“අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකය හරිම පුදුමයි කියලා අපි හිතන්නේ ආකාසය, ගස් කොළන්, ගංගාවල්, සාගරය ආදිය බලලයි. නමුත් මේ මිනිසුන්ගේ ස්වභාවය ඊටත් වඩා පුදුමයි. සමහරුන්ට පින් කරන්න හිතෙනවා. හිතිලා පින් කරන්න පුළුවන් තැනකට යනවා. නමුත් එයාට පින් කරගන්න ලැබෙන්නේ නෑ. එයා එතනට නොගියා නම් ඔයිට හොඳයි. ඇයි එහෙම කියන්නේ? පින් කරන්න කියලා ගිහින් බොහෝ කාලයක් නිරයේ දුක් විඳින පව් කරගන්නවා. විශාල දුකකට වැටෙනවා. අවාසනාවන්තයෙක් බවට පත්වෙනවා. එවැනි අවාසනාවන්තයෙකුගේ ඉරණමක් ගැනයි මෙම කාථාවේ සඳහන් වෙන්නේ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මහා කස්සප මහරහතන් වහන්සේ ගැන ඔබ දැනටමත් දන්නවා. උන්වහන්සේ උත්කෘෂ්ට වූ සීලයෙන් යුක්තයි. ගුණයෙන් යුක්තයි. එ් වගේම දෙවිවරුන්ට උන්වහන්සේව ඉතාමත් ප‍්‍රියයි. එ් වගේම සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාටත් උන්වහන්සේගෙන් ලැබෙන ආදර්ශය, අවවාදය හරිම ශ්‍රේෂ්ඨයි. ගෞතම ශාසනය බබලවන මහෝත්තමයන් වහන්සේ නමක්. දෙව්මිනිසුන් අතර එ්කාන්තයෙන්ම වන්දනාවට සුදුසු උතුම් රහතන් වහන්සේ නමක්.

මේ මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ තරුණයන් කිහිප දෙනෙක් පැවිදි වුණා. එයින් දෙනමකට වත්පිළිවෙත් කරන්නට අවස්ථාවක් ලැබුණා. එක නමක් ඉතාමත් ශ‍්‍රද්ධාවෙන් වත්පිළිවෙත් කළා. මහා කස්සප මහරහතන් වහන්සේට දැහැටි සූදානම් කිරීම, පැන් සූදානම් කිරීම, පා දෝවනය කරන පැන් සූදානම් කිරීම ආදී වත් පිළිවෙත් ඉතාම ශ‍්‍රද්ධාවෙන් කළා.

අනිත් නම හරිම කපටියි. බණ භාවනා කරන්නෙත් නෑ. ධර්මය ඉගෙන ගන්නට මහන්සි ගන්නෙත් නෑ. වත්පිළිවෙත් කරන්නට මහන්සි ගන්නෙත් නෑ. යහපත් පොඩි නම දැහැටි දඬු, පැන් සූදානම් කළ විට කපටි නම ඉක්මනින්ම මහා කස්සප තෙරුන් ළඟට යනවා. ගිහින් දෙකට තුනට නැමිලා කියනවා.

“පින්වත් ස්වාමීන් වහන්ස, අන්න මං ස්වාමීන් වහන්සේට දැහැටි දඬු පිළියෙල කළා. පැන් පිළියෙල කළා.”

සමහර අවස්ථාවලදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පැන්පහසු වෙන්න උණු පැන් පිළියෙල කරනවා. යහපත් පොඩි නම එය සූදානම් කරනකම් කපටි පොඩි නම නොදන්නවා වගේ ඉන්නවා. සූදානම් කොට අවසන් වූ ගමන් තමන් කළ දෙයක් වගේ පෙන්නනවා.

දවසක් අර යහපත් පොඩි නම අමුතු වැඩක් කළා. එ් තමයි මහරහතන් වහන්සේ උදෙසා නහන පැන් වෙනම පිළියෙල කරලා වෙනදට පැන් තියෙන තැනින් වතුර ස්වල්පයක් භාජනයක දාලා වහලා තිබ්බා. අර කපටි පොඩි නම දුවගෙන ගිහින් කිව්වා ”ස්වාමීනී, පැන් සූදානම්. නාන්න වඩින්න” කියලා. මහරහතන් වහන්සේ පැන්පහසු වීම පිණිස වැඩම කළා. ගිහින් භාජන ඇරලා බැලූවා.

“පොඩි නම, කෝ පැන් නැහැ නෙව.”

එතකොට කපටි පොඩි නම කලබලයෙන් ඇවිත් බැලුවා. පැන් නැහැ. කලබල වුණා. ඊළඟ භාජනයෙත් බැලුවා. එ්කෙත් පැන් නැහැ.

“මේක අර දුෂ්ට උන්නාන්සේගේ වැඩක්! හිස් භාජනය තමයි වහල තිබිලා තියෙන්නේ. මං හිතුවේ වතුර ලෑස්තියි කියලා….!”

ඉතින් කපටි පොඩි නම හිස් බඳුන අරගෙන පැන් තොටට යද්දී අනෙත් පොඩි නම ඉක්මනින් ම පැන් සූදානම් කොට දුන්නා. මහරහතන් වහන්සේ අනෙත් පොඩි නමගෙන් ඇහුවා.

“ඈ… පොඩිනම? මොකක්ද මේ වැඩේ තේරුම? මේ නාන පැන් පිළියෙල කළේ අර පොඩිනම නෙවෙයිද?”

“අනේ නෑ ස්වාමීනී, මෙතෙක් කලක් මං තමයි හැම දෙයක්ම කළේ. එයා කරන්නේ අනුන් කරන දේවල් තමන්ගේ හැටියට පෙන්නන එක විතරයි.”

මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහත් සංවේගයක් ඇතිවුණා. අර පොඩිනමට අවවාද කළා.

 

Dhamma-padaya_5_1

“පොඩිනම, කළ වැඩේ හොඳ නැහැ නෙව. මීට පස්සේ තමන් කළ දේ පමණක් තමන් කළ බව කියන්න. අනුන් කළ දෙයක් තමන්ගේ නමට ගාව ගන්න එපා! එ් වගේම අනිත් නමට කිපිලා කෑ ගසමින් පැන් තොටට යන්න එපා!”
එතකොට කපටි පොඩිනම මොකුත් කිව්වෙ නෑ. ඇස් රතු කරගෙන බිමට රවාගෙන හිටියා.

“හහ්….! එතකොට මං මොකක් කළත් වැරදියි. අනික මේ වතුර චුට්ටක් හින්දා ඔයතරම් කෑගහන්න ඕනද? ඔච්චර අවවාද කරන්න දෙයක් මේකෙ වුණේ නැහැ නෙව. හොඳයිකො. මං පෙන්නන්නම් හොඳ නොහොඳ මොකක්ද කියලා.”

එදා දවස පුරාම පොඩිනම ද්වේෂයෙන් හිටියේ. ද්වේෂය ඇතිවෙන විදිහටම කල්පනා කර කර හිටියා. පහුවදා මහා කස්සප මහරහතන් වහන්සේ සමඟ පිණ්ඩපාතෙ වඩින්න පොඩිනම ආවෙ නෑ. රහතන් වහන්සේ පිඬුසිඟා වැඩිවේලේ අර පොඩිනම වෙනත් දායක පවුලක් වෙත ගියා. ගිය වෙලෙහි එ් දායක ගෙදර උදවිය මෙහෙම ඇහුවා.

“පොඩි ස්වාමීන් වහන්ස, අපේ ස්වාමීන් වහන්සේ කෝ?”

“පින්වත්නි, මහ තෙරුන් වහන්සේට සනීප නෑ. වෙහෙරෙමයි ඉන්නේ.”

“අනේ ස්වාමීනී, එහෙනම් දානෙට පිණ්ඩපාතෙ වැඩියේ නැතුව ඇති නෙව. එතකොට මොකද කරන්නේ?”

“එහෙම නම් පින්වත්නි, මේ මේ දේවල් දානෙට තියෙනවා නම් අගෙයි. මං දානෙ ගෙනිහින් දෙන්නම්.”

එතකොට ඔහු තමන්ට වුවමනා දානමාන ඉල්ලාගෙන යන ගමන් අතරමගදී වළඳලා තනියම අරණ්‍යයට ගියා.
පසුවදා මහා කස්සප තෙරුන් වහන්සේ අර දායක පවුල සිටි ප‍්‍රදේශයේ පිණ්ඩපාතේ වැඩියා. මහ තෙරුන් වහන්සේ දුටු දායක පින්වතුන් ඉතාමත් සතුටට පත්වුණා.

“අනේ ස්වාමීනී, දැන් සනීප ද? අපට අර පොඩි නම කියූ හැටියට සෑහෙන්න අසනීපයි කියල හිතුණේ. ඉතින් අපි දානෙත් හදලා පිටත් කළා. වැඩම කළ එක කොයිතරම් දෙයක්ද?”

මහරහතන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දන් පැන් වළඳා පුණ්‍යානුමෝදනා කොට ආපසු වැඩියා.

“පොඩිනම, ඊයෙ අර දායක ගෙදරකට ගිහින් මොකක්ද කිව්වේ? ඇයි බොරු කියලා දානෙ අරගත්තේ? එහෙම අරගෙන වළඳන්නට වටින්නේ නැහැ නෙව. පැවිද්දන්ට කිසිසේත්ම සුදුසු නැහැ නෙව.”

කපටි පොඩිනම බිමට රවාගත්තා. ඇස් රතු කරගත්තා. දත්කූරු කන්න ගත්තා.

“කලින් දවසේ වතුර චුට්ටක් නිසා මට බොරුවට බැණ වැදුණා. අද බත් මිටක් නිසා දානෙ ඉල්ලලා අරගෙන වළඳන්න හොඳ නැතෙයි කියලා නිකම් ගෝරනාඩු කරනවා. හොඳයිකො. මං මහ තෙරුන් වහන්සේට කළ යුත්ත කරලා පෙන්නනම්කෝ” කියල බද්ධ වෛර ඇති කරගත්තා.

පසුවදා මේ පොඩිනම පිණ්ඩපාතේ වැඩියෙ නැහැ. මහරහතන් වහන්සේ පිණ්ඩපාතෙ වඩිනකම් බලාගෙන හිටියා. ලොකු පොල්ලක් අතට ගත්තා. එ් කාලෙ තිබුණෙ මැටි භාජන විතරයි. ඉතින් මහරහතන් වහන්සේට පැන් පහසු වෙන්න තිබුණු සියලු මැටි බඳුන්, සියලු උපකරණ පොඩි පට්ටම් කළා. කුටිය ගිනි තිබ්බා. ගිනි ඇවිල්ලෙන්නෙ නැති යම් බඩුවක් මුට්ටුවක් තිබුණා නම් එ් හැම දෙයක් ම කුඩු පට්ටම් කළා. සිවුරු දාලා පැනලා ගියා.

ඔහු ටික කලකදී බලවත්ව රෝගාතුරව මරණයට පත්වුණා. නිරයේ උපන්නා. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගොස් මේ පවිටු පුද්ගලයාගේ දරුණු ක‍්‍රියාව හෙළිදරව් කළා. එවේලෙහි අපගේ ශාස්තෘ වූ එ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කාටත් ප‍්‍රයෝජනයක් වන මෙම ගාථාරත්නය වදාළා.

චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය – සෙය්‍යං සදිසමත්තනෝ
එ්කචරියං දළ්හං කයිරා – නත්ථි බාලේ සහායතා

කෙනෙකුගෙ ඇසුරට නිසි කල – උතුම් කෙනෙකු නොලැබෙන විට
අඩු ගණනේ තම ගතිගුණ – හා සම වූ අය නැතිවිට
තනියම ජීවත් වෙන්නට – දැඩි ලෙස ඔහු සිතිය යුතුය
පවිටු බාල අසත්පුරුෂ – ඇසුරක් නම් නොකළ යුතුය

පින්වතුනේ, පින්වත් දරුවනේ, එක්කෝ තමන්ගේ සීලයට උපදෙස් ගතහැකි, තමන්ට වඩා උසස් සිල් රකින කෙනෙක් ඇසුරු කරන්න ඕන. එක්කො තමන්ගේ සමාධිය දියුණු කරගන්නට උපදෙස් දිය හැකි උතුම් කෙනෙක් ඇසුරු කරන්න ඕන. එක්කො තමන්ගේ නුවණින් විමසීම දියුණු කරගන්න පුළුවන් උතුම් කෙනෙක් ඇසුරු කරන්න ඕන. එතකොට තමයි එයා ටිකෙන් ටික සත්පුරුෂ ගතියෙන් පෝෂණය වෙන්නේ. ඤාණවන්තයෙක් වෙන්නේ. කෙළෙහි ගුණ දන්නා ගුණවතෙක් වෙන්නේ.

එහෙම උතුම් කෙනෙක් මුණ නොගැහුණොත් අඩු ගණනේ තමා තරමින් වත් සීලවන්ත කෙනෙක් ඇසුරු කරන්න ඕන. තමා තරමින් වත් ධර්මයේ හැසිරෙන කෙනෙක් ඇසුරු කරන්න ඕන. එහෙම නොවුණොත් තමන්ට ලොකු අනතුරක් තියෙනවා.

සමහරවිට අපි කෙනෙකුට හිතවත් වෙන්න පුළුවන්. එ් හිතවත්කම නිසා අපට අපේ ගුරුවරු කෙරෙහි, මව්පියන් කෙරෙහි, වැඩිහිටි උතුමන් කෙරෙහි අපේ පැහැදීම නැතිවෙනවා නම්, අර අසත්පුරුෂයා අපිව ගුරුවරුන්ට, මව්පියන්ට විරුද්ධව කටයුතු කරන්නට පොළඹවනවා නම්, එ් වගේම දුස්සීල වෙන්නට පොළඹවනවා නම්, එ් තුළින් සිදුවෙන හානිය මෙතෙකැයි කියලා වචනයෙන් කියා නිමකරන්නට බැහැ. අසත්පුරුෂ ආශ‍්‍රය නිසා රැස් කරගන්නා පව් හේතුවෙන් කල්ප ගණන් නිරයේ පැහෙන්න වේවි. එ් නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂ ආශ‍්‍රය අත්හරින්න කියලා නැවත නැවතත් පෙන්නා දෙන්නේ. උන්වහන්සේ වදාළේ තනියම ජීවත් වීමට දැඩිව අධිෂ්ඨාන කරගන්න කියලයි. අසත්පුරුෂයන් එක්ක ඇයි හොඳයි කතාවක් ඕනම නෑ.
එවේලෙහි මේ ධර්මයට සවන් දුන් එ් ආගන්තුක භික්ෂුවටත්, අනෙත් භික්ෂූන්ටත් අසත්පුරුෂ ආශ‍්‍රයේ ඇති භයානකකම හොඳට තේරුණා. සත්පුරුෂ කල්‍යාණ මිත‍්‍රයන්ගේ ඇසුරේ වටිනාකම හොඳට තේරුණා. ලොව පහළ වූ පරම කල්‍යාණමිත‍්‍රයන් වහන්සේ එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියලා හොඳට තේරුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් එ් සත්පුරුෂ ධර්මය වන චතුරාර්ය සත්‍යය ධර්මය අහන්නට ලැබුණා. එ් සියලු භික්ෂූන් වහන්සේලාට සෝවාන් වෙන්න වාසනාව ලැබුණා.

අපටත් මේ උපදේශය ඉතාම වටිනවා. ‘එක්කො අපට වඩා ගුණධර්ම වැඩි, අපේ ගුණධර්ම දියුණු කරගන්නට උපදෙස් ගත හැකි උතුම් කෙනෙක් ඇසුරු කරන්නට ඕන. එහෙම කෙනෙක් ඇසුරට නැත්නම්, අඩු ගණනේ අපේ තියෙන ගුණ ධර්ම ආරක්ෂා කරගෙන සිටිය හැකි ආකාරයේ සමාන ගතිගුණ තියෙන අය ආශ‍්‍රය කරන්න ඕන. එහෙම නැතුව දත් තිස් දෙකම පෙන්නලා හිනහා වුණා කියලා රැවටෙන්න හොඳ නැහැ. බොරු තොඳොල් කපටි නැළවිලි බස් වලින් අපට ආදරයෙන් ඇමතුවා කියලා රැවටෙන්න හොඳ නෑ. අපේ රැකවරණයට ඉදිරිපත් වුණා කියලා වහසි බස් කියූ පමණින් රැවටෙන්න හොඳ නෑ. නුවණ පාවිච්චි කළ යුත්තේ යහපත් ඇසුර උදෙසාමයි. ඇසුරු නොකළ යුත්තේ අසත්පුරුෂයාවමයි. සත්පුරුෂ ආශ‍්‍රය කොයිතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ