වුරුදු අටක පමණ කාලයක් දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ අසපුවේ වැඩවාසය කරමින් සුවිශාල ශාසනික මෙහෙවරක් සිදුකොට මීට දින කිහිපයකට පෙර අපවත් වී වදාළ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම පිණිස පැවති ධර්ම දේශනාවත් මහා සංඝගත දක්ෂිණාවත් කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ අසපුවත් මාලබේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයත් කේන්ද්‍ර කරගනිමින් ඊයේ (24) සහ අද (25) දිනයේදී සිදු කෙරුනා.

තම ආදරණීය ශිෂ්‍ය රත්නය වෙනුවෙන් එම උතුම් ධර්ම දේශනය පවත්වන ලද්දේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනුයි. එම ධර්ම දේශනාව තුළදී උන්වහන්සේ මේ සසරේ ස්වභාවය ගැනත් කර්ම විපාක වල ස්වභාවය ගැනත් පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේ තුළ තිබුණු අසීමිත ගුරු ගෞරවය, ඉවසීම, කීකරුකම, නිහතමානීකම, අහිංසකකම ආදී උතුම් ගුණධර්ම ගැනත් දේශනා කරන්නට යෙදුනා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා බොහෝ සැදැහැවතුන් පිරිසක් කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවට රැස් වී සිටියා. එම ධර්ම දේශනාවෙන් අනතුරුව පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිතය සම්බන්ධව ශ්‍රද්ධා රූපවාහිනිය විසින් නිර්මාණය කරන ලද විශේෂ වීඩියෝ දර්ශනයක් ද විකාශනය කරන්නට යෙදුනා.

එමෙන්ම අද දිනයේ දහවල් 10.30 ට මාලබේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේදී සියක් නමකට අධික වූ මහා සංඝ රත්නය උදෙසා මහා සංඝගත දක්ෂිණාවක් පූජා කොට රැස් කළ සියලු මහත්ඵල මහානිසංශ පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන්නට යෙදුනා. මේ උතුම් දානමය පින්කම සඳහාද බොහෝ සැදැහැවතුන් පිරිසක් රැස් වී සිටියා. සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව පැමිණ සිටි සියලු ගිහි උපාසක උපාසිකාවන් හට ද කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පින් පිණිස දන්පැන් පිරිනමනු ලැබුවා.

ඊයේ දිනයේත් අද දිනයේත් පැවති මේ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහාත් මහා සංඝගත දක්ෂිණාව පිරිනැමීම සඳහාත් පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ පියාණන්, සහෝදර සහෝදරියන් ඇතුළු ඤාති හිතමිත්‍රාදීන් ද සහභාගී වුනා. එමෙන්ම අද සවස පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පින් පිණිස සිරි ඝටීකාර මහා සෑ රජාණන් වහන්සේ උදෙසා විශේෂ පූජාවක් ද පැවැත්වුනා. මෙසේ නන් අයුරින් අප විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට අනුමෝදන් වී උන්වහන්සේ ආයු, වර්ණ, සැප, බල, යසසින් වැඩෙත්වා! ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාවෙන් වැඩෙත්වා! ඉතා ඉක්මණින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ ගොරතර සසරින් නිදහස් වෙන්නට වාසනාව උදාවේවා!

අවුරුදු අටක පමණ කාලයක් දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ අසපුවේ වැඩවාසය කරමින් සුවිශාල ශාසනික මෙහෙවරක් සිදුකොට මීට දින කිහිපයකට …

Posted by Mahamevnawa Monastery on Sunday, July 26, 2015