සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

එකත්පස්ව සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනි, මං හුදෙකලාවෙ තනියම ඉන්න කොට, මට මෙහෙම කල්පනාවක් ඇතිවුනා. ‘තමන්ව රැකගන්නෙ කවුද? තමන්ව රැකගන්නෙ නැත්තෙ කවුද?’ කියලා. එතකොට ස්වාමීනි, මට මෙහෙම හිතුනා. ‘සමහර උදවිය ඉන්නවා, එයාලා කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. සිතින් වැරදි කරනවා. ඇත්තෙන්ම ඔවුන් තමන්ව රැකගෙන නෑ. ඇත් සේනාවක් විසින් ඔවුන්ව රැකගෙන හිටියත්, අශ්ව සේනාවක් විසින් ඔවුන්ට ආරක්‍ෂාව සැපයුවත්, රථ සේනාවක් විසින් ඔවුන්ට ආරක්‍ෂාව දුන්නත්, පා බල සේනාවක් විසින් ඔවුන්ට ආරක්‍ෂාවක් දුන්නත්, ඇත්තෙන්ම ඔවුන් ආරක්‍ෂා වෙලා නෑ. ඇයි එහෙම වෙන්නෙ? ඒ ආරක්‍ෂාව බාහිර එකක්. ඒක අභ්‍යන්තර ආරක්‍ෂාවක් නොවෙයි. ඒ නිසා ඔවුන්ට ආරක්‍ෂාවක් නෑ.’

සමහර උදවිය ඉන්නවා, කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. සිතින් යහපත් දේ කරනවා. ඔවුන් තමන්ව රැකගෙනයි ඉන්නෙ. ඇත් සේනාවක් විසින් ආරක්‍ෂාව සැපයුවෙ නැතුවට, අශ්ව සේනාවක් විසින් ආරක්‍ෂාව සැපයුවෙ නැතුවට, රථ සේනාවක් විසින් ආරක්‍ෂාව සැපයුවෙ නැතුවට, පා බල සේනාවක් විසින් ආරක්‍ෂාව සැපයුවෙ නැතුවට, ඇත්තෙන්ම තමන් ආරක්‍ෂා වෙලයි ඉන්නෙ. ඇයි ඒක එහෙම වෙන්නෙ? ඒක තමයි අභ්‍යන්තරික ආරක්‍ෂාව. ඒක බාහිර ආරක්‍ෂාවක් නොවෙයි. ඒ නිසා ඔවුන් තමන්ව රැකගෙනයි ඉන්නෙ.”

“පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. සමහර උදවිය ඉන්නවා, එයාල කයින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. ඇත්තෙන්ම ඒ අය තමන්ව රැකගෙන නෑ. ඇත් සේනාවක් විසින් ඔවුන්ට ආරක්‍ෂාව සැපයුවත්, අශ්ව සේනාවක් විසින් ඔවුන්ට ආරක්‍ෂාව සැපයුවත්, රථ සේනාවක් විසින් ඔවුන්ට ආරක්‍ෂාව දුන්නත්, පා බල සේනාවක් විසින් ඔවුන්ට ආරක්‍ෂාවක් සැපයුවත්, ඇත්තෙන්ම ඔවුන් තමන්ව රැකගෙන නෑ. ඇයි ඒක එහෙම වෙන්නෙ? පින්වත් මහාරාජ, ඔය ආරක්‍ෂාව බාහිර එකක්. ඕක අභ්‍යන්තර ආරක්‍ෂාවක් නොවෙයි. ඒ නිසා ඔවුන් තමන්ව රැකගෙන නොවෙයි ඉන්නෙ.

ඒ වගේම පින්වත් මහාරාජ, සමහර උදවිය ඉන්නවා, කයින් යහපත් දේ කරනවා, වචනයෙන් යහපත් දේ කරනවා, සිතින් යහපත් දේ කරනවා. ඔවුන් තමන්ව රැකගෙනයි ඉන්නෙ. ඔවුන්ට ඇත් සේනාවකින් ආරක්‍ෂාව නොලැබුණත්, අශ්ව සේනාවක් විසින් ආරක්‍ෂාව නොලැබුණත්, රථ සේනාවක් විසින් ආරක්‍ෂාව නොලැබුණත්, පා බල සේනාවකින් ආරක්‍ෂාව නොලැබුණත් ඇත්තෙන්ම ඔවුන් තමන්ව රැකගෙනයි ඉන්නෙ. ඇයි ඒක එහෙම වෙන්නෙ? පින්වත් මහාරාජ, ඒක තමයි අභ්‍යන්තරික ආරක්‍ෂාව කියල කියන්නෙ. ඕක බාහිර ආරක්‍ෂාවක් නොවෙයි. ඒ නිසා ඔවුන් තමාව රැකගෙනයි ඉන්නෙ.

කයින් සංවර වෙන එක කොයිතරම් හොඳද. වචනයෙන් සංවර වෙන එකත් හොඳයි. මනසින් සංවර වෙන එකත් හොඳයි. සෑම තැනකදිම සංවර වන එක තමයි හොඳ. සෑම තැනදිම සංවර වෙලා පවට ලජ්ජා ඇතුව ඉන්න කෙනාට තමයි ‘ජීවිතය රැකගත්තු කෙනා’ කියල කියන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

(අත්තරක්ඛිත සූත්‍රය – සංයුත්ත නිකාය 01)

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ