1. ජෙට්ඨතිස්ස රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජ්ජුරුවන්ගේ මල්ලී වන මහසෙන් කුමාරයා රජබවට පත්වෙලා විසි හත් අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා.

2. ඒ සංඝමිත්‍ර භික්ෂුව නිසි කල් දැනගෙන මහසෙන් රජ්ජුරුවන්ගේ රාජාභිෂේකය කරන්ට දකුණු ඉන්දියාවේ සිට මේ අනුරාධපුරයට ආවා.

3. මහසෙන් රජ්ජුරුවන්ගේ අභිෂේකය කරවා එයට අදාළ වූ අනෙක් බොහෝ කෘත්‍යයන් ද කරවා සීල සංයමයෙන් තොර වූ සංඝමිත්‍ර භික්ෂුව මහාවිහාරය විනාශ කරන්ට කැමැත්තෙන්,

4. “මහරජ්ජුරුවෙනි, ඔය මහාවිහාර භික්ෂූන් වහන්සේලා විනයානුකූල පැවැත්මෙන් තොරයි. අපි තමයි විනයානුකූලව වාසය කරන්නේ” කියලා මහසෙන් රජ්ජුරුවන්ව නොමග යැව්වා.

5. ‘මහා විහාරයේ වාසය කරන භික්ෂුවකට දාන වේලක් දුන්නොත් ඔහු කහවණු සියයක දඩයකට යටත්’ කියලා රාජ දණ්ඩනයක් පිහිටෙව්වා.

6. පීඩාවට පත් මහාවිහාරවාසී භික්ෂූන් වහන්සේලා මහා විහාරය අත්හැරලා කඳුරට, රුහුණ ආදී ප්‍රදේශ බලා වැඩම කළා.

7. ඒ හේතුවෙන් මේ අපගේ මහාවිහාරය නව වර්ෂයක් පාළුවට ගොස් තිබුණා. මහා විහාරය එහි වාසය කළ භික්ෂූන් වහන්සේලාගෙන් හිස්වෙලා ගියා.

8. ඒ මිථ්‍යා දෘෂ්ඨික සංඝමිත්‍ර භික්ෂුව අයිතිකාරයෙක් නැති වස්තුව රජ්ජුරුවන්ට අයිතිවෙනවා කියලා මහසෙන් රජ්ජුරුවන්ට ද ඒ වැරදි අදහස ඇතිකෙරෙව්වා.

9. මහා විහාරය වනසන්ට රජ්ජුරුවන්ගෙන් එයට විරුද්ධත්වය නැති බවට අනුමැතිය ලබාගත්තා. දුෂ්ට සිතින් යුතු සංඝමිත්‍ර භික්ෂුව මහාවිහාරය කඩා බිඳුවන්ට මිනිසුන්ව යෙදෙව්වා.

10. සංඝමිත්‍ර භික්ෂුවගේ සේවකයෙක් වූ මහසෙන් රජ්ජුරුවන්ගේ කුළුපග දරුණු වූ සෝණ ඇමතියාත්, පවට ලැජ්ජාවක් නැති භික්ෂූනුත්,

11. සත් මහල් වූ උතුම් ලෝහප්‍රාසාදය බිඳවලා නානාප්‍රකාර වූ විහාර ගෙවල් ද බිඳවලා මෙහෙන් අභයගිරියට ගෙනිච්චා.

12. මේ මහාවිහාරය බිඳවා අරගෙන ගිය බොහෝ ප්‍රාසාද උපකරණවලින් තනවන ලද අභයගිරි විහාරය බොහෝ ප්‍රාසාදයන්ගෙන් යුක්ත වුනා.

13. සංඝමිත්‍ර නැමැති පාප මිත්‍ර භික්ෂුවත්, සෝණ නැමැති සේවකයාත් තමන් ළඟට පැමිණීම නිසා ඒ මහසෙන් රජ්ජුරුවෝ සුවිශාල පව් රැස්කරගත්තා.

14. පාචීනතිස්ස පර්වත විහාරයේ පිහිටුවා තිබූ මහා ශෛලමය ප්‍රතිමාව ගෙන්නවා ගත් මහසෙන් රජ්ජුරුවෝ එය අභයගිරියේ පිහිටෙව්වා.

15. පිළිමගෙයත්, බෝධිඝරයත්, මනරම් ධාතු මන්දිරයත්, සතරැස් ශාලාවත් කරවා කුක්කුටගිරි පිරිවෙන් පෙළත් අළුත්වැඩියා කෙරෙව්වා.

16. සංඝමිත්‍ර භික්ෂුවගේ ඒ දරුණු ක්‍රියා හේතුවෙන් ඒ කාලයේ අභයගිරි විහාරය දර්ශනීය ආකාරයෙන් පෙනුනා.

17. රජ්ජුරුවන්ගේ සියලු යහපත කැමැතිව සිටි මේඝවර්ණඅභය නමැති යහළු ඇමතියෙක් මහාවිහාරය නැසීම නිසා රජ්ජුරුවන් කෙරෙහි කිපුනා.

18. ඔහු රජ්ජුරුවන්ට විරුද්ධව කැරලිකාරයෙක් වෙලා කඳුරටට ගිහින් මහාසේනාවක් රැස්කරගෙන මහසෙන් රජ්ජුරුවන් සමඟ සටනට එනු පිණිස දූරතිස්ස වැව ළඟ කඳවුරු බැඳගත්තා.

19. මහසෙන් රජ්ජුරුවෝත් තමන්ගේ යහළුවා තමන් සමඟ යුද්ධ පිණිස ඇවිත් කඳවුරු බැඳගෙන ඉන්න බව අහලා තමනුත් ගිහින් ඔහුගේ කඳවුරට ඔබ්බෙන් යුද්ධ කිරීම පිණිස කඳවුරක් බැන්දා.

20. එදා යහළු අමාත්‍යයාට රසවත් බීමකුත් මසකුත් කඳුරටින් ලැබුනා. මෙය මා මිත්‍ර රජ්ජුරුවන් සමඟ මිසක් තනියම කන්නේ නෑ කියලා සිතුවා.

21. ඉතින් ඔහු ඒ බීමත්, මසුත් රැගෙන රෑ තනියම රජ්ජුරුවන්ගේ කඳවුරට ගියා. රජ්ජුරුවන් මුණගැසී තමන් ආ කාරණාව දැනුම් දුන්නා.

22. ඔහු විසින් ගෙනා ඒ බීමත් මසුත් රජ්ජුරුවෝ විශ්වාසයෙන් යුක්තව ඔහුත් සමඟ අනුභව කළා. ‘තොප මට විරුද්ධව කැරැල්ලක් ගැසුවේ මොන කාරණාවක් නිසාද?’ කියලා රජ්ජුරුවෝ ඇසුවා.

23. “ඔබවහන්සේ විසින් මහාවිහාරය විනාශ කරපු නිසයි” කියලා ඔහු පිළිතුරු දුන්නා. “ඒ විහාරය නැවත සංඝයාට වාසභූමි කරවන්නම්. මාගේ වරදට සමා කරව!” කියලා මහසෙන් රජ්ජුරුවෝ කිව්වා.

24. රජ්ජුරුවෝ මෙහෙම කිව්වාට පස්සේ ඔහුත් රජ්ජුරුවන්ගෙන් සමාව ගත්තා. ඔහු රජ්ජුරුවන්ට කරුණු පැහැදිලි කරලා දුන්නා. රජ්ජුරුවෝ ආපසු අනුරාධපුරයට ම ගියා.

25. ඒ මේඝවර්ණාභය අමාත්‍යයා මහාවිහාරය ආයෙමත් ඉදිකරන්ට ද්‍රව්‍ය රැස් කරගන්ට ඕනෑ කියලා රජ්ජුරුවන්ව දැනුවත් කරලා රජ්ජුරුවෝ සමඟ ඒ ගමන් අනුරාධපුරයට ගියේ නෑ.

26. එක් ලියන්නෙකුගේ දුවක් වන රජ්ජුරුවන්ට ඉතාමත් කුළුපග බිරිඳක් මහාවිහාරය විනාශ කිරීම ගැන මහත් සේ දුකට පත්වෙලා, ඒ මහා විහාරය වැනසූ,

27. සංඝමිත්‍ර භික්ෂුව කෙරෙහි කිපී ඔහුව මරවන්ට වඩුවෙකුට සංග්‍රහ කොට පොළඹවා ගත්තා. ඔහු ලවා ථූපාරාමයත් විනාශ කරන්ට පැමිණි දුෂ්ට සිතක් ඇති,

28. දරුණු ක්‍රියා කරන සංඝමිත්‍ර භික්ෂුව මැරෙව්වා. සීල සංයමයෙන් තොර දරුණු වූ සෝණ අමාත්‍යයාවත් මැරෙව්වා.

29. මහාමේඝවර්ණාභය අමාත්‍යවරයා ද්‍රව්‍ය සම්භාරයන් අරගෙන ඇවිත් මහාවිහාරයේ නොයෙක් පිරිවෙන් කෙරෙව්වා.

30. අභය නැමැති ඒ මහළු ඇමතියා විසින් භය සංහිඳෙව්වාට පස්සේ ඒ ඒ තැනට වැඩි භික්ෂූන් වහන්සේලා මහාවිහාරයේ වාසය කරන්නට වැඩම කළා.

31. මහසෙන් රජ්ජුරුවෝ මහාබෝධිඝරයෙන් බටහිර දිශාවේ ලෝහරූප දෙකක් කරවා තබලා භික්ෂු සංඝයා සමා කරවා ගත්තා.

32. දක්ෂිණාරාමවාසී කුහක වූ කපටි සිත් ඇති සීලාදී සංයමයෙන් තොරවූ පාප මිත්‍ර භික්ෂුවක් වූ තිස්ස තෙරුන්ට රජ්ජුරුවෝ පැහැදුනා.

33. මහාවිහාර සීමාවට අයත් ජෝතිවනයේ භික්ෂූන් වළක්වාලද්දිත් ජේතවනාරාමය කෙරෙව්වා.

34. ඊට පස්සේ ඒ භික්ෂූන්ගේ උසිගැන්වීම මත මහා විහාර සීමාව අවලංගු කරත්වා කියලා මහාවිහාරවාසී සංඝයා ගෙන් ඉල්ලා සිටියා. එයට අකමැති වූ භික්ෂූන් වහන්සේලා මහාවිහාරයෙන් පලා ගියා.

35. වෙනත් භික්ෂූන් ඇවිත් මිහිඳු මහරහතන් වහන්සේ පිහිටුවා වදාළ සීමාව බලෙන් අවලංගු කරන එක වළක්වන්ට භික්ෂූන් වහන්සේලා කීප නමක් මහාවිහාරයේ යට බිම් ගෙයක සැඟවී සිටියා. (සීමා අවලංගුවට අකමැති භික්ෂූන් වහන්සේලා අනිත් භික්ෂූන්ට නොපෙනී සැඟවී සිටියා. ඔවුන්ගේ ඒ විනය කර්මය අසාර්ථක කරන්ටයි එසේ සැඟවී සිටියේ.)

36. ආයෙමත් මහාවිහාරය නව මාසයක් භික්ෂූන් වහන්සේලාගෙන් පාළුවෙලා ගියා. මහාවිහාරයට විරුද්ධ භික්ෂූන් සිතුවේ තමන් කළ විනය කර්මයෙන් මහාවිහාර සීමාව අවලංගු වී ගිය බවයි.

37. ඔවුන්ගේ ඒ මහාවිහාර සීමාව අවලංගු කරන කටයුතු සාර්ථක වුණා කියා සිතා අවසන් කළ විට ඔවුන්ට සීමාව අවලංගු කරන්ට බැරි වූ බව පවසමින් නැවතත් මහාවිහාරයට භික්ෂූන් වහන්සේලා ඇවිත් වාසය කළා.

38. ජේතවනාරාමය පිළිගත් තිස්ස භික්ෂුවට සංඝයා මැද පාරාජිකා ආපත්තියෙන් චෝදනා ලැබුනා.

39. එදා ධාර්මික කටයුතු කරන මහඇමතියෙකුට විනිශ්චය කරන්ට තබලා තිබුණා. රජ්ජුරුවන්ගේ අකමැත්තෙන් ම ධාර්මිකව විසඳා, ඔහුව සිවුරු හරවා ගිහි බවට පත්කළා.

40. ඒ මහසෙන් රජ්ජුරුවෝ මණිහීරක නැමැති විහාරය කෙරෙව්වා. දේවාල තුනක් විනාශ කොට විහාර තුනක් කෙරෙව්වා.

41. ගෝකණ්ණ ගමෙහි ගෝකණ්ණ විහාරයත්, ඒරකාවිල්ලේ තිබූ ඒරකාවිල්ල විහාරයත්, කලන්ද බ්‍රාහ්මණ ගමේ කලන්දක විහාරයත් කියන විහාර තුනයි කෙරෙව්වේ. ගංගාසේනක පර්වතයේ මිගගම විහාරයත් කෙරෙව්වා.

42. බටහිරින් ධාතුසේන පර්වත විහාරයත් කෙරෙව්වා. කොක්වා ජනපදයේ රාජමහා විහාරයත් කෙරෙව්වා.

43. රූපාරාම විහාරයත්, සුළුපිටි විහාරයත් කෙරෙව්වා. උතුරු අභය බෑවුමේ භික්ෂුණී ආරාම දෙකත් කෙරෙව්වා.

44. කාලවේලක යක්ෂයාගේ දේවාල භූමියේ ස්ථූපයක් කෙරෙව්වා. ලංකාව පුරා දිරාගිය බොහෝ ආවාස අළුත්වැඩියා කළා.

45. දහසක් සංඝ තෙරුන් වහන්සේලාට කහවණු දහස බැගින් වටිනා පිරිකර දුන්නා. සියලු ස්ථවිර තෙරුන් වහන්සේලාට ථේරදානය දුන්නා. අවුරුද්දක් පාසා සිවුරු දුන්නා.

46. පූජා කරන ලද ආහාරපානාදියේ කෙළවරක් නොපෙනේ. මහසෙන් රජ්ජුරුවෝ ලංකාද්වීපය ආහාරපානයන්ගෙන් සුලභ කරනු පිණිස වැව් දහසයක් කෙරෙව්වා.

47. මින්නේරි මහවැව, ජල්ලූර වැව, ඛාණුවැව, මහාමණි වැව, කෝකවාත වැව, මෝර වැව, පරක වැව,

48. කුම්බාලක වැව, වාහක වැව, රත්මල්කඩ වැව, තිස්සවඞ්ඪමානක වැව, වේළංවිටි වැව,

49. මහාගල්වැව, චීරවැව, මහාදාරගල්වැව, කාලපාසාණ වැව යන මේ වැව් දහසයයි.

50. ගංගාවෙන් පර්වතයට නමින් මහා ඇලකුත් කෙරෙව්වා. මේ ආකාරයෙන් මහසෙන් රජ්ජුරුවෝ අතිවිශාල වශයෙන් පිනුත්, පවුත් රැස් කරගත්තා.

අනුරාධපුරයේ දීඝචන්ද්‍ර නැමැති සෙනෙවිතුමන් විසින් කරවන ලද මහාවිහාර පිරිවෙනේ වැඩවසමින් පැරණි හෙළඅටුවාවල තිබුණු විස්තර මනාකොට සාරය වශයෙන් ගෙන මහානාම තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද මහාවංශයේ මුල්කොටස ය.