බඳ යොදුන් තුන්සියයක් දිගයි. එක්සිය යොදුනක් වටප්‍රමාණයට සිරුරක් මවාගෙන හිටියා.

54. බොහෝ දහස් ගණන් පෙණ මවාගෙන හිටියා. මහා ඉර්ධිබලැති ඔහු ගිනිදැල් පිටකරමින් දුම් දමමින් නිදාගෙන සිටියා.

55. තමන් අවට තමන් වගේම විශාල නාගයින් නොයෙක් දහස් ගණන් මවලා ඔවුන්වත් නිදන්ට සැලැස්සුවා.

56. ඒ වෙලාවේ බොහෝ දෙවියොත්, නාගයොත් මාංජෙරිකා නාගභවනට ආවා. ශ්‍රමණ නාගයාගෙයි, සර්ප නාගයාගෙයි යුද්ධය බලන්ට ඕනෑ කියලා.

57. මාමණ්ඩිය වන මහාකාල නාගරාජයා තම බෑණනුවන් ධාතූන් වහන්සේලා බැහැරට ගෙනගිය බව දැනගෙන ‘ස්වාමීනී, මං ළඟ ධාතූන් වහන්සේලා නෑ නොවැ’ කියලා සෝණුත්තර තෙරුන්ට කිව්වා.

58. සෝණුත්තර තෙරුන් වහන්සේ ඒ ධාතූන් වහන්සේලාගේ ඉතිහාසය මුල පටන් ම දැනගෙන ඒ විස්තරය නාරජ්ජුරුවන්ට පවසා ‘නාරජ්ජුරුවෙනි, ඒ ධාතූන් අපට අයිතියි. ඒ නිසා දෙනු මැනැව’ කියා වදාළා.

59. එතකොට නාරජ්ජුරුවෝ තෙරුන් වහන්සේට වෙනත් ක්‍රමයකින් තේරුම් කරදෙන්ට ඕනෑ කියලා සිතා නාගභවනයේ චේතියඝරය ළඟට කැඳවාගෙන ගිහින් විස්තර කළා.

60. “භික්ෂුව, බලනු මැන. නොයෙක් ආකාරයෙන්, නොයෙක් රන් රුවන්වලින් ඉතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ චේතියඝරය.

61. තමුන්නාන්සේගේ ලංකාද්වීපයේ සියලු රන් රුවන් එකතු කළත් මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩපහණක් තරම්වත් වටිනාකමක් නෑ. මේ චේතියඝර ආදියේ ඇති මුතු මැණික්වල වටිනාකම ගැන කවර කතාද!

62. ඒ නිසා භික්ෂුව, මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතූන් වහන්සේලා ගෙනියනවා යන මෙය තොපට ගැලපෙන දෙයක් නොවේ.”

63. “නාගරජ්ජුරුවෙනි, චතුරාර්ය සත්‍යාවබෝධය ඔබගේ නාගලෝකයේ තියෙන දෙයක් නොවේ. සත්‍යාවබෝධ කළ ජනයා ඉන්න තැනකට ධාතූන් වහන්සේලා වැඩමවාගෙන යාම අයුතු දෙයක් නොවේ.”

64. ලෝකයට තථාගතයන් වහන්සේලා පහළ වන්නේ දෙවි මිනිසුන්ව සංසාර දුකින් මුදවන්ටයි. බුදුරජාණන් වහන්සේගේ අදහස වූයේ ලංකාවේ ඉදිවන මහාසෑයේ මේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා නිධන් කරවීමයි. ඒ නිසා අපි ධාතුන් වහන්සේලා ගෙනියන්ට ඕනෑ ම යි.

65. මහාසෑය කරවපු අපගේ රජ්ජුරුවෝ අද ම ධාතු නිධානය කරන්ට සූදානමින් ඉන්නවා. ඒ නිසා ප්‍රමාද නොකොට ඉක්මනින් මට ධාතූන් වහන්සේලා දුන මැනැව.”

66. එතකොට මහාකාල නාරජ්ජුරුවෝ මෙහෙම කිව්වා. “ස්වාමීනී, ඉදින් ධාතූන් වහන්සේලා තියෙන බව ඔබ දකිනවා නම්, අරගෙන වඩින්ට” එතකොට සෝණුත්තරයන් වහන්සේ තුන් වතාවක් ම නාරජ්ජුරුවන් ලවා එය කියවා ගත්තා.

67. එකෙණෙහිම තෙරුන් වහන්සේ එතැන සිටියදී ම ඉතා සියුම් අතක් මවලා නාරජුගේ බෑණා වන වාසුලදත්ත නාගයාගේ මුව තුළට යවා,

68. ධාතු කරඬුව අරගෙන ‘නාරජ්ජුරුවෙනි, ඔහොම සිටින්ට’ කියලා නා ලොවින් නික්මිලා තමන් සිටි පිරිවෙනේ පොළොවෙන් මතුවුනා.

69. මහාකාල නාරජ්ජුරුවෝ ‘අප විසින් රවට්ටපු භික්ෂුව යාන්තම් පිටත් වුනා’ කියලා තම බෑණනුවන්ට ධාතු කරඬුව අරගෙන එන්ට කියලා නාගයින් අත පණිවිඩය යැව්වා.

70. එතකොට වාසුලදත්ත නාගයා තමන්ගේ කුස තුළ කරඬුව නොදැක මහා හයියෙන් හඬාගෙන ගිහින් මහාකාල නාරජ්ජුරුවන්ට දැනුම් දුන්නා.

71. එතකොට මහාකාල නාරජ්ජුරුවෝ “අයියෝ! එහෙනම් ඒ භික්ෂුව රවට්ටලා තියෙන්නේ අපිව නොවැ!” කියලා වැළපෙන්ට පටන් ගත්තා. ධාතූන් වහන්සේලා නැති වීමෙන් පීඩාවට පත් සියලු නාගයන් වැළපුනා.

72. ‘ශ්‍රමණ නාගයාට ජය අත්වුනා’ කියලා එතැන රැස්වුන දෙවිවරු සතුටට පත්වුනා. ධාතූන් වහන්සේලාට පූජා පවත්වමින් සෝණුත්තර තෙරුන් සමඟම පැමිණියා.

73. නාගයෝ සංඝයා වහන්සේ ළඟට හඬා වැළපීගෙන ආවා. ධාතූන් වහන්සේලා රැගෙන යාම ගැන දුකට පත්වෙලා බොහෝ කරුණු කිය කියා වැළපුනා.

74. ඔවුන් කෙරෙහි අනුකම්පා කළ සංඝයා වහන්සේ ධාතු ස්වල්පයක් ඔවුන්ට ලබා දුන්නා. එයින් සතුටට පත් වූ නාගයෝ නාලොවට නැවත ගිහින් බොහෝ පූජාභාණ්ඩ ගෙනැවිත් දුන්නා.

75. සක් දෙවිඳු මැණික් ආසනයකුයි, රන් කරඬුවකුයි අරගෙන දෙවියන් පිරිවරාගෙන ඒ පිරිවෙනට පැමිණියා.

76. තෙරුන් පොළොවෙන් මතු වූ තැන විස්කම් දෙව්පුතු ලවා සුන්දර රුවන් මණ්ඩපයක් කරවා එහි රුවන් ආසනය තැන්පත් කළා.

77. සෝණුත්තර තෙරුන් වහන්සේ වඩමවාගෙන ආ ධාතු කරඬුව උන්වහන්සේගේ අතින්ම ගෙන තමන් ගෙනා රන් කරඬුවේ තැන්පත් කරලා උතුම් ආසනයේ වඩා හිඳෙව්වා.

78. සහම්පතී මහා බ්‍රහ්මයා යොදුනක් පමණ දික් වූ දිව්‍ය සේසතක් ඔසොවාගෙන සිටියා. සන්තුසිත දිව්‍යරාජයා දිව්‍ය චාමරයෙන් පවන් සැලුවා. සුයාම දිව්‍යරාජයා මැණික් වටාපතක් දරාගෙන සිටියා. සක්දෙව්රජ සුවඳ දිය පෙරවූ විජයෝත්තර සංඛය දරාගෙන සිටියා.

79. සතරවරම් මහ දෙවිවරු කඩු ගත් අත් ඇතිව සතර දිශාවෙන් ඇවිත් සිටියා. මහා ඉර්ධිමත් තිස්තුන් දිව්‍යපුත්‍රයෝ පොකුරු වශයෙන් ගත්,

80. පරසතු මල්වලින් පූජා පවත්වමින් එතැන සිටියා. දෙතිසක් වූ දිව්‍යකුමාරිකාවෝ දඬුවැට පහන් දරාගෙන හිටියා.

81. දුෂ්ට යකුන් පළවා හැරලා යක්සෙන්පතිවරු විසිඅට දෙනා ධාතූන් වහන්සේලාට රැකවල් සැළසුවා.

82. එතැනට පැමිණි පංචසිඛ ගාන්ධර්ව පුත්‍රයා වීණාව වාදනය කරමින් සිටියා. රඟ මඬලක් මැවූ තිම්බරූ දිව්‍යරාජයා තූර්යවාදනය කළා.

83. නොයෙක් දිව්‍යපුත්‍රවරු ධාතූන් වහන්සේලාට පූජා පිණිස යහපත් ගීත ගායනා කළා. මහාකාළ නාගරාජයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ වර්ණනා කරමින් සිටියා.

84. එතැන දිව්‍යතූර්යනාද පැතිරුනා. දිව්‍ය සංගීතය පැතිරුනා. දෙවිවරු දිව්‍ය සුවඳින් යුතු වැසි වැස්සුවා.

85. ඒ ඉන්දගුත්ත මහරහතන් වහන්සේ මාරයාගෙන් පැමිණිය හැකි උවදුරු වළක්වාලන්ට මුළු සක්වල වැහෙන්ට අහසේ ලෝහමය ඡත්‍රයක් මැව්වා.

86. ධාතූන් වහන්සේලා පෙරටුකොටගෙන තැනින් තැන පස්පොළක වැඩහුන් භික්ෂූන් වහන්සේලා සූත්‍ර පිටකයෙහි තිබෙන දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන පංච නිකායන්ට අයත් සූත්‍ර දේශනා වෙන් වෙන්ව සජ්ඣායනා කළා.

87. අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ මහා සතුටින් එතැනට සැපත් වුනා. හිසින් වඩමවාගෙන ආ රන් කරඬුවෙහි,

88. ධාතු කරඬුව වඩා හිඳුවා විස්කම් දෙව්පුතු මැවූ ආසනයේ පිහිටුවලා ධාතූන් වහන්සේලාට වන්දනා මානන පුද සත්කාර කරලා දෙව්පුතු මැවූ රුවන් මණ්ඩපයෙහි වන්දනා කරගෙන සිටගත්තා.

89. රජ්ජුරුවෝ අහසේ පෙනෙන දිව්‍ය ඡත්‍ර ආදියත්, පැතිර යන දිව්‍ය සුගන්ධයත් දැකලා දිව්‍ය තූර්යනාද අසලා,

90. ඡත්‍රය ඔසොවාගෙන ඉන්න මහා බ්‍රහ්මයාත්, දෙවිවරුත් නොදැක ආශ්චර්යය අද්භූත ඇතිව හටගත් ප්‍රීතියෙන් තමන්ගේ ඡත්‍රයෙන් ධාතූන් වහන්සේ පිදුවා. ලංකා රාජ්‍යයෙන් අභිෂේක කළා.

91. “ස්වාමීනී, ලෝකනාථ වූ අපගේ ශාස්තෘන් වහන්සේ දිව්‍ය ඡත්‍රයයි, මනුෂ්‍ය ඡත්‍රයයි, විමුක්ති ඡත්‍රයයි යන ත්‍රිඡත්‍රධාරී වන සේක් නොවේ ද!” කියලා ඉන්දගුත්ත රහතන් වහන්සේගෙන් ඇසුවා.

92. උන්වහන්සේ ‘අප භාග්‍යවතුන් වහන්සේ ධර්මචක්‍රය පවත්වන සද්ධර්ම චක්‍රවර්තී ධර්මරාජයාණන්’ කියා පැවසූ විට සතුටට පත් රජ්ජුරුවෝ තුන් වරක් ම ‘මගේ රාජ්‍යය භාග්‍යවතුන් වහන්සේට පූජා කරමි’ කියලා තුන්වතාවක් ම ධාතූන් වහන්සේලාට ලංකාරාජ්‍යය පූජා කළා.

93. දෙවියන් විසිනුත්, මිනිසුන් විසිනුත් ඒ ධාතූන් වහන්සේලාට පූජා පවත්වමින්, රජ්ජුරුවෝ සක් දෙවිඳු ගෙනා රන් කරඬුව බහාලූ රන් කරඬුව හිස මත තබාගෙන

94. භික්ෂු සංඝයා පිරිවරාගෙන මහා සෑය ප්‍රදක්ෂිණා කරලා නැගෙනහිර පැත්තෙන් නැගලා ධාතු ගර්භයට බැස්සා.

95. අනූසය කෝටියක් රහතන් වහන්සේලා උතුම් මහාසෑය හාත්පසින් වටකොටගෙන වන්දනා කරගෙන සිටගෙන සිටියා.

96. ධාතූන් වහන්සේලා නිසා ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇති රජ්ජුරුවෝ ධාතු ගැබට බැහැලා එහි පනවා තිබූ සුන්දර වූ මහානීය සයනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්ට ඕනෑ කියා සිතන කොටම,

97. ධාතූන් වහන්සේලා වැඩසිටින ඒ ධාතු කරඬුව රජ්ජුරුවන්ගේ හිසෙන් අහසට පැන නැංගා. තල් ගස් හතක් උසට අහසේ වැඩසිටියා. එසේ අහසේ වැඩහිඳ,

98. ඉබේටම කරඬුව විවෘත වෙලා එතැනින් ධාතූන් වහන්සේලා අහසට වැඩලා මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යංජනයෙන් බබලන බුදුරජාණන් වහන්සේගේ හැඩය ගත්තා.

99. ගණ්ඩබ්බ රුක්මුල යමක මහා ප්‍රාතිහාර්යය දක්වන අපගේ බුදුරජාණන් වහන්සේ ලෙසින්ම අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩහිඳින සමයේ කරන ලද අධිෂ්ඨානය පරිදි අහස් තලයෙහි යමා මහ පෙළහර දක්වා වදාළා.

100. ඒ ප්‍රාතිහාර්යය දැකීමෙන් බුද්ධානුස්සතිය වඩා එකඟ වූ සිත් ඇතිව එතන සිටි දෙවි මිනිස්සු දොළොස් කෝටියක් අරහත් ඵලයට පත්වුනා.

101. අනිත් මාර්ගඵලයන්ට පත්වූ දෙව්මිනිස් පිරිස ගණන් කිරීම් ඉක්මවා ගියා. ඊට පස්සේ ඒ ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ හැඩය අත්හැරලා කරඬුවෙහි වැඩසිටියා.

102. ඊටපස්සේ අහසින් වැඩිය ධාතු කරඬුව රජ්ජුරුවන්ගේ හිස මත පිහිටා වදාළා. රජ්ජුරුවෝ ඉන්දගුත්ත තෙරුන් වහන්සේ හා ඒ නාටක ස්ත්‍රීනුත් සමඟින්

103. ධාතු ගර්භය ප්‍රදක්ෂිණා කරමින් රජ්ජුරුවෝ ඉතා යහපත්ව පණවන ලද සුන්දර සයනය මත තිබූ රුවන් ආසනය මත කරඬුව වඩා හිඳෙව්වා.

104. ඊට පස්සේ රජ්ජුරුවෝ සුවඳ කැවූ ජලයෙන් දෑත් සෝදාගෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ආදර ගෞරවයෙන් යුක්තව සුවඳ වර්ග සතරකින් ලබාගත් සුවඳ කරඬුවේ ගල්වලා,

105. කරඬුව විවෘත කරලා ඒ ධාතූන් වහන්සේලා ගත් රජ්ජුරුවෝ මහජනයාට යහපත කැමතිව මෙහෙම සිතුවා.

106. ඉදින් කිසිවෙකුගෙනුත් කරදරයක් නොවී මේ ධාතූන් වහන්සේලා වැඩසිටින සේක් නම්, ලෝක සත්වයාව සතර අපා භයෙනුත්, අනෙකුත් දුක් කරදරවලින් බේරාගෙන පිහිට ලබාදීම පිණිස මේ ධාතූන් වහන්සේලා වැඩසිටින සේක් නම්,

107. හොඳාකාරව පණවන ලද මේ මහානීය සයනය මත අපගේ ශාස්තෘන් වහන්සේ එදා පිරිනිවන් මඤ්චකයේ සැතැපී සිටි ආකාරයෙන් සැතැපී වැතිරෙන සේක්වා! යි

108. මෙසේ සිතලා රජ්ජුරුවෝ ඒ ධාතූන් වහන්සේලා උතුම් සයනයෙහි වඩාහිඳෙව්වා. එතකොටම ධාතූන් වහන්සේලා එදා අපගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතැපී සිටි ආකාරයෙන් ම පෙනී සිටිමින් උතුම් සයනයෙහි සැතැපී වැතිර වදාළා.

109. ඇසළ පුන් පොහෝ දා උතුරුසල නැකැත පිහිටි වේලෙහි මේ ආකාරයට ධාතූන් වහන්සේලා මහා සෑ ගර්භයේ පිහිටා වදාළා.

110. ධාතූන් වහන්සේලා මහාසෑයේ පිහිටනවාත් සමඟම මහාපොළොව කම්පා වුනා. නොයෙක් ආකාරයෙන් බොහෝ ප්‍රාතිහාර්යයන් සිදුවුනා.

111. මහත් සේ පැහැදුණු රජ්ජුරුවෝ සුදු සේසතින් ධාතූන් වහන්සේලා පූජා කළා. මුළු ලංකා රාජ්‍යය ම සත් දවසකට පූජා කළා.

112. තමන්ගේ කයේ පැළඳ සිටි කහවණු තිස් ලක්ෂයක් වටිනා සියලු ආභරණ ධාතු ගර්භයෙහිම පූජා කළා. එතකොට ඒ විදිහටම නාටක ස්ත්‍රීනුත්, ඇමතිවරුත්, දෙව්පිරිසත් තමන් පැළඳ සිටි සියලු ආභරණ පූජා කළා.

113. රජ්ජුරුවෝ වස්ත්‍රවලින්, උක් සකුරුවලින් සංඝයාට උපස්ථාන කළා. තුන්යම රාත්‍රිය මුළුල්ලේ භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක සජ්ඣායනය කළා.

114. පසුවදා ජනතාවගේ යහපත කැමති රජ්ජුරුවෝ ‘මේ සතිය පුරා සියලුම ජනතාව සිත් සේ ධාතූන් වහන්සේලා වැඳපුදා ගනිත්වා!’ කියලා නුවර පුරා අඬබෙර ඇස්සෙව්වා.

115. මහා ඉර්ධිමත් ඉන්දගුත්ත මහරහතන් වහන්සේ මෙහෙම අධිෂ්ඨානයක් කළා. ‘ධාතූන් වහන්සේලා වන්දනා කරන්ට කැමති යම් මිනිස්සු ලංකාවේ සිටිනවාද,

116. සැණෙකින් ඔවුන් මෙහි ඇවිත් ධාතූන් වහන්සේලා වන්දනා කරලා කැමති පරිදි තම නිවෙස්වලට යත්වා’ කියලා. අධිෂ්ඨානයට අනුව ම එය සිද්ධ වුනා.

117. මහා යස පිරිවර ඇති අපගේ මහරජ්ජුරුවෝ සත් දවසක් පුරා භික්ෂු සංඝයා වහන්සේට නිරතුරුව මහා දන් පවත්වලා,

118. “ස්වාමීනී, ධාතු ගර්භයේ කටයුතු මං සම්පූර්ණ කළා. ධාතු ගර්භය වසන කටයුතු සංඝයා වහන්සේලාම දැනගන්ට සුදුසුයි” කියලා පැවසුවා.

119. එතකොට සංඝයා වහන්සේ උත්තර, සුමන යන ඒ සාමණේරයන් වහන්සේලා දෙනමට ඒ කටයුත්ත පැවරුවා. උන්වහන්සේලා ගෙනෙන ලද මේදවර්ණ ගල්පුවරුවෙන් ධාතු ගර්භය වැසුවා.

120. “මෙහි පූජා කරන ලද මල් නොමැලවේවා! මෙහි පූජා කළ සුවඳ වියලී නොයාවා! මෙහි දල්වන ලද පහන් නොනිවේවා! මේ ධාතු ගර්භයේ කිසිවක් කිසි වෙනසකට පත්නොවේවා!

121. මේද වර්ණ ගල්පුවරු සය හැමවිටම එකට පෑස්සී තිබේවා!” කියන මේ සියල්ල රහතන් වහන්සේලා එතැනදී අධිෂ්ඨාන කොට වදාළා.

122. ඊට පස්සේ ඒ රජ්ජුරුවෝ ‘මහජනයා ශක්ති පමණින් මේ වසන ලද ධාතු ගර්භය මත ධාතු නිධානය වෙනුවෙන් තමන්ගේ යහපත පිණිස පූජාවන් කරත්වා!’ කියලා අණ කළා.

123. මේ මහා ධාතු නිධානය මත තම තමන්ගේ ශක්තිය පරිදි මහජනයාත් දහස් ගණන් පූජා වස්තූන් එතැනම තැන්පත් කළා.

124. රජ්ජුරුවෝ ඒ සියලු පූජා වස්තූන් වසා නිමකළා. මේ ආකාරයට මහාසෑයේ ධාතු නිධන් කිරීමේ කටයුතු සමාප්ත වුනා. මහාසෑයේ සතරැස් කොටුව දක්වා වැඩ සම්පූර්ණ කරගන්ට පුළුවන් වුනා.

මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේලා සිතාගත නොහැකි ගුණ ඇති සේක. බුදුරජුන් විසින් වදාරණ ලද ධර්මය ද සිතා ගත නොහැකි තරම් ගුණයෙන් යුක්තය. මෙබඳු වූ සිතාගත නොහැකි ගුණානුභාවයෙන් යුක්ත වූ දේ කෙරෙහි සිත පහදවා ගත්තවුන් හට ලැබෙන විපාක ද සිතාගත නොහැක්කේ ම ය.

125. දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ ඉතා පැහැදිලි ශ්‍රද්ධාවකින්, නොකිළිටි සිතින්, තමන්ගේ උත්සාහයෙන් පින් රැස්කරගෙන සියලු සැපයන්ට වඩා අග්‍ර නිවනම පතාගෙන පින් කරන්ට ඕනෑ. නොයෙක් ආකාරයෙන් පිරිවර ජනයා ලැබීමට හේතු වන අනුන් ලවාත් පිරිසිදු සිතින් පින් කරවන්ට ඕනෑ.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රුවන්වැලි මහාසෑයේ ධාතු නිධානෝත්සවය නම් වූ තිස්එක්වෙනි පරිච්ඡේදය යි.