පින්වතුනේ, පින්වත් දරුවනේ,
මේ කතාවත් හරිම අගෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී තමයි මෙය සිදුවුණේ. තව්තිසා දෙව්ලොව මාලභාරී කියලා දිව්‍ය පුත්‍රයෙක් සිටියා. ඔහුට දිව්‍ය අප්සරාවන් දාහක් හිටියා. ඉතින් මාලභාරී දිව්‍ය පුත්‍රයා මේ දාහක් අප්සරාවන් පිරිවරාගෙන උද්‍යාන ක්‍රීඩාවට යනවා. එහිදී පන්සියයක් අප්සරාවන් මල් ගස්වලට නගිනවා. නැග මල් ගස් සොලවනවා. එ් වැටෙන වැටෙන මල් අනික් අප්සරාවන් පන්සිය දෙනා ඇහිඳිනවා. ඉන්පසු එ් මල් ගෙන අර දිව්‍ය පුත්‍රයාව අලංකාර කරනවා. දවසක් එක දෙව්දුවක් මල් ගසට නැග එ් මල් ගසේ අත්තක් සොලවමින් සිටිද්දී එතනම චුත වුණා. පහන් සිලක් නොපෙනී ගියා වගේ ඇය චුත වුණා. ඉතින් එ් දෙව්දුව සැවැත් නුවර මිනිස් පවුලක ඉපදුණා. ඇය හරිම ලස්සනයි. ඇයට කුඩා කාලයේදීම ඇගේ අතීත ජන්මය මතක් වුණා.
‘අනේ මං මාලභාරී කියන දිව්‍යපුත්‍රයාට බිරිඳ වෙලා සිටිය කෙනෙක්. මට මේ මොකද වුනේ?’ කියල ඈ මිනිස් උපත ගැන කැමති වුණේ නෑ. ආයෙමත් ස්වාමියා ළඟම උපදින්නට ඕන කියල නිතර නිතර ප්‍රාර්ථනා කළා. මෙය ඉෂ්ට කරගන්නට පුළුවන් වන්නේ හොඳින් පින් කිරීමෙන් බව ඇය දැනගත්තා.
ඉතින් මේ දැරිය සොළොස් වස් වූ කළ විවාහ කොට දුන්නා. දැන් ඇය නිතර නිතර භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. සෑම පින්කමක්ම කරලා ඇය කියන්නේ “මේ පින මට මා කලින් සිටිය ස්වාමියා ළඟම උපදින්නට උපකාරී වේවා!” කියලයි. එනිසාම ඇය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට උත්සාහ කළේ නෑ. දිව්‍ය කාම සැපයටම ආශා කර කර සිටියා. නමුත් හොඳට පින්කළා. භික්ෂූන් වහන්සේලා ඇගේ පතිභක්තිය දැක පතිපූජිකා කියන නම දැම්මා. ඊට පස්සේ ඇය ප්‍රසිද්ධ වුණේ එ් නමින්.
ඇය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට මහන්සි නොවුණාට ඉතාමත්ම ශ්‍රද්ධාවන්තයි. ඇය විශේෂයෙන්ම කළේ දන්දීමයි. සිල් රැකීමයි. ඈට දරුවන් සතර දෙනෙක් ලැබුනා. කිසි කටයුත්තක් අතපසු නොකොට සෑම දෙයක්ම කරමින් නිතර දන් දුන්නා. ප්රණීතව දන් දුන්නා. දාන ශාලා ඇමදීම, පැන් පෙරාගෙන පැමිණීම, ආසන පැණවීම ආදී සෑම දෙයක්ම ඇගේ අතින්ම කරනවා.
දිනක් ඈ දන් දී සිල් සමාදන් වී සතුටෙන් සිටිද්දී හදිස්සියේ ඇති වූ රෝගාබාධයකින් කළුරිය කළා. එසැණින් ඈ මාලභාරී දිව්‍ය පුත්‍රයා ළඟ ඉපදුණා. දිව්‍ය පුත්‍රයා ඇය දැක,
“භවතී, උදේ සිට මේ සවස් වන තුරු දැක්කෙ නෑ. කොහේද ගියේ?”
“ස්වාමීනී, මං චුත වුණා.”
“චුත වුණා…?”
“එසේය ස්වාමීනී”
“ඉතින් මොකද වුණේ?”
“ස්වාමීනී, මං මිනිස් ලෝකෙ උපන්නා. සැවැත් නුවර ගෙදරකයි ඉපදුණේ.”
“ඉතින් එහේ ඔයා කොච්චර කල් හිටියද?”
“මව් කුසේ දස මාසයක් හිටියා. වයස දාසයේදී විවාහ වුණා. දරුවො හතර දෙනෙකුත් ලැබුණා. මං හැබැයි ගොඩාක් පින් කරගත්තා. ඊට පස්සේ තමයි ආයෙමත් මගේ දිව්‍ය පුත්‍රයා ළඟට මං ආවෙ.”
“මනුෂ්‍යයින්ට ආයුෂ කොච්චරක් තියෙනවද?”
“අවුරුදු සීයයක් විතර තියෙනවා”
“අපොයි! එච්චරක්ද?”
“එසේය ස්වාමීනී.”
“ඉතින් එහෙමනම් මිනිස් ලොව ඉපදුණු අය කෑමට, බීමට, නින්දටද වැඩිය කාලය යොදන්නේ? එහෙම නැත්නම් දානාදී පින්කම් කරනවාද?”
“අනේ ස්වාමීනී, මොනවද මේ අහන්නෙ? මිනිස්සු හිතාගෙන ඉන්නේ අසංඛෙය්‍ය ගණන් ආයුෂ තියෙනවා කියලයි. උන්දැලා අජරාමර වෙලා කියලයි හිතාගෙන ඉන්නේ. කිසි ගාණක්වත් නෑ.”
එතකොට මාලාභාරී දිව්‍ය පුත්‍රයා මහා සංවේගයට පත්වුණා. ”අනේ… අවුරුදු සියයක් ආයුෂ ඇතුව උපත ලබා මේ මිනිස්සු ලෞකික ජීවිතය ගැනම ප්‍රමාද වෙවී ඉන්නවා නම්, එ් මිනිස්සු දුකින් මිදෙන්නේ කවදාද?”
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියයක් තව්තිසාවේ එක දවසයි. එවැනි දවස් වලින් තිස් දවසක් මාසයයි. එවැනි මාස දොළහක් අවුරුද්දයි. එවැනි අවුරුදු දහසක ආයුෂ තව්තිසා දෙවියන්ට තියෙනවා. මිනිසුන්ගේ ආයුෂ වලින් ගත්තොත් අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයක් වෙනවා. එහේ දිව්‍ය පුත්‍රයෙකුගේ එක දවසක් ගෙවී යන්නටත් කලින් මිනිස් ලෝකෙ ආයුෂ ඉවර වෙලා යනවා.
භික්ෂූන් වහන්සේලා පසුවදා දානයට වඩිද්දී වෙනදා තරම් දාන ශාලාව ලස්සන නැහැ. හොඳින් අතුපතු ගාලත් නෑ. පිළිවෙලකට ආසන පණවලත් නෑ. පැන් පෙරලා ගෙනැවිල්ලත් නෑ. භික්ෂූන් වහන්සේලා විමසුවා.
“පතිපූජිකාව කොහෙවත් ගියාද?”
“ස්වාමීනී, ඔබවහන්සේලා දැක්කෙ නැහැ නෙව. ඔබවහන්සේලා දන් වළඳා වැඩියාට පස්සේ හවස් වරුවේ ඇය මියගියා.”
භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මෙම කරුණ විමසුවා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සංඝයාට ඉතාමත්ම හොඳින් ඇප උපස්ථාන කළ, වත් පිළිවෙත් කළ පතිපූජිකාව මිය ගිහින්. ඈ කොහේද උපන්නේ?”
“පින්වත් මහණෙනි, ඇය තමන්ගේ ස්වාමියා ළඟ නෙව ඉන්නේ”
“අනේ ස්වාමීනී, පතිපූජිකාවගේ ස්වාමියා ළඟ අද ඇය නැහැ.”
“පින්වත් මහණෙනි, පතිපූජිකාව මේ ස්වාමියාව පැතුවෙ නෑ. ඇය පැතූ ස්වාමියා සිටියේ දෙව්ලොවයි. ඔහුගේ නම මාලභාරී. ඔහු සිටින තැන දිව්‍ය අප්සරාවන් මල් සරස සරසා ඉන්නේ. දැන් ඇය එතන මල් නෙලනවා.”
මෙසේ වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාමත් මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.
පුප්ඵානි හේව පචිනන්තං – බ්‍යාසත්තමනසං නරං
අතිත්තං යේව කාමේසු – අන්තකෝ කුරුතේ වසංමල්වලටම ආසා කොට – මල් සොයමින් යන මිනිසා
මල්ම සොය සොයා යන්නේ – එයම රැස්කරන විලසින්
කාමයන් පසුපස යන – කාමයට මත් වූ කෙනා
කිසිදින නොසෑහීමෙන් – මාරයා වසඟයට යන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්කාරයෙක් මල් රැස් කරනවා වගේ කම් සැපයම සොයන කෙනා එ් ගැනමයි කල්පනා කර කර ඉන්නේ. මල්කාරයත් එහෙමයි නෙ. ඔහු සිතන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයමයි කල්පනා කර කර ඉන්නේ. රැස් කරන්නෙත් එ්වාමයි. කාමයට ඇළුණු මිනිසාත් එ් ගැනමයි සිත සිතා ඉන්නේ. එයින්මයි තෘප්තියක් සොයන්නේ.
නමුත් ඔහුට මොනවා තිබුණත් ඔහුගේ ආශාවේ ඉවරයක් නෑ. තෘප්තියට පත්වීමේ නිමාවක් නෑ. ඉතින් කාමයන්ට තෘප්තිමත් නොවීම, ඔහු මාරයාගේ වසඟයට පත්වෙනවා. මැරිලා යනවා. මේ නිසා නුවණැති කෙනා කාමයන්ට මුළා නොවී පින් කරගන්නට මහන්සි විය යුතුයි. දන් දීම පුරුදු කළ යුතුයි. සිල් රැකීමත් පුරුදු කළ යුතුයි. භාවනා කිරීමත් පුරුදු කළ යුතුයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට ලැබුණොත් එ් තැනැත්තාට නම් භය වෙන්නට කිසි දෙයක් නෑ. සතර අපායේ උපදින්නෙ නැහැ නෙව. සෝවාන් වුණු කෙනෙක් ඉපදුනොත් උපදින්නේ දෙව්ලොවත්, මනු ලොවත් විතරයි. එනිසා සෝවාන් වෙන්නට ලැබුණොත්, එ් කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට ලැබුණොත් කොයිතරම් ලාභයක්ද?
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Sadu… sadu…. sadu