1. මහල්ලකනාග රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජ්ජුරුවන්ගේ පුත්‍රයා වන භාතිකතිස්ස රජ්ජුරුවෝ විසිහතර වර්ෂයක් ලංකා රාජ්‍යය පාලනය කළා.

2. මහා විහාරය වටේට ම ප්‍රාකාරයක් කෙරෙව්වා. ඒ භාතිකතිස්ස රජ්ජුරුවෝ ගවරතිස්ස විහාරයත් කෙරෙව්වා.

3. මහාගාමණිවාපි වැවත් කරවා ඒ විහාරයට දුන්නා. භාතිකතිස්ස නමින් ම විහාරයකුත් කෙරෙව්වා.

4. ථූපාරාම විහාරයේ මනරම් උපෝසථාගාරයක් කෙරෙව්වා. රජ්ජුරුවෝ රන්ධකණ්ඩක නම් වැවත් කෙරෙව්වා.

5. භාතිකතිස්ස රජ්ජුරුවෝ සත්වයන් කෙරෙහි මෘදු සිතින් යුක්තයි. සංඝයා කෙරෙහිත් තියුණු ගෞරවයකින් යුක්තයි. රජ්ජුරුවෝ භික්ෂු, භික්ෂුණී යන උභය සංඝයාට ම මහදන් පැවැත්තුවා.

6. භාතිකතිස්ස රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මල්ලී වන කනිට්ඨකතිස්ස රජ්ජුරුවෝ විසිඅට වර්ෂයක් ලංකාවේ රාජ්‍යය පාලනය කළා.

7. ඒ කනිට්ඨකතිස්ස රජ්ජුරුවෝ භූතාරාමයේ මහානාග තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදිලා අභයගිරියේ යහපත් ආකාරයෙන් රත්න ප්‍රාසාදයක් කෙරෙව්වා.

8. අභයගිරි විහාරයේ ප්‍රාකාරයත්, මහපිරිවෙනත්, මණිසෝම විහාරයේ මහා පිරිවෙනත් කෙරෙව්වා.

9. ඒ මණිසෝම විහාරයේ ම චේතියඝරයකුත් කෙරෙව්වා. ඒ වගේම අම්බස්ථල විහාරයේත් චේතිය ඝරයක් කෙරෙව්වා. නාගදීපයේ විහාරගෙය අළුත්වැඩියා කෙරෙව්වා.

10. ඒ රජ්ජුරුවෝ මහාවිහාර සීමාව මැඩගෙන එතැන කුක්කුටගිරි විහාරයෙහි පිරිවෙන් පෙළ සකස් කොට කෙරෙව්වා.

11. රජ්ජුරුවෝ මහාවිහාරයේ දර්ශනීය වූ මනරම් හතරැස් ප්‍රාසාද දොළොසක් කෙරෙව්වා.

12. දකුණු වෙහෙරෙහි ස්ථූපයට කඤ්චුකයක් කෙරෙව්වා. මහමෙව්නා උයනේ මහාවිහාර සීමාව බඳවා එම සීමාව ඇතුළට දක්ඛිණ විහාරයේ දානශාලාවත් කෙරෙව්වා.

13. රජ්ජුරුවෝ මහාවිහාරයේ ප්‍රාකාරයෙන් පැත්තක් ඉවත් කරවා දක්ඛිණ විහාරයට යන්ට මාර්ගයක් කෙරෙව්වා.

14. භූතාරාම විහාරයත්, රාමක විහාරය අසල රාම ගෝණක විහාරයත්, නන්දිතිස්ස ආරාමයත් කෙරෙව්වා.

15. අනුරාධපුරයට නැගෙනහිරින් ගංගා රාජ්‍යයෙහි අනුලතිස්ස විහාරයත්, නියේලතිස්ස පබ්බතාරාම විහාරයත් පීළපිට්ඨි විහාරයත් කෙරෙව්වා.

16. ඒ වගේම රජ්ජුරුවෝ රාජමහා විහාරයත් කෙරෙව්වා. ඒ රජ්ජුරුවෝ ම විහාර තුනක උපෝසථඝරයන් කෙරෙව්වා.

17. කැලණි විහාරයේත්, මණ්ඩලගිරි විහාරයේත්, දුබ්බලවාපිතිස්ස විහාරයේත් යන මේ විහාර තුනේ තමයි උපෝසථාගාරයන් කෙරෙව්වේ.

18. කනිට්ඨතිස්ස රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් ඒ රජ්ජුරුවන්ගේ පුත්‍ර වූ ඛුජ්ජනාග නමින් ප්‍රසිද්ධව සිටි රජ්ජුරුවෝ දෙවර්ෂයක් පමණක් රාජ්‍යය කළා.

19. ඛුජ්ජනාග රජ්ජුරුවන්ගේ මල්ලී තමන්ගේ සොයුරු රජ්ජුරුවන්ව මරවා කුඞ්ඩනාග නමින් එක් අවුරුද්දක් ලංකා රාජ්‍යය කළා.

20. ඒ රජ්ජුරුවෝ එක් නැළියක් පමණක් ආහාරයට ලැබුණු සාගතයේදී මහාපාලි නම් දානශාලාවේත් දානය වැරැද්දුවේ නෑ. පන්සියයක් භික්ෂූන් වහන්සේලාට නිතර දන් දුන්නා.

21. ඒ කාලේ කුඤ්චනාග රජ්ජුරුවන්ගේ දේවියගේ සහෝදරයෙක් වන සිරිනාග සෙන්පති රජ්ජුරුවන්ට විරුද්ධව කැරලි ගසන්නෙක් වුනා.

22. ඔහු බලසේනා රැස් කරගෙන නගරයට ඇවිදින් රජ්ජුරුවන්ගේ සේනාව සමඟ යුද්ධ කළා. ඒ යුද්ධයේදී කුඤ්චනාග රජ්ජුරුවන්,

23. පළවා හැරියා. තමන්ට ජය ලැබුනා. උතුම් අනුරාධපුරයේ දහනව වර්ෂයක් ලංකා රාජ්‍යය පාලනය කළා.

24. සිරිනාග රජ්ජුරුවෝ මහා සෑයට ඡත්‍රයක් කෙරෙව්වා. එය දර්ශනීය ලෙස, මනරම් ලෙස රත්තරනින් කැටයම් කෙරෙව්වා.

25. ලෝවාමහාප්‍රාසාදය මහල් පහකට කෙටි කරලා කෙරෙව්වා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින මළුවට ගොඩවෙන සතර දොරටුවේ පරණ පඩිපෙල් ඉවත් කරවා අලුතින් කෙරෙව්වා.

26. ඡත්‍ර ප්‍රාසාදය පිළිබඳ පූජෝත්සවයේදී මහා පූජාවක් කළා. දයාවෙන් යුක්ත රජ්ජුරුවෝ ලංකාවාසීන්ගේ අයකළ කුලම්බණ නම් බද්දෙන් ඔවුන්ව නිදහස් කළා.

27. සිරිනාග රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජ්ජුරුවන්ගේ පුත්‍රයා වන තිස්ස කුමාරයා රජ බවට පත්වෙලා අවුරුදු විසි දෙකක් රජකම් කළා. ඒ රජ්ජුරුවෝ නඩුහබ ආදිය ව්‍යවහාරයට අනුව ධර්මානුකූලව තීන්දු දීමට දක්ෂයි.

28. ඒ රජ්ජුරුවෝ තමන්ගේ ඒ ධර්ම ව්‍යවහාරය හිංසා පීඩාවලින් තොරව පැවැත්තුවා. ඒ කාරණය නිසා මේ රජ්ජුරුවන්ට ‘වෝහාරිකතිස්ස’ රජ්ජුරුවෝ යන නාමය ඇතිවුනා.

29. වෝහාරිකතිස්ස රජ්ජුරුවෝ කප්පුක ගම්වැසි දේව තෙරුන්ගෙන් බණ අහලා පංචමහා ආවාසවල ගිලනුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ගිලන්වැටුප් පිහිටෙව්වා.

30. අනුරාරාමවාසී මහාතිස්ස තෙරුන්ට පැහැදිලා මහතොට වෙරළ ආසන්නයේ මුචේල නැව්තොටේ ලෝහයෙන් කළ නැවක් තබලා එහි දන්වැටක් පිහිටෙව්වා.

31. තිස්සරාජ මණ්ඩපයත්, මහාවිහාර දෙකේත්, මහා බෝධිඝරයේත් නැගෙනහිර ලෝහ රූප දෙකක් කෙරෙව්වා.

32. සත්තපණ්ණික නම් සැප වාසය ඇති ප්‍රාසාදය කරවා මාසයක් පාසා ඒ මහා විහාරයට සිවුරු රෙදි දහස බැගින් පූජා කළා.

33. අභයගිරි විහාරයේත්, දකුණුචූලාවාස විහාරයේත්, මිරිසවැටි විහාරයේත්, කුලාලතිස්ස විහාරයේත්,

34. මහියංගණ විහාරයේත්, මාගම මහානාග විහාරයේත්, නාගදීපයේ තිස්ස විහාරයේත්, ඒ වගේම කැලණි විහාරයේත්,

35. යන තැන්වල පිහිටි ස්ථූප අටෙහි ඡත්‍ර පිහිටුවීම කෙරෙව්වා. ඒ වගේම මූලනාගසේනාපති විහාරයේත්, දක්ඛිණ විහාරයේත්,

36. මිරිසවැටිය විහාරයේත්, පුත්තභාග විහාරයේත්, ඉසුරුමුනි විහාරයේත්, නාගදීපයේ තිස්ස විහාරයේත් යන,

37. මේ විහාර සයේ ප්‍රාකාර කෙරෙව්වා. අනුරාරාම විහාරයේ උපෝසථාගාරය කෙරෙව්වා.

38. ඒ වෝහාරිකතිස්ස රජ්ජුරුවෝ සද්ධර්ම ගෞරවයෙන් මුළු ලංකාවේම අරියවංස දේශනාව කියවන තැන්වල දන් වැට පිහිටෙව්වා.

39. බුද්ධ ශාසනයට ප්‍රිය කළ ඒ වෝහාරිකතිස්ස රජ්ජුරුවෝ කහවණු තුන්ලක්ෂයක් ගෙවලා ණය බරින් සිටිය භික්ෂූන්ව ඒ ණයෙන් නිදහස් කෙරෙව්වා.

40. රජ්ජුරුවෝ වෙසක් උත්සවය කරවා ලංකාවාසී සියලු භික්ෂූන් වහන්සේට තුන්සිවුරු පූජා කෙරෙව්වා.

41. කපිල නම් ඇමතියා ලවා වෛතුල්‍ය වාදය නමැති අධර්මය මර්දනය කරලා එය පිළිගත් පාපී භික්ෂූන්ට දඬුවම් පමුණුවා බුදු සසුන බැබලෙව්වා.

42. ‘අභයනාග’ නමින් ප්‍රසිද්ධව සිටි ඒ වෝහාරික රජ්ජුරුවන්ගේ මල්ලී රජ්ජුරුවන්ගේ බිසොව සමඟ අයථා සම්බන්ධයක් පවත්වන බව දැනගන්ට ලැබුනා. සහෝදර රජ්ජුරුවන්ගෙන් ලැබෙන්ට පුළුවන් රාජදණ්ඩනයට භයෙන්,

43. තමන්ගේ සේවකයනුත් සමඟ භල්ලතිත්ථ නම් තොටට පලාගියා. අභයනාග කුමාරයා රහසේ සුභදේව නැමැති මාමණ්ඩියගේ අත්පා කප්පවලා එය කෝපයට පත් රජ්ජුරුවෝ කළ දෙයක් හැටියට ප්‍රසිද්ධ කෙරෙව්වා.

44. රජ්ජුරුවන් සමඟ රටවාසීන් බිඳුවන්ට තමන් ම හොරෙන් අත්පා කපවාපු මාමාව මිනිසුන්ට ප්‍රදර්ශනය කරවා, ඊට පස්සේ තමන් සමඟ පස්සෙන් එන සුනඛයෙකුට විද්දා. ඌට ළඟට කතා කළාම නගුට සොළවමින් ආවා. ‘මේ සුනඛයා හා සමානව මා කෙරෙහි ඇළුම් ඇති අය මා සමඟ එන්ට ඕනෑ!’ කියලා තමා සමඟ එන්ට ඉදිරිපත් වූ අහිංසක පිරිසත් අරගෙන,

45. අත් පා කැප්පවූ සුභදේව මාමාව එතන ම තියලා තමන් නැව් නැගලා පිටරට (දකුණු ඉන්දියාවට) ගියා. සුභදේව මාමා රජ්ජුරුවන් ළඟට ගිහින්,

46. රජ්ජුරුවන්ට හිතවත් කෙනෙකුගේ වේශයෙන් වාසය කරලා රටවාසීන්ව රජ්ජුරුවන් කෙරෙහි බින්දෙව්වා. පිටරට ගිය අභයනාගයා එහි ඇත්ත නැත්ත දැනගැනීම පිණිස මෙහෙට දූතයන්ව එව්වා.

47. සුභදේව මාමා රටින් එවපු දූතයාව දැකලා පුවක්ගසේ වටේ කුන්තයේ මිටින් හාරලා මුල් දුර්වල කරලා,

48. එය තමන්ගේ අත්දෙකෙන්ම බිමට පෙරලා දූතයාට තර්ජනය කරලා එලවා ගත්තා. එතකොට දූතයා ගිහින් අභය කුමාරයාට ඒ කාරණාව සැළකළා.

49. මෙය දැනගත් අභයනාග බොහෝ දෙමළ හේවායන් කුලියට රැගෙන අනුරාධපුර නගරයට ඇවිත් තම සොයුරු තිස්ස රජ්ජුරුවන් සමඟ යුද්ධ කළා.

50. තමන් පරදින බව දැනගත් රජ්ජුරුවෝ දේවියත් අසුපිටේ තබාගෙන කඳුරටට පළාගියා. මල්ලී වන අභයනාග රජ්ජුරුවන් පසුපස හඹා ගියා.

51. කඳුරටේ දී රජ්ජුරුවන්ව මරා දේවියත් රැගෙන ආවා. අභයනාග රජ්ජුරුවෝ අනුරාධපුර නගරයේ සේසත් නංවා අට අවුරුද්දක් රජකම් කළා.

52. ඒ රජ්ජුරුවෝ මහාබෝධිය වටා ගල් වේදිකාව කෙරෙව්වා. ලෝවාමහාප්‍රාසාදය මිදුලේ මණ්ඩපයක් කෙරෙව්වා.

53. කහවණු ලක්ෂ දෙකකින් නොයෙක් වස්ත්‍ර ගෙන්වා ලංකාවේ භික්ෂු සංඝයාට වස්ත්‍ර දානයක් දුන්නා.

54. අභයනාග රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ සහෝදරව සිටි වෝහාරිකතිස්ස රජ්ජුරුවන්ගේ පුත්‍රයා සිරිනාග නමින් දෙවර්ෂයක් ලංකා රාජ්‍යය කළා.

55. ඒ රජ්ජුරුවෝ මහාබෝධිය වටා ඇති ප්‍රාකාරය අලුත්වැඩියා කළා. ඒ රජ්ජුරුවෝ ම මහාබෝධිඝරයේ වැලිතලාවේ පිහිටි,

56. මිදෙල්ල ගසට එපිටින් දකුණු පැත්තට වෙන්ට මනරම් හංස පේළියක් කෙරෙව්වා. ඒ රජ්ජුරුවෝ විශාල මණ්ඩපයකුත් කෙරෙව්වා.

57. සිරිනාග රජ්ජුරුවන්ගේ පුත්‍රයා වූ විජය කුමාරයා පිය රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ එක් වර්ෂයක් රජකම් කළා.

58. ලම්භකර්ණ වංශිකයෝ තුන් දෙනෙක් මහියංගණයේ සිට අනුරාධපුරයට ආවා. සංඝතිස්ස, සංඝබෝධි සහ තුන්වැනියා ගෝඨාභය නමින් ඔවුන් හැඳින්වුනා.

59. තිසා වැවේ ඉවුර මතින් ඔවුන් රාජ උපස්ථානයට යද්දී එතැන සිටිය එක් දක්ෂ වූ අන්ධ පුද්ගලයෙක් ඒ කුමාරවරුන්ගේ පා තබන හඬ අසාගෙන ඉඳලා මෙය පැවසුවා.

60. “පොළොවට ස්වාමී වූ තුන්දෙනෙකුව මේ පොළොව උසුලාගෙන ඉන්නවා නොවැ” කියලා. එය ඇසුණු පිටිපස්සෙන් යන ගෝඨාභය කුමාරයා ඔහු ළඟට ගිහින් නැවතත් ඒ කාරණය ඇසුවා.

61. “කාගේ වංශය ද පවතින්නේ?” කියලා ඊළඟට ඇහැව්වා. “අන්තිමට යන කුමාරයාගේ වංශය පවතිනවා” ය කියලා ඔහු කිව්වා. එයත් අසාගෙන ගෝඨාභය කුමාරයා අනිත් දෙන්නාත් සමඟ ගියා.

62. ඔවුන් නගරයට ගිහින් රජ්ජුරුවන්ට ඉතාමත් ලැදිව රාජකාරි කරමින් රජ්ජුරුවන් ළඟින් ම වාසය කළා.

63. ඔවුන් එකතු වෙලා විජය රජ්ජුරුවන්ව රජගෙදරදී ම මැරුවා. සංඝබෝධි, ගෝඨාභය කුමාරවරු එකතුවෙලා සෙන්පති සංඝතිස්සව රාජ්‍යයෙහි අභිෂේක කළා.

64. ඔය විදිහට අභිෂේක ලැබූ සංඝතිස්ස රජ්ජුරුවෝ උතුම් අනුරාධපුරයේ සතර අවුරුද්දක් රජකම් කළා.

65. සංඝතිස්ස රජ්ජුරුවෝ මහාසෑයේ ඡත්‍රයත්, එහි රන් කැටයම් කරවීමත් කෙරෙව්වා. කහවණු ලක්ෂයක් වටිනා මහා මැණික් සතරක්,

66. දේවතා කොටුවේ සතර පැත්තේ පිහිටි සූරිය මණ්ඩලේ මැද්දෙන් සවිකෙරෙව්වා. මහා සෑය මුදුනේ ඒ විදිහට ම වටිනා දියමන්ති දරණුවක් සවිකළා.

67. සංඝතිස්ස රජ්ජුරුවෝ ඒ මහා ඡත්‍ර පූජා උත්සවයේදී හතළිස් දහසක් සංඝයාට සිවුරු හය බැගින් පූජා කළා.

68. දාමගල්ලකවාසී මහාදේව තෙරුන් වහන්සේ ඛන්ධකයේ ඇතුළත් අන්ධකවින්ද සූත්‍රයෙහි ඇති කැඳදානයෙහි අනුසස් ගැන වදාළ දෙසුමට,

69. සවන් දීලා පැහැදුණු රජ්ජුරුවෝ සංඝයා උදෙසාත් කැඳ දානය පූජා කළා. නගරයේ දොරටු සතරේත් හොඳින් සකස් කරවා යහපත් අයුරින් කැඳ දන් දුන්නා.

70. ඒ රජ්ජුරුවෝ මහතොට පටුනෙන් එහා මුහුදෙන් වටවී ගිය පාචීන දිවයිනට අන්තඃපුර ස්ත්‍රීන් සමඟත් ඇමතියන් සමගත් ඉදුණු දඹගෙඩි කන්ට වරින්වර යනවා.

71. රජ්ජුරුවන්ගේ ගමන් නිසා පීඩාවට පත් පාචීනදීපවාසී මිනිස්සු රජ්ජුරුවන්ගේ අනුභවයට වෙන්කළ දඹවලට වස දැම්මා.

72. දඹගෙඩි වැළඳූ රජ්ජුරුවෝ එතැන ම මැරී වැටුනා. එතකොට ගෝඨාභය කුමාරයා සංඝබෝධි සෙන්පතිතුමා ලංකා රාජ්‍යයෙහි අභිෂේක කෙරෙව්වා.

73. පංචශීලයෙන් යුක්තව ඒ ප්‍රසිද්ධ වූ ශ්‍රී සංඝබෝධි රජ්ජුරුවෝ අනුරාධපුරයේ දෙවර්ෂයක් රාජ්‍යය කළා.

74. මහාවිහාරයේ මනරම් වූ දන්සීට්ටු බෙදන ගෙයක් කෙරෙව්වා. ඒ කාලයේ ලංකාවාසී ජනයා දැඩි නියඟයෙන් පීඩාවට පත් වී සිටින බව රජ්ජුරුවන්ට දැනගන්ට ලැබුනා.

75. කරුණාවෙන් කම්පා වූ සිතින් යුක්තව මහාසෑයේ මළුවට පැමිණි රජ්ජුරුවෝ මෙහෙම අධිෂ්ඨාන කරගෙන බිම වැතිරුනා.

76. ‘වැස්ස වැහැලා ඒ වැසිදියෙන් මං ඉල්පී යනකල් මෙතැනින් නැගිටින්නේ නෑ. එහෙම නැත්නම් මං මෙතන ම මැරිලා යනවා’ කියලා.

77. රජ්ජුරුවෝ මෙහෙම වැතිරුනාට පස්සේ එකෙණෙහිම මුළු ලංකාව ම පිනවමින් මහා වැසි ඇදහැලුනා.

78. ඒ වුණත් ජලයෙන් ඉල්පෙන්නේ නැති නිසා රජ්ජුරුවෝ නැගිට්ටේ නෑ. එතකොට ඇමතිවරු මළුවෙන් වතුර බසින මාර්ගයන් ආවරණය කළා.

79. එතකොට ජලයෙන් ඉල්පී ගිය ධාර්මික සංඝබෝධි රජ්ජුරුවෝ නැගිට්ටා. සත්වයන් වෙත පැතිරුණු කරුණාවෙන් යුක්ත වූ රජ්ජුරුවෝ මෙසේ ලක්දිව පුරා තිබුණු නියංසාය දුරුකළා.

80. රටේ තැන් තැන්වල සොරු ඇතිවෙලා ඉන්නවා කියා දැනගත් රජ්ජුරුවෝ ඒ සොරුන්ට දඬුවම් නියම කරලා රහසේ ම ඔවුන් නිදහස් කරවා පලා යන්ට සැලැස්සුවා.

81. රජ්ජුරුවෝ රහසේ ම අමු සොහොනේ දැමූ මළසිරුරු ගෙන්නවලා ගින්නෙන් පුච්චවලා ඒවා දඬුවම් ලැබූ සොරුන් බවට පෙන්නලා සොර උවදුර නැතිකළා.

82. ‘රතු ඇස් ඇති යක්ෂයා’ නමින් ප්‍රසිද්ධ එක්තරා යක්ෂයෙක් මේ අනුරාධපුරයට ආවා. ඔහු ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙව්වා.

83. ඒ ඇස් රතු වී ගිය මිනිස්සු එකිනෙකාගේ ඇස් දෙස බලා ‘ඔබේ ඇසුත් රතුවෙලා නොවැ. මගේ විතරක් යැ. ඔබේ ඇසුත් රතුවෙලා නොවැ’ කියා කියපු ගමන් ඔවුන් භයට පත්වී මැරිලා යනවා. එතකොට ඒ යක්ෂයා සැකක් නැතිව ඒ මළමිනී කාලා දානවා.

84. රජ්ජුරුවෝ මිනිසුන්ගේ ඒ උපද්‍රවය අහලා තැති ගැනීමට පත් සිතින් යුක්තව එක් උපවාස ගෙයක් තුළ තනිවෙලා අෂ්ටාංග උපෝසථ සිල් සමාදන් වුනා.

85. මං ඒ යක්ෂයාව නොදැක මෙතැනින් නැගිටින්නේ නෑ කියලා වැතිරුනා. රජ්ජුරුවන්ගේ ධර්ම තේජසින් ඒ යක්ෂයා එතනට ආවා.

86. රජ්ජුරුවෝ ‘තෝ කවරෙක්ද?’ කියා ඇසුවා. ‘දේවයනි, මම රතු ඇස් ඇති යක්ෂයා’ කියලා පිළිතුරු දුන්නා. ‘තෝ කුමක් නිසා ද මාගේ රටවැසියන්ව මේ විදිහට කන්නේ? මීට පස්සේ මගේ රටවැසියන්ව කන්ට එපා!’ කියලා කිව්වා.

87. ‘එහෙනම් එක ජනපදයකින් එක නරබිල්ල ගානේ මට දෙන්ට’ කියලා කිව්වා. එතකොට රජ්ජුරුවෝ ‘එහෙම කරන්ට පුළුවන්කමක් නෑ’ කියලා කිව්වා. ඔය විදිහට ක්‍රමයෙන් අඩු කරලා එක නරබිල්ලක් අරගෙන යන්ට කැමති වුනා.

88. එතකොට රජ්ජුරුවෝ ‘වෙන නරයෙක්ව දෙන්ට පුළුවන්කමක් නෑ. එහෙම නම් නරබිල්ලකට මාව කන්ට’ කියලා කිව්වා. “අනේ දේවයනි, මට ඔබවහන්සේව කන්ට බැහැ. එහෙම නම් ගමක් පාසා මං වෙනුවෙන් දොළ පිදේනි පූජාවක් කරවා දෙන්ට” කියලා ඉල්ලා සිටියා.

89. “ඒක හොඳයි” කියලා සංඝබෝධි රජ්ජුරුවෝ කැමති වෙලා, ලංකාව පුරාම ගම්දොරකඩ ඔහු වෙනුවෙන් තැනක් වෙන් කරවා එතැන දොළපිදේනියක් දෙන්ට සැලැස්සුවා.

90. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇති, මහාසත්ව වූ රජ්ජුරුවෝ ලංකාව පුරා පැතිරී ගිය මහා බිහිසුණු රෝගය ඔය උපායෙන් නැතිකර දැම්මා.

91. රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරික අමාත්‍ය තනතුර හෙබවූ ගෝඨාභය කුමාරයා රජ්ජුරුවන්ට විරුද්ධව කැරලිකාරයෙක් වෙලා අනුරාධපුරයට උතුරු පැත්තෙන් නගරයට ආවා.

92. අනුන්ට හිංසා කිරීමට රුචි නොවූ අපගේ සිරිසඟබෝ රජ්ජුරුවෝ පැන් පෙරන පෙරහන්කඩයත් අරගෙන දකුණු දොරටුවෙන් පිටත් වෙලා හුදෙකලාවේ ම පලාගියා.

93. ඒ මාර්ගයේ ම බත් මුලකුත් රැගෙන පුරුෂයෙක් යමින් සිටියා. රජ්ජුරුවන්ටත් බත් අනුභව කරන්ට කියලා නැවත නැවතත් ආයාචනා කළා.

94. දයාව බලවත්ව තියෙන රජ්ජුරුවෝ පැන් පෙරාගෙන ඔහු දුන් බත් අනුභව කළා. ඔහුට අනුග්‍රහ කරන්ට මේ වචනයත් පැවසුවා.

95. “පින්වත, මමයි සංඝබෝධි රජ්ජුරුවෝ. ඔබ මගේ හිස අරගෙන ගිහින් ගෝඨාභයට පෙන්වන්ට. එතකොට ඔබට ගොඩාක් වස්තුව ලැබේවි.”

96. එහෙම කරන්ට ඒ පුරුෂයා කැමති වුනේ නෑ. ඔහුට යහපත සලසන්ට රජ්ජුරුවෝ තමන්ගේ හිස බෙල්ලෙන් වෙන්කිරීමට දියෙන් ඉරක් ඇඳලා ‘මාගේ හිස වෙන්වේවා!’ කියලා අධිෂ්ඨාන කළා. වාඩිවී සිටියදී ම රජ්ජුරුවෝ ඔහුට හිස දීලා මරණයට පත්වුනා. ඔහු රජ්ජුරුවන්ගේ හිස ගෙනිහින්,

97. අනුරාධපුරයේ සේසත් නංවා සිටි ගෝඨාභය රජ්ජුරුවන්ට දැක්කුවා. තැති ගත් සිතින් යුතු රජ්ජුරුවෝ ඔහුට ධනය දීලා සිරිසඟබෝ රජ්ජුරුවන්ගේ දේහයට රාජ්‍ය ගෞරව දක්වා ආදාහන කටයුතු සිදුකළා. ඉසුරුමුනි විහාරයෙන් දකුණට වෙන්ට ඔහුගේ නමින් විහාරයකුත් කෙරෙව්වා.

98. ඔය විදිහට ගෝඨාභය රජ්ජුරුවෝ මේඝවණ්ණාභය නමින් ප්‍රසිද්ධ වෙලා දහතුන් අවුරුද්දක් ලංකා රාජ්‍යය කළා.

99. මහා වාසළක් කරවා ඒ වාසල් දොරටුවේ මණ්ඩපයක් තනවා අලංකාර කෙරෙව්වා. එහි භික්ෂු සංඝයා වහන්සේලාගෙන්,

100. එක්දහස් අට නමක් වඩා හිඳෙව්වා. දිනපතා කැඳ, කැවිලි, ප්‍රණීත ආහාරපාන ආදී විවිධ දෙයින් මනා අයුරින් පූජා පවත්වලා,

101. තුන්සිවුරු සහිතව මනාකොට පිළිගන්වලා මහා දන් පැවැත්වුවා. භික්ෂූන් වහන්සේලාට ලැගුම් තනවලා විසි එක් දිනක් නිරතුරුව වාසය කෙරෙව්වා.

102. මහාවිහාරයෙහි උතුම් සිලා මණ්ඩපයක් කෙරෙව්වා. ලෝවාමහාප්‍රාසාදයේ ස්ථම්භයත් මාරු කරවලා තැබෙව්වා.

103. මහාබෝධියේ ශෛලමය වේදිකාවක් කෙරෙව්වා. උතුරු දොරටු තොරණ කෙරෙව්වා. වේදිකාව ඇතුලේ වැලිමළුවේ සතර කොණේ ගල්ටැම් සිටුවලා ඒ මත ධර්ම චක්‍රයන් කෙරෙව්වා.

104. අනිත් තුන් දොරටුවේ ශෛලමය ප්‍රතිමා තුනක් කෙරෙව්වා. දකුණු පැත්තේ ශෛලමය ආසනයක් පිහිටෙව්වා.

105. මහා විහාරය පිටුපසින් පධාන ඝරයක් පිහිටෙව්වා. ලංකාවේ දිරාගිය සියලු වෙහෙර විහාර අළුත්වැඩියා කළා.

106. ථූපාරාමයේ චේතියඝරයත්, අම්බස්ථලයේ චේතියඝරයත්, මූල මණිසෝම විහාරයේ චේතියඝරයත් අලුත්වැඩියා කෙරෙව්වා.

107. ථූපාරාමයේත්, මූලමණිසෝමාරාමයේත්, මිරිසවැටියේත්, දක්ඛිණ විහාරයේත් උපෝසථාගාරයන් කෙරෙව්වා.

108. මේඝවර්ණාභය නමින් අලුත් විහාරයකුත් කෙරෙව්වා. ඒ විහාර පූජා මහෝත්සවයේදී ලංකාවාසී භික්ෂූන්ට දන් පූජා කරලා,

109. තිස් දහසක් භික්ෂූන් වහන්සේලාට සිවුරු සය බැගින් ලබාදුන්නා. ඒ වගේම මහා වෙසක් පූජාවකුත් කෙරෙව්වා.

110. අවුරුදු පතා සංඝයාට සිවුරු සය බැගින් පූජා කළා. පාපී මත ගත් භික්ෂූන්ට නිග්‍රහ කරලා බුද්ධ ශාසනය පිරිසිදු කිරීම පිණිස,

111. ශාසනයට මහත් අර්බුදයක් වූ අභයගිරිවාසී වෛතුල්‍ය මත පවසන භික්ෂූන් සැට නමක් අල්ලාගෙන

112. ඔවුන්ගේ ශරීරවල ලකුණු තබා නිග්‍රහ කරවා රටින් පිටුවහල් කළා. එසේ පිටුවහල් කළ තෙර නමකගේ ආශ්‍රයට පත් වූ සොලී භික්ෂුවක් සිටියා.

113. සංඝමිත්‍ර නැමැති ඒ භික්ෂුව යන්ත්‍ර, මන්ත්‍ර ආදී භූත විද්‍යාවේ ඉතාම දක්ෂ කෙනෙක්. තමන්ව රටින් පිටුවහල් කළේ මහාවිහාර භික්ෂූන්ගේ උසිගැන්වීමෙන් කියලා අර තෙරුන්ගෙන් ඇසීම නිසා මහා විහාර භික්ෂූන් කෙරෙහි වෛර බැඳගෙන මේ අනුරාධපුරයට සංඝමිත්‍ර සොලී භික්ෂුව ආවා.

114. ශීලාදී සංවරයෙන් තොර වූ සංඝමිත්‍ර භික්ෂුව ථූපාරාමයේ රැස්ව හුන් සංඝයා අතරට ඇවිත් සිටියා. එතන ඒ පිරිවෙන්වාසී සංඝපාල නමින් මහතෙරුන්නාන්සේ නමක් වැඩසිටියා.

115. උන්වහන්සේ ගෝඨාභය යන පැරණි නම ඇති මේඝවර්ණාභය රජ්ජුරුවන්ගේ මාමා කෙනෙක් වෙනවා. තමන්ගේ ඥාතිකම නිසා රජ්ජුරුවන්ට ‘දරුව, ගෝඨාභය’ කියලා මහතෙරුන් වහන්සේ අමතනවා. එතකොට එතනට පැනලා සංඝමිත්‍ර භික්ෂුව ‘හා.. හා.. ස්වාමීනී, අපගේ රජ්ජුරුවන් වහන්සේට ඔය ආකාරයට පැරණි නමින් අමතන්ට එපා’ කියලා වැළැක්කුවා.

116. මේ ක්‍රමයෙන් සංඝමිත්‍ර භික්ෂුව රජ්ජුරුවන් සමඟ ඉතා කුළුපග කෙනෙක් බවට පත්වුනා. ඔහු කෙරෙහි පැහැදුණු රජ්ජුරුවෝ තමන්ගේ වැඩිමහළු පුත්‍රයා වන ජෙට්ඨතිස්ස කුමාරයාටත්, බාලපුත්‍රයා වන මහසෙන් කුමාරයාටත්,

117. ශබ්ද ශාස්ත්‍ර උගන්වන්ට සංඝමිත්‍ර භික්ෂුවට භාර දුන්නා. එතකොට ඒ භික්ෂුව දෙවෙනි පුත් මහසෙන් කුමාරයාව තමාට අවනත කරගත්තා. නමුත් ඒ සංඝමිත්‍ර භික්ෂුව ජෙට්ඨතිස්ස කුමාරයාට කළ නොමනා ක්‍රියාවක් නිසා ජෙට්ඨතිස්ස කුමාරයා සංඝමිත්‍ර භික්ෂුව ගැන වෛර බැඳගත්තා.

118. සිය පියාණන් වූ මේඝවර්ණාභය රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ජෙට්ඨතිස්ස කුමාරයා රජ බවට පත්වුනා. පිය රජ්ජුරුවන්ගේ ආදාහන පෙරහැර ඉදිරියෙන් ජෙට්ඨතිස්ස කුමාරයා යනවාට විරුද්ධ වූ ඇමතිවරු සිටියා.

119. දුෂ්ට ඇමතිවරුන්ට දඬුවම් දෙන්ට ඕනෑ කියලා රජ්ජුරුවෝ තමන්ම නික්මිලා බාල සොයුරු වන මහසෙන් කුමාරයා පෙරටු කරගෙන පියාගේ දේහය රැගත් පෙරහැර පිටත් කරවා,

120. ඊට පස්සේ ඇමතිවරුන් පිටත් කරවා තමන් පිටිපස්සෙන් ගිහින් පියාගේ දේහයත්, බාල සොයුරු මහසෙන් කුමාරයාත් බටහිර දොරටුවෙන් පිවිසිලා
නැගෙනහිර දොරටුවෙන් නික්මුණු ගමන්ම,

121. නැගෙනහිරත්, බටහිරත් දොරටු දෙකම වස්සවලා දුෂ්ට ඇමතිවරුන්ව මරවලා පිය රජ්ජුරුවන්ගේ චිතකය වටේට උල් ගස්සවා උලමත හින්දෙව්වා.

122. ඒ දරුණු ක්‍රියාව හේතුවෙන් ජෙට්ඨතිස්ස රජුගේ නමට ‘කර්කශ’ යන පදය එකතු වුනා. ඒ රජ්ජුරුවන් ගැන සංඝමිත්‍ර භික්ෂුව හොඳටම භය වුනා.

123. ජෙට්ඨතිස්ස රජ්ජුරුවන්ගේ අභිෂේක කටයුතු කෙරෙන කාලයේ “රජ්ජුරුවෝ මං ගැන තරහෙන් ඉන්නවා. ඒ නිසා මට වාසය කරන්ට අපහසුයි. කුමාරයාණෙනි, ඔබ රජවූ කාලයේදී අභිෂේක ද්‍රව්‍යත් අරගෙන මං එනවා” කියා මහසෙන් කුමාරයාත් සමඟ හොර රහසේම කතා කරගෙන මහසෙන් කුමාරයාගේ අභිෂේකය බලාපොරොත්තුවෙන් මෙහෙන් දකුණු ඉන්දියාවට ගියා.

124. ජෙට්ඨතිස්ස රජ්ජුරුවෝ තමන්ගේ පියරජ්ජුරුවන්ට සම්පූර්ණ කරගන්ට බැරි වූ උතුම් ලෝවාමහාප්‍රාසාදය කෝටියක් ධනය වියදම් කරලා සත්මහල් කොට කෙරෙව්වා.

125. කහවණු හැටලක්ෂයක් වටිනා මාණික්‍යයක් ලෝවාමහාප්‍රාසාදයට පූජා කළ ජෙට්ඨතිස්ස රජ්ජුරුවෝ ‘මැණික් ප්‍රාසාදය’ නමින් ප්‍රාසාදයක් කෙරෙව්වා.

126. මහානීය වූ මාණික්‍ය දෙකක් මහාසෑයට පූජා කළා. මහාබෝධිඝරයේ තොරණ් තුනක් කෙරෙව්වා.

127. ජෙට්ඨතිස්ස රජ්ජුරුවෝ පාචීනතිස්ස පර්වතයේ විහාරයක් කෙරෙව්වා. පංච ආවාසවල වැඩඉන්න සංඝයා වහන්සේට එය පූජා කළා.

128. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ඉස්සර පිහිටුවාපු ථූපාරාමයේ ඉතාම ශෝභාසම්පන්න වූ මහා ශෛලමය පිළිම වහන්සේ,

129. ජෙට්ඨතිස්ස රජ්ජුරුවෝ ථූපාරාමයෙන් බැහැර කරවාගෙන පාචීනතිස්ස පබ්බත ආරාමයේ පිහිටෙව්වා.

130. රජ්ජුරුවෝ කළුමැටි වැව සෑගිරියට පූජා කළා. විහාර ප්‍රාසාදය පූජා කරලා මහා වෙසක් උත්සවයකුත්,

131. කරලා, තිස් දහසක් සංඝයාට සිවුරු සය බැගින් පූජා කළා. ඒ ජෙට්ඨතිස්ස රජ්ජුරුවෝ අලඹගම වැවත් කෙරෙව්වා.

132. මේ විදිහට ජෙට්ඨතිස්ස රජ්ජුරුවෝ ප්‍රසාදය ඇතිවෙන විවිධ පින් කරවමින් දස වර්ෂයක් රාජ්‍ය පාලනය කළා.

133. මේ රජකම කියන්නේ නොයෙක් ආකාරයෙන් බොහෝ පින් කරගන්ට උපකාරී වන තනතුරක්. ඒ වගේම බොහෝ පව් කරගන්ටත් හේතුවන තනතුරක්. රජකම කියන්නේ වස මිශ්‍ර කරන ලද මිහිරි භෝජනයක් වැනි දෙයක්. එනිසා සත්පුරුෂ තැනැත්තා කිසි කලෙකත් රාජ්‍යත්වය ඇසුරු නොකළ යුතුයි.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු දහතුන් දෙනෙකුගේ පාලනය නම් වූ තිස්හයවෙනි පරිච්ඡේදය යි.