ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය, මැලේසියාවේ ථේරවාද බෞද්ධ මණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා සමාගම එක්ව පසුගිය වසරේ මැයි මස දී නායයෑමෙන් දැඩි ලෙස අලාභ හානි වූ මාතර, කළුබෝවිටියන මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු ආරම්භ කරන ලදී.

කළුබෝවිටියන මහා විද්‍යාලයේ නැවත ඉදි කරනු ලැබූ දිගින් අඩි 80 ක් සහ පලළින් අඩි 25ක් වූ පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය ජූනි මස 13 වැනිදා පැවැත්විණි. කළුබෝවිටියන මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන්, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සමාජය සහ මැලේසියාවේ ථේරවාදී බෞද්ධ මණ්ඩලය විසින් අරමුදල් සපයනු ලැබිනි.

මෙම සත්ක්‍රියාව ඩයලොග් ආසිආටා සමාගමේ සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලැබූ අතර, මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය නොමිලේ ලබාදී ඇත.

මෙම වැඩසටහනට සමගාමීව නව බුද්ධ මන්දිරය විවෘත කිරීමත්, සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමත් සිදුවිය.

රැස් වූ සියලු පින් මෙකී කටයුතු සඳහා නන් අයුරින් උපකාර කළ දෙස්විදෙස්හි වෙසෙනා සියලුම පින්වතුන්ටත් දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!

ආශ්‍රිත සබැඳි >> www.dailynews.lk/senehe-siyapatha-initiative-rebuilds-landslide-affected-kalubovitiyana