පින්වතුනේ, පින්වත් දරුවනේ,

සමහර අය ප‍්‍රධානත්වයට හරි ආසයි. තනතුරුවලට හරි ආසයි. නම්බුනාමවලට හරි ආසයි. නමුත් එ් එකකටවත් සුදුසුකම් නෑ. තියෙන්නෙ ඇඟපත විතරයි. එබඳු අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. මෙහි සඳහන් වෙන්නේ එබඳු කථාවක්.

සැවැත් නුවර ජේතවනාරාමයේ එක භික්ෂුවක් හිටියා. ඔහුගේ නම උදායි. තරමක් වයසයි. හොඳට උස මහත තියෙනවා. ගාම්භීර පෙනුමක් තියෙනවා. තේජස් ඇතුව තමයි ඇවිදින්නේ. වටපිට බලන්නෙත් ඇස්දෙක කරකවලා. එතකොට බොහෝ දෙනෙක් හිතන්නේ,

‘හප්පේ…. මේ උත්තමයා නම් මහා බලසම්පන්න කෙනෙක් වෙන්න ඕන. ගැඹුරු ධර්මඤාණයකින් යුතු උදාර කෙනෙක් වෙන්න ඕන. අර…. අර…. උතුම් ආසනවල නෙව වැඩඉන්නේ. අනික බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැන. අනිවාර්යයෙන්ම විශේෂ අවබෝධයකින් යුක්ත ඇති.’

හැබැයි මෙයාගෙ වැඩිය කතාබහ නැහැ. මහා තෙරුන් වහන්සේලා වාඩිවෙන විශේෂ ආසන තියෙනවා. එ් ආසනවල තමයි මෙයත් වාඩිවෙන්නේ. එතකොට පිරිස ඇවිත් ඇවිත් වඳිනවා. සත්කාර සම්මාන දක්වනවා. පිටපළාත්වලින් වඩින භික්ෂූන් වහන්සේලාත් බොහෝම ගරුසරු දක්වනවා.

ඇතැම් භික්ෂූන් වහන්සේලාට තේරුණා මේ භික්ෂුවට තියෙන්නේ ස්ථවිර නමකගේ පෙනුම විතරයි කියලා. ධර්මය විනය ගැන පෙන්නන අවබෝධය නෑ කියලා. එ් නිසා දවසක් සඟපිරිස අතරින් කිහිප නමක් ගිහින් මේ උදායී භික්ෂුවගෙන් ධර්ම විනය ගැන ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා. එතකොට මේ භික්ෂුව බිම බලාගත්තා. වචනයක් කතා කළේ නෑ. නිහඬව හිටියා. ලැජ්ජාවෙන් මූණ රතුවුණා.

“මේ භික්ෂුව කවුද? බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැන ඉඳගෙන අඩුගණනේ චතුරාර්ය සත්‍යය ගැන යම්කිසි දැනුමක් ඇතිකරගන්න එපායැ.”

ඊට පස්සෙ එ් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එ් උදායි භික්ෂුවගේ අනුවණබව ගැන සැළකළා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු වශයෙන් මෙම ගාථාරත්නය වදාළා.

යාවජීවම්පි චේ බාලෝ – පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති – දබ්බී සූපරසං යථා

ඉදින් නුවණ නොමැති කෙනා – මුළු දිවි මග ගෙවෙන තුරා
ඇසුරු කළත් නැණවතෙකුව – නැත ධර්මය දැනගන්නේ
හොඳ රසවත් බොජුන් නිතර – තැවරෙන මුත් හැන්ද පුරා
කවදාවත් එ් හැන්දට – නැත රසයක් වැටහෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණැත්තෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමීපයේ වැඩහිටියත් නිතර නිතර බුදුරජාණන් වහන්සේව දකින්නට ලැබුණත්, උන්වහන්සේ සමඟ දානමානවලට වඩින්නට ලැබුණත්, උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ළඟින්ම වාඩි වී අසන්නට ලැබුණත්, එපමණකින් කෙනෙකුට ධර්මය අවබෝධ නොවන බව මෙම කථාවෙන් හොඳටම පැහැදිලියි.

නුවණ කියන්නේ කෙනෙකුට වාසනාවකට ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිසුන්ගේ මාණික්‍යය ප‍්‍රඥාව කියලයි. (පඤ්ඤා නරානං රතනං) එ් වගේම උන්වහන්සේ වදාළේ ලොව තිබෙන ශ්‍රේෂ්ඨම ආලෝකය ප‍්‍රඥාව කියලයි. (පඤ්ඤා අනුත්තරා ආභා) එහෙම වදාරන්නට හේතුව ජීවිතය තේරුම් ගැනීමේ හැකියාව තිබෙන්නේ ප‍්‍රඥාවන්ත කෙනාට නිසයි.

නුවණ නැතිබව හරිම පාඩුවක්. නුවණ නැති කෙනාට කිසි ගාණක් නැහැ නෙව. ඔහේ ඉන්නවා. ඔහේ ජීවත් වෙනවා. බණ ඇහුනොත් අහනවා. එ්ත් අර්ථ වැටහෙන්නේ නෑ. හැබැයි මහා අවබෝධයක් තියෙන බවක් පිටතට පෙන්වනවා. එ්කත් අවාසියි. හැබෑම නුවණැත්තෙකුට කවුරු මොනවා කිව්වත් එ්ක ප‍්‍රශ්නයක් නොවෙයි. එයාට ධර්මය අවබෝධ කරගන්න අනුන්ගේ කියුම් වැදගත් වෙන්නේ නෑ.

නුවණ නැති පුද්ගලයාගේ ස්වභාවය ඉතා ශෝචනීයයි. එ් බව බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපමාවෙන් හොඳට ම පැහැදිලි වෙනවා. ‘දබ්බී’ කියල කියන්නේ හැන්දටයි. ඉතින් හැන්ද මුලු දවස පුරා වෑංජන බඳුනක දමලා හැඳිගගා හිටියත් එ් හැන්ද පුරා එ් වෑංජන තැවරිලා තිබුණත් කවදාවත් එ් හැන්දට ‘මේවා ලුණු රසයි. මේවා තිත්තයි. මේවා කටුකයි. මේවා ඇඹුල්. මේවා කහට’ කියා කිසි දෙයක් තේරෙන්නේ නෑ. නොතේරුම්කම ගැන මීටත් වඩා හොඳ උපමාවක් කොහොම සොයන්නද?

උදායි භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ තුළ විශාල අනුකම්පාවක් ඇතිවෙන්න ඇති. නමුත් මොනවා කරන්නද? තමා නෙ තමාව පිළිසරණ කරගන්න ඕන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ