“පමාවන සැණින් මාරයා ඩැහැගන්නවා”
පින්වතුනේ, පින්වත් දරුවනේ, කලණ මිතුරන් ළඟ සිටියත් සමහරුන්ට ඒ ළඟ සිටින කලණ මිතුරන් සොයා ගන්න අමාරුයි. කලණ මිතුරෙක් හැමතිස්සේම කරන්නේ තමා ඇසුරු කරන අයව යහපතෙහි යෙදවීමයි. පිනට යෙදවීමයි. එය අනුකම්පාවෙන් යුතු කලණ මිතුරාගේ ස්වභාවයයි. එබඳු ගුණයෙන් යුතු කලණ මිතුරියක් එකල සිටියා. ඈ තමයි විශාඛා මහෝපාසිකාව. ඕ තොමෝ මහත් කරුණාවෙන් යුක්තයි. අනුකම්පාවෙන් යුක්තයි. ඒ වගේම ප්‍රඥාවෙනුත් යුක්තයි. සැවැත් නුවර සිටි ඉතාමත් සම්භාවනීය, වැදගත්, ප්‍රභූ කාන්තාව වුණෙත් විශාඛාවයි.
අද වුණත් ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙකුට ළං වෙන්න කවුරුත් කැමතියි. එදත් ඒ සම්භාවනීය චරිතය වටා බොහෝ කාන්තාවන් ළං වුණා. විශාඛාවගේ පිරිවර වෙන්න බොහෝ දෙනෙක් කැමති වුණා. ධර්මයට එතරම් ආශාවක් නැතත් විශාඛාව ඇසුරු කිරීමට කැමති වූ කාන්තාවන් හිටියා. ඒ කාන්තාවන් ධර්මයේ නොහැසිරෙන බව විශාඛා දැනගෙන හිටියා. නමුත් තමන්ගේ ඇසුර නිසා ටිකෙන් ටික යහපත සළසා දීමේ අනුකම්පා සහගත අදහසක් විශාඛාව තුළ තිබුණා. ඒ නිසා කිසි වෙනසක් නොදක්වා ඔවුන්වත් ඇසුරු කළා.
මේ කාන්තාවන් පිරිස පන්සීයක් පමණ වෙනවා. ඇතැම් අවස්ථාවන්හී දී සැවැත් නුවර ඉහළ සමාජයේ මධුපානෝත්සව පැවැත්වෙනවා. එතකොට ස්ත්‍රී පුරුෂ කවුරුත් මත්පැන් බොනවා. එකගොඬේ නටනවා.
දවසක් පන්සියයක් ස්ත්‍රීන් තම තමන් මත්පැන් රැගෙන උද්‍යාන ක්‍රීඩාවට යමින් සිටියා. ඔය අතරේ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සුවඳ මල් රැගෙන දෙව්රම් වෙහෙරට යමින් සිටියා.
“හා… මේ නැගණිවරු කොහෙදෑ මේ යන්නේ….? හැඩට ඇඳගෙන…. මොකවත් විශේෂ උත්සවයක්ද?”
“පින්වත් ආර්යාවෙනි, අපි අද උයන් කෙළියට යනවා. හිනාවෙලා කාලා බීලා සතුටු වෙන එකත් ජීවිතයට තියෙන්න එපායැ…”
“ඉතින් ඔයාලා හිනාවෙලා කාලා බීලා සතුටු වෙන එකේ සීමාවක් නෑනේ… අපි මෙහෙම කරමුද? අද උයන් කෙළියට යන එක නවත්වමු. මාත් සමඟ දෙව්රම් වෙහෙරට යමු…. එතනදිත් අපට යම්කිසි සතුටක් ලැබෙනවානේ…. එවැනි සාන්ත සතුටකුත් අපි ලබන්න ඕන නේද?”
කාන්තාවන් එකිනෙකා මූණ බලාගත්තා. ඔවුන්ට බෑ කියන්නත් බෑ. හා කියන්නත් බෑ. වෙන දවසක එන්නම් කියන්නත් බෑ. විශාඛාවට ඇති ගෞරවය නිසා ඇඹරි ඇඹරී ඉන්නවා.
“බොහොම හොඳයි…. වැදගත් කාන්තාවන් වුණාම ධර්මය පැත්තටත් ටිකක් ආස කරන්න ඕන නේද? එහෙනම් අපි දෙව්රමට යමු….”
විශාඛාවගේ වචනයට පිටුපාන්න කාටවත් බෑ. ඒ නිසා විශාඛාවගේ පිටුපසින් ඔවුනුත් දෙව්රම් වෙහෙරට ඇතුළු වුණා. තැනින් තැන ඉතා සිනිඳු සෙවණැලි ඇති උද්‍යාන තියෙනවා. දුර පළාත්වලින් එන අය භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න ඇවිත් විවේක ගන්නේ එවැනි තැන්වලයි. විශාඛා සංඝෝපස්ථානත් කරන නිසා ඒ කටයුතුවල නිරත වුණා. අර කාන්තාවන් පන්සිය දෙනා ටිකක් නොපෙනෙන පැත්තකට ගියා. ගස් සෙවණේ වාඩිවුණා. තමන් ළඟ සඟවාගෙන තිබූ මත්පැන් බොන්න පටන් ගත්තා. බඳුන් හිස් වුණා. කටු පඳුරකට ඒවා වීසි කළා. කාන්තාවන්ගේ මේ මානසික ස්වභාවය එක්තරා මාරපාක්ෂික දේවතාවියකට දැනගන්න ලැබුණා. ඈ අර පන්සිය දෙනාවම තමන්ගේ වසඟයට ගත්තා.
ඔය අතරේ විශාඛාව තමා සමඟ පැමිණි යෙහෙළියන්ව සොයනවා.
“හා…. ඔය මොකද ඈත ගිහින්…..? එන්න… එන්න… දම්සභා මණ්ඩපයට යමු. භාග්‍යවතුන් වහන්සේ තව සුළු වේලාවකින් එතැනට වඩිනවා. ඊට කලින් අපි ගිහින් වාඩිවෙමුකෝ….”
මත්පැන් බීමෙන් සිහි නුවණ දුර්වලව සිටි අර කාන්තාවන් මාරපාක්ෂික දේවතාවියකගේ බැල්ම සහිතව දම්සභා මණ්ඩපයට ඇතුළු වුණා. වාඩිවුණා. එවේලෙහි මාර පාක්ෂික දෙව්දුව මෙහෙම හිතුවා.
“හරි! දැන් මං මේ කාන්තාවන්ගේ සිරුරුවලට ආවේශ වෙලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉදිරියේ විප්‍රකාර දක්වන්න ඕන.”
භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයට වැඩම කළා පමණයි. අර කාන්තාවන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අත්පුඩි ගහන්න පටන් ගත්තා. තව එකියක් ගී ගැයුවා. තව එකියක් අතපය එහාට මෙහාට නළවන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේට කාරණය වැටහුණා. ‘මේ අඥාන කාන්තාවන්ගේ ප්‍රමාදය නිසා මාරකායික බලවේගයක් මේ උදවිය ග්‍රහණයට අරගෙන. නමුත් තථාගතයන් ඉදිරියේ ඔවුන්ට එය සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ.’
භාග්‍යවතුන් වහන්සේ සැණෙකින් ඝන අන්ධකාරයක් මැව්වා. කොතරම් අඳුරක් ද යත්, කිසිම දෙයක් පේන්නෙ නැතුව ගියා. කාන්තාවන්ගේ වෙරි හිඳුණා. සිහි නුවණ උපන්නා. ඔවුන්ගේ සිහි නුවණ උපන් සැණින් අර මාර පාක්ෂික බලවේගයට තවදුරටත් එතන ඉන්න බැරිවුණා. කාන්තාවන් හොඳටම තැති ගත්තා. ඒ අඳුර ටික වෙලාවකින් නැතිවුණා. භාග්‍යවතුන් වහන්සේ පෙනෙන්න නෑ. නමුත් ඈතින් අහසේ හිරු සඳු දහසක් පෑයූ ලෙසින් ආලෝක ධාරාවක් එතැනට වැටුණා. එසේ ඉර්ධිබලයෙන් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව වදාළා.
කෝ නු හාසෝ කිමානන්දෝ – නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා – පදීපං න ගවෙස්සථඇයිද මේ හැටි සිනහසෙන්නේ – ඇයිද මෙතරම් සතුටු වන්නේ
කෙලෙස් ගින්නෙන් දැවි දැවී සිට – අන්ධකාරේ ගිලි ගිලී සිට
තමා හට සෙත සුවය සළසන – ඇයිද පහනක් නොම සොයන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, සාමාන්‍ය ජීවිතය ගෙවන අය එක්කො ද්වේෂයෙන් ගිනි ගන්නවා. එහෙම නැත්නම් රාගයෙන් ගිනි ගන්නවා. එහෙමත් නැත්නම් මුලාවෙන් ගිනි ගන්නවා. මේ වගේ ඇවිලි ඇවිලී ඉන්න ජීවිත කොතෙක්ද? විසඳුමක් සොයන්න යන්නෙත් ගින්දරෙන්මයි. හැබෑ අන්ධකාරය යනු අවිද්‍යාවමයි. එබඳු කෙනෙක් සොයා ගත යුත්තේ තමාට සත්‍යය දැකිය හැකි ආලෝකයකුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව එවැනි ආලෝකයක් වෙන කොහෙන් සොයන්නද?
ඇත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව පුදුම සහගතයි. මාර බලවේගයෙන් පිරිස මුදවාගත්තා. ප්‍රමාදයෙනුත් මුදවා ගත්තා. සිහි නුවණත් පිහිටෙව්වා. ධර්මයත් තේරුම් කරලා දුන්නා. ඒ පන්සිය දෙනාම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවට නමස්කාර වේවා!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
sundarai..namaskara wewa!
සාදු! සාදු! කොතරම් අසිරිමත්ද මගේ බුදුරජාණන් වහන්සේට පමණයි මේ මිනිසුන් දමනය කිරීමට හැක්කේ අපිත් අප්රමාදී වෙලා මේ ධර්මය අවබෝධ කරමු.
නමෝ බුද්ධාය..
ධර්මයේ සුවය ලබන්න මෙවන් වු ධර්ම කතා වැඩි වැඩියෙන් ඇසුරු කරත්වා..!