“යහපත උදාකරන එක බණ පදය පවා උතුම්.”
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට මේ ජීවිතයේදී ඕනතරම් වචන අහන්න ලැබෙනවා. නමුත් ඒවා තුළින් අපේ යහපත උදාකරන්නේ නැත්නම්, ඒවායින් පලක් නෑ. ඇතැම් වචන වලින් උදාකරන්නේ අයහපතක් නම්, ඒ වචනමයි අපේ ජීවිත වනසන්නේ. ජීවිතාවබෝධය ඇති එක වචනය පවා ගොඩාක් වටිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම වචනයක්ම වටිනවා. හැම පදයක්ම වටිනවා. හැම ප්‍රකාශයක්ම වටිනවා. ඊට හේතුව ඒ හැම දෙයක්ම මතුවුණේ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික නිකෙලෙස් හද මඬලින් නිසා.
එවැනි යහපත් වචනයකින් අයහපත් කෙනෙකුව වුණත් යහපතට පමුණුවන්න පුළුවන් බව මේ කථාවෙන් ලස්සනට පේනවා.
ඒ කාලෙ රජගහ නුවර ගම් විනාශ කරමින් සොරකමින් ජීවත් වූ හාරසිය අනූනවයක් සොරු හිටියා. දවසක් විරූපී වෙච්ච, තඹ පාට දත් ඇති පුද්ගලයෙක් ඔවුන් ළඟට ගියා.
“මාත් තමුසෙලාට උදව් කරන්න කැමතියි. තමුසෙලත් එක්ක ජීවත් වෙන්න මං කැමතියි” කිව්වා.
එතකොට හොරු මෙයාව අරගෙන ගිහින් නායක සොරාට පෙන්නුවා. නායක සොරා මේ පුද්ගලයාගේ ශරීර ලක්ෂණ හොඳට පිරික්සා බැලුවා. ඔහු මෙහෙම කල්පනා කළා.
‘හප්පේ….! මහ භයානක පුද්ගලයෙක් නෙව. මේකා මව්ගේ තනෙත් කාලා, පියාගේ බෙල්ල ගලවලා ලේත් උරා බීලා යන්න පුළුවන් ජාතියේ අතිශයින්ම දරුණු සතෙක් නෙව. මේකා නම් අහලකට ගන්න සුදුසු සතෙක් නෙවෙයි’ කියලා ප්‍රතික්ෂේප කළා.
ඊට පස්සේ මේ පුද්ගලයා ඒ සොර කණ්ඩායමේ වෙන කෙනෙක් ගාවට ගියා. ඔහුගේ වළං, පිඟන් හේදුවා. රෙදි හේදුවා. ගෙවල් ශුද්ධ පවිත්‍ර කළා. ගරු සරු ඇතිව හිටියා. එතකොට ඔහු පැහැදුණා. පැහැදිලා සොර නායකයාට ගිහින් කිව්වා,
“අනේ නායකතුමනි, මෙයා මට හරිම හිතවත්. උපකාරයි. අපට කවදාවත් අනතුරක් කරයි කියලා මං නම් විශ්වාස කරන්නේ නෑ. අපට උපකාර කරන අදහසක් මිසක් හානි කරන අදහසක් මෙයා තුළ නැහැ…”
එහෙම කියලා අර නායකයාව කැමති කරවා ගත්තා. දැන් මොහු අර හොර කණ්ඩායමේම ජීවත් වෙනවා. දවසක් නගරවාසී මිනිසුන් හමුදාවේ සහාය අරගෙන සියලු සොරුන්ව අල්ල ගත්තා. ඇමතිවරු නඩු විසඳලා ඒ සියලු සොරුන්ව හිස ගසා මරන්න නියම කළා.
එහිදී ‘දැන් මේ සොරුන්ව මරන්නේ කවුද?’ කියන ප්රශ්නය මතුවුණා. ඒ වෙන කොට චෝරඝාතකයෙක් හිටියේ නෑ. ඇමතිවරු සොර නායකයා ඇමතුවා.
“එම්බල පුරුෂය, නුඹ මේ සියලු දෙනාම මරාපන්! නුඹට සම්මානයක් ලැබෙනවා…”
නමුත් ඒ සොර නායකයා කිසිසේත් කැමති වුණේ නෑ. ඒ සොරු හාරසිය අනූ නව දෙනාගෙන්ම වෙන වෙනම ඉල්ලා හිටියා, මරන්න කියලා. නමුත් කවුරුවත් කැමති වුණේ නෑ. ඔවුන්ගේ පිළේ අන්තිමට හිටියේ අර තම්බදාඨිකයයි. ඔහුගෙන් ඇහුවා,
“ඒයි…! මිනිහෝ… නුඹට පුළුවන්ද මොවුන් මරන්න? සම්මානයකුත් ලබාගන්න පුළුවන්.”
“හොඳයි ස්වාමීනී, මං සූදානම්” කියලා ඔහු කිව්වා.
ඉතින් ඒ තම්බදාඨිකයා අර හාරසිය අනූනව දෙනාගේම හිස ගසා දැම්මා. ඒ හේතුවෙන් ඔහුට නිදහස ලැබුණා. සම්මානත් ලැබුණා. මේ විදිහට හැම පැත්තෙන්ම අල්ලන් එන සොරුන්ව මරන්න නියම වුණේ මොහුටයි. දහස් ගණන් සොරුන්ව මැරුවා. ආණ්ඩුවේ රස්සාවක් හැටියට ‘චෝරඝාතක’ තනතුර ලබාගෙන මොහු අවුරුදු පනස් පහක් ඒ රස්සාව කළා.
මේ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් වයසට ගියා. මහළු වුණා. දැන් එක කඩු පහරින් කෙනෙකුගේ හිස ගසාදාන්න මොහුට අමාරුයි. ඇතැම් විට දෙතුන් පාර බෙල්ලට කොටන්න වෙනවා. එතකොට ඇමතිවරු මොහුව ඒ තනතුරෙන් ඉවත් කළා. වෙන කෙනෙක්ව පත් කළා. මොහු චෝරඝාතක රස්සාව කරද්දී හොඳ සළුපිළි හඳින්නට හෝ ගිතෙල් මුසු කිරිකැඳ බොන්නට හෝ සමන් මල් පළඳින්නට හෝ සුවඳ විලවුන් දරන්නට හෝ අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ඔහුට විශ්‍රාම ලැබුණු දවසේ ගඟට ගිහින් හොඳින් නාගත්තා. හොඳ සළුපිළි ඇන්දා. සමන් මල් මාලා පැළඳුවා. සුවඳ විලවුන් දැරුවා. ගිතෙල් මුසු කිරි කැඳ එකක් හැදෙව්වා.
ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමවත් සුවයෙන් නැඟී සිට ‘අද මා පිඬු සිඟා වඩින්නේ කොහාටද?’ කියලා දිවැසින් බලද්දී අර කිරිකැඳ එකක් පිළියෙල කරන තම්බදාඨිකව දැක්කා.
‘මේ පුද්ගලයා සෑහෙන පව් කරගෙන තියෙනවා. හැබැයි මොහුට පිනක් කරගන්න උදව් කරන්න ඕන’ කියා හිතලා උන්වහන්සේ තම්බදාඨිකයාගේ නිවස ඉදිරියට වැඩියා.
එතකොට ඔහු සාරිපුත්තයන් වහන්සේව දුටු පමණින්ම සිත පහදවාගෙන කල්පනා කළා, ‘මං බොහෝ කලක් කළේ චෝරඝාතක රස්සාවයි. බොහෝ මිනිස්සුන්ව මරාදැම්මා. දැන් මේ ගෙදර කිරිකැඳ හදපු වෙලාවේ තෙරුන් වහන්සේ නමක් වැඩම කරලා ඉන්නවා. මා විසිනුත් මේ ආර්යයන් වහන්සේට යමක් පූජා කරන්නයි වටින්නේ….’ කියලා සාරිපුත්තයන් වහන්සේව තම නිවසට වඩම්මවා ගත්තා. වඩාහිඳුවා ගත්තා. උන්වහන්සේගේ පාත්‍රය පිළිගෙන ගෙට ගෙනිච්චා. කිරිකැඳ පුරවා පූජා කළා.
සාරිපුත්තයන් වහන්සේ වළඳන තුරු පවන් සළන්නට ගත්තා. ඒ වෙලාවේ බොහෝ කාලයක් කිරි කැඳ නොබිව් නිසා ඔහුටත් කිරි කැඳ බොන්න ලොකු ආසාවක් ඇතිවුණා. එය දැනගත් සාරිපුත්තයන් වහන්සේ,
“එම්බා උපාසක, ඔබත් කිරිකැඳ ටිකක් බිව්වොත් නේද හොඳ…” කියා ඇසුවා. එතකොට ඔහු පවන් අත්ත වෙන කෙනෙකුට දුන්නා. ගෙට ගිහින් කිරිකැඳ බිව්වා. නැවත ඇවිදින් පවන් සළන්න පටන් ගත්තා. සාරිපුත්තයන් වහන්සේ අනුමෝදනා බණ දේශනාව ආරම්භ කළා. නමුත් අර පුද්ගලයාට එයට හිත යොමු කරගෙන ඉන්න අමාරු වුණා. ඔහුගේ සිත කලබල වුණා. විපිළිසර වුණා. අසහනයට පත්වුණා.
“උපාසකය, ඇයි මේ….? කලබල වෙලා…. අසහනයට පත්වෙලා… පීඩාවෙන් ඉන්නේ…”
“අනේ ස්වාමීනී, මං බොහෝ කලක් නපුරු වැඩ කරපු කෙනෙක්. බොහෝ මිනිසුන් මැරූ කෙනෙක්. මට ඒක මතක් වෙනවා. ධර්මයට සිත නඟා ගන්න අමාරුයි.”
දුර්ලභ මිනිසත් බවෙහි අගය දන්නා සාරිපුත්තයන් වහන්සේගේ සිතෙහි මොහු කෙරෙහි මහත් අනුකම්පාවක් ඇතිවුණා. කිසියම් උපායකින් මොහුගේ සිත තුළ කුසලයක් උපද්දවන්න ඕන කියලා කල්පනා කළා.
“ඉතින් උපාසකය…. ඔබ ගිහින් ඒ මිනිස්සුන්ව කැමැත්තෙන් මැරුවාද? එහෙම නැත්නම් රාජකාරියක් වශයෙන් ඔබට ලැබුණු දෙයක් කළාද?”
“අනේ ස්වාමීනී, මට නම් එක මිනිහෙකුවත් මරන්න ඕන කමක් තිබුණේ නෑ. රාජකාරියක් හැටියට ඒක මට පැවරුණා.”
“එහෙනම් උපාසකය, ඒක අමතක කරන්න. ඒ ගැන හිත හිත ඉන්න එපා! ඔබ ඔබේ ඕනෑවට කළා නෙවෙයි. රාජකාරියක අවශ්‍යතාවයටයි ඔබ එය කළේ… දැන් එය හිතෙන් අත්හරින්න. දැන් මේ කියන ධර්මයට සවන් දෙන්න.”
එතකොට තම්බදාඨිකගේ සිතට හරි සතුටක් ඇතිවුණා.
‘අනේ මං දිහා අනුකම්පාවෙන් බලන්න එක් කෙනෙක් හරි ඉන්න එක මොනතරම් දෙයක්ද! හැමෝම මං දිහා බැලුවේ යකෙක් දිහා බලනවා වගේ. නමුත් මුන්වහන්සේ සැදැහැවත් උපාසකයෙක් දිහා බලන විදිහටයි මං දිහා බලන්නේ. තථාගත ශ්‍රාවකයන් වහන්සේලා මොන තරම් උතුම්ද! මුන්වහන්සේට මෙතරම් සුන්දර සිතක් ලැබෙන්න ඇත්තේ මේ ධර්මය නිසාමයි. මාත් එහෙනම් අතීතයේ සිද්ධ වෙච්ච සෑම දෙයක්ම අමතක කරලා මේ ධර්මයමයි අහන්න ඕන’ කියලා හිතුවා.
“අනේ ස්වාමීනී, හරි… මං ඒ සෑම දෙයක්ම අමතක කරන්නම්. ඔබවහන්සේගේ කරුණාවන්තකම නිසා මගේ ඇඟේ ගින්නක් නිවුණා වගේ මහා සිසිලක් ඇතිවුණා…. මට දැන් හිත හදාගන්න පුළුවන්. අනේ ස්වාමීනී…. මං ආසයි ඒ සම්බුදු බණ පදයක් අහන්න.”
සාරිපුත්තයන් වහන්සේ සංසාරයේ භයානකකම ඔහුට පහදා දුන්නා. සසර පුරාවට ඉපදෙන මැරෙන ජීවිතවල ඇති අනතුර පෙන්වා දුන්නා. චතුරාර්ය සත්‍යය කියලා දුන්නා. මොහු සද්ධානුසාරී කෙනෙක් වුණා. සෝවාන් මාර්ගයට පැමිණුනා. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියා. පන්සිල් සමාදන් වුණා.
දැන් තම්බදාඨික උපාසකට හරි සතුටුයි. තෙරුන් වහන්සේ ආපසු වඩිද්දී උන්වහන්සේගේ පිටුපස්සෙන්ම මොහුත් ටික දුරක් ගියා. තෙරුන් වහන්සේ නොපෙනී යන තුරු වන්දනා කරගෙන බලා සිටියා. එවේලෙහි එක්තරා යක්ෂණියක් වැහුණු ගවදෙනක් මොහුගේ පිටුපස්සෙන් පැමිණ මොහුට ඇන්නා. එතනම මැරුණා. මොහු තුසිත දෙව්ලොව උපන්නා.
භික්ෂූන් වහන්සේලා අතර මොහු පිළිබඳව කථාවක් උපන්නා.
“අර අවාසනාවන්ත පුද්ගලයා ගැන තමුන්නාන්සේලා දන්නවාද? පනස් පස් අවුරුද්දක් දහස් ගණන් සොරු මර මර දරුණු ජීවිතයක් ගෙව්වා නෙව. උන්දෑ විශ්‍රාම ගත්තෙත් අදයි. සාරිපුත්තයන් වහන්සේට දානෙ ටිකක් පූජා කරගත්තෙත් අදයි. අදම මළා… හැබෑවට ඔහු කොහේ නම් උපදින්න ඇද්ද?”
මෙය සැළවූ බුදුරජාණන් වහන්සේ වදාළේ ඔහු තුසිත දෙව්ලොව උපන් බවයි. මෙතරම් මනුෂ්‍ය ඝාතන කරපු පුද්ගලයෙක් තුසිත දෙව්ලොව උපදින්න තරම් ඔහුගේ අකුසල් රටාව වෙනස් වෙන්න සුළු මොහොතකදී ඇසූ ධර්මයට පුළුවන් වීම ගැන භික්ෂූන් වහන්සේලා පුදුම වුණා.
“පින්වත් මහණෙනි, ඒක එහෙම තමයි. කල්‍යාණ මිත්‍ර සම්පත් ලැබීම යනු සුළුපටු දෙයක් නොවෙයි. කල්‍යාණ මිත්‍ර වූ සාරිපුත්තයන් ඇසුරු කළ ඒ සුළු මොහොතේදී මොහුට සද්ධර්ම ශ්‍රවණය ලැබුණා. එය යම් පමණකට හෝ තේරුම් ගන්න මොහුට වාසනාව තිබුණා.”
එතකොට ඇතැම් භික්ෂූන් වහන්සේලාට මේ ප්රශ්නය ඇතිවුණා.
“නමුත් සාරිපුත්තයන් වහන්සේ වදාළේ අනුමෝදනා බණක් නෙව. අනුමෝදනා බණටත් මෙතරම් බලයක් තිබෙනවාද? ඔහු කරපු අකුසල් මොනතරම්ද? එතකොට ඒ අකුසල් සියල්ල යට ගිහින් මේ අහපු බණ පදය මෙතරම් බලවත් වුණේ කොහොමද?”
අන්න ඒ මොහොතෙදී තමයි බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් මේ ගාථාරත්නය වදාළේ.
සහස්සම්පි චේ වාචා – අනත්ථපදසංහිතා
ඒකං අත්ථපදං සෙය්‍යෝ – යං සුත්වා උපසම්මතිදහසක් දේවල් කිව්වත් හැඩකොට – පලයක් නැහැ එහි අරුතක් නැතිවිට
යම් බණ පදයක් මැනැවින් ඇසුවිට – අකුසල් දුරු වී යයි නම් එම විට
යහපත ඇති කරනා ඒ විලසට – උතුම්ය එක බණ පදයත් එම විට
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කොච්චර වචන කතා කළත් වැඩක් නැහැ, එහි අරුතක් නැත්නම්. මේ ගත කරන ජීවිතයේදී අපි මොනතරම් දේවල් ගැන කතා බස් කරනවාද? මොනතරම් දේවල් කිය කියා කල් ගෙවනවාද? විහිලු තහලු කරනවාද? අනුන් කළ නොකළ දේ ගැන කිය කිය ඉන්නවාද? ඇත්තෙන්ම අපි හොයලා බැලුවොත් බොහෝ වචන වලින් උපද්දවා දෙන්නේ අකුසල් විතරයි.
දැන් බලන්න…. සාරිපුත්තයන් වහන්සේ නම් වූ මහා සත්පුරුෂ වූ කල්‍යාණමිත්‍රයන් වහන්සේ මොහොතක් ඇසුරු කළ අර පුද්ගලයා උදා කරගත් යහපත. අද එවැනි කලණමිතුරු උතුමෙක් ගැන සිත පහදවාගන්න එකත් කොතරම් දුර්ලභද? මෙලොව ගැන පමණක් කල්පනා කරන, පරලොව ගැන නොසිතන හිස් මිනිසුන් ගෙන් පිරුණු ලෝකයක කලණමිතුරන්ගේ ඇසුරේ ඇති වටිනාකම තේරුම් ගන්න අමාරුයි. ඉතින් අපිත් මේ ලෝකයේ ඇති හිස් වචනවල පැටලි පැටලී නොසිට යහපත උදාකරන එක බණ පදයක් හරි ඉගෙන ගෙන එය ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. එය තුළින්මයි යහපත උදාවන්නේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ