“අප්‍රමාදී වීමේ යහපත”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුද්ධ කාලයේදීත් අතිදක්ෂ ශිල්පීන් ඉඳලා තියෙනවා. එබඳු ශිල්පියෙක් එක්තරා රාජකුමාරයෙකුට මුණගැසුණා. මේ රාජකුමාරයාට කියන්නේ බෝධිරාජකුමාරයා කියලයි.

මේ කුමාරයා වාසය කළේ භග්ග කියන ජනපදයේ. ඉතින් මොහු ඉතාම ලස්සන මාළිගයක් කෙරෙව්වා. ඒකට නම තිබ්බා ‘කෝකනද’ කියලා. තටු විහිදා ගත් ඉතා ගාම්භීර ගුරුලෙක් වගෙයි ඒ මාළිගය ඈතට දිස් වුණේ.

දිනක් මේ රාජකුමාරයා තම ශිල්පියාත් සමඟ එළිමහනේ මාළිගාවේ සිරි නරඹමින් සිටියා.

“හැබෑට යහළුව…. නුඹ මෙවැනි තවත් මාළිගාවක් මීට පෙර කරලා තියෙනවාද?”

“දේවයන් වහන්ස, ඉස්සඉස්සෙල්ලාම මෙවැනි අපූරු දෙයක් කළාමයි. තවත් ඉතින් මෙවැනි එකක් කවුරු නම් කරන්නද?”

“ඇයි එහෙම කියන්නේ? වෙන කෙනෙකුට බැරිද?”

අනේ දේවයන් වහන්ස, වෙන කෙනෙකුට කරන්න වුණොත් ඒකත් මට තමයි කරන්න වෙන්නේ….”

එතකොට බෝධිරාජකුමාරයා හිනහවුණා. මේ වෙලාවේ එතන සංජීවකපුත්ත කියලා කුමාරයෙක් හිටියා. බෝධිරාජකුමාරයා පිළිතුරක් නොදී සිනහසුණ නිසා මොහු වැරදි විදිහට සිතුවා.

‘ම්…. අපේ කුමාරයා පිළිතුරක් නොදී සිනහසුණේ ඒ කතාවට අකමැතිව වෙන්නැති. කොහොමත් මෙවැනි අසිරිමත් මාළිගාවක් රජෙකුට කළොත් ඒ කරපු නිර්මාණ ශිල්පියාට යහතින් ඉන්න ලැබෙන්නෙ නැහැ නෙව. එක්කො මරල දායි. එහෙම නැත්නම් අතපය කපා දමාවි. එහෙමත් නැත්නම් ඇස් අන්ධ කර දමාවි. එහෙමනෙ රජවරු කරන්නෙ.’

ඉතින් දිනක් සංජීවකපුත්ත කුමාරයා අර වඩුවා මුණගැහෙන්න ගියා.

“එම්බා මිත්‍රය, මාළිගාවේ වැඩ තව තියෙනවාද? ඉවරද?”

“දේවයන් වහන්ස, මාළිගාවේ වැඩ ඉවරයි.”

“එහෙමනම් මං නුඹට මේ අනතුරු ඇඟවීමක් කරන්නේ. මෙවැනි අද්භූත නිර්මාණ කරපු ශිල්පීන්ට වෙච්ච දේ නුඹ අහලා නැද්ද? එක්කො මැරුම් කනවා. එක්කො අතපය නැති කරගන්නවා. එක්කො අන්ධ වෙනවා. නුඹත් කැමති ඒ වගේ ඉරණමක් ඇති කර ගන්නද?”

“අනේ දේවයන් වහන්ස, අපේ බෝධිරාජකුමාරයන් වහන්සේත් එහෙම කරාවිද? මං දන්නා තරමින් නම් උන්නාන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ප්‍රාණඝාත කරන්නේ නැහැ නෙව.”

“මිත්‍රය, නුඹගේ කතාව ඇත්ත. නමුත් රජවරුන්ට ගතු කියන්න ඕන තරම් පිරිස ඉන්නවා. ඔවුන් වුණත් කිසියම් අනතුරකට මැදිහත් වෙන්න පුළුවන්. ඒ නිසා මට කියන්න තියෙන්නේ මෙතනින් බේරිලා පලයන් කියන එකයි.”

එතකොට මේ ශිල්පියා හිතන්න පටන් ගත්තා.

‘ඇත්ත තමයි… හැමෝම තෙරුවන් සරණ ගිහින් නෑනෙ. වෙන කෙනෙකුගෙන් වුණත් අනතුරක් වෙන්න පුළුවන්නේ…. හොඳම වැඬේ තමයි මෙතනින් හිමීට අයින් වෙන එක.’

දිනක් මේ ශිල්පියා බෝධිරාජකුමාරයාව මුණ ගැහෙන්න ගියා.

“මොකද යහළුවා…? තවම මාළිගාවේ වැඩ ඉවර නැද්ද?”

“අනේ නෑ ස්වාමීනී…. සෑහෙන්න වැඩ ඉතුරු වෙලා තියෙනවා.”

“මොනවද තවත් ඉතුරු වෙලා තියෙන්නේ?”

“දේවයන් වහන්ස, ලී කැටයම් තමයි තවත් ඉතුරු වෙලා තියෙන්නේ. මට ඒ සඳහා වේලිච්ච ලී අවශ්‍යයි. ඒ වගේම දේවයන් වහන්ස, දැන් මං කරන්න හදන්නේ සියුම් කැටයම් නිසා මං ඉන්න ප්‍රදේශයට කිසිවෙකුට එන්න දෙන්න එපා. සියුම් කැටයම් කරද්දී කතාවකට වැටුණොත් වැඬේ වරදිනවා. ඒ නිසා මං හිතුවා බිරිඳ ලවාම ආහාර ගෙන්න ගන්න ඕන කියලා. මට මේකට දේවයන් වහන්සේගෙන් අවසර ලැබෙනවාද?”

ඉතින් බෝධිරාජකුමාරයා ඒ සියල්ලට පහසුකම් සැළසුවා. ඇමතිවරු ඇවිදින් රාජකුමාරයාට ගතු කිව්වා.

“දේවයන් වහන්ස, ඔය ශිල්පියා ඇතුළේම ඉඳලා වැඩකළාට කමක් නැහැ. පිට තැනකට යන්න දෙන්න එපා. අපි බත්වැටුප් දීලා ආරක්ෂා කරගනිමු. එතකොට මෙවැනි නිර්මාණයක් ආයෙ පිට තැනක කරන්න වෙන්නෙ නෑ.”

මෙහෙම කියලා ඇමතිවරු ඔහු සිටිය වැඩබිම වටේට ආරක්ෂාව දැම්මා. ශිල්පියා බිරිඳට රහසේ මෙහෙම කිව්වා.

“සොඳුරී, කාටවත්ම කියන්න එපා. විකුණගන්න තියෙන හැම දෙයක්ම විකුණලා රන් රිදී එකතු කරපන්.”

ඉතින් බිරිඳත් හෙමින් හෙමින් බඩු මුට්ටු විකුණමින් රන් රිදී ගෙනැවිත් ශිල්පියාට දුන්නා. ශිල්පියා රහසේම ගුරුළු යානයක් හැදුවා.

“සොඳුරී, අද ළමයිව එක්කගෙන එන්න. අපට තවදුරටත් මෙහෙ ඉන්න ඕන නෑ.”

ඉතින් එදා අඹුදරුවන් සමඟ ගුරුළු යානයට රිංගාගත් මේ ශිල්පියා එම යානයෙන් අහසට පැන නැඟී පලා ගියා. ඇමතිවරු, මිනිසුන් කෑ ගසමින් බලාසිටිද්දී හිමාල වනය බලා පිටත් වුණා. එහි ලී වාහනයකින් පැමිණි මේ අමුත්තා තම ශිල්පීය දක්ෂකම් නිසා අලුතින්ම නගරයක් කරවලා එහි නායකයා වුණා. ඒ නිසා ඔහුට නම වැටුණා ‘කට්ඨවාහන රජු’ කියලා. ඒ කියන්නේ ලී වාහනයෙන් ආපු රජ්ජුරුවො කියන එකයි.

බෝධිරාජකුමාරයා කෝකනද මාළිගය පිරික්සා බැලුවා. කිසි අඩුපාඩුවක් නෑ. අංගසම්පූර්ණයි. රජතුමා කල්පනා කළා දැන් එහෙනම් මං මේ මාළිගයේ පදිංචි වෙන්න ඕන. ඊට කලින් භාග්‍යවතුන් වහන්සේව වඩම්මවන්න ඕන කියලා.

ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ භග්ග ජනපදයේ සුංසුමාරගිරියේ භේසකලා වනයේ. ඉතින් බෝධිරාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට තම
මාළිගයට වඩින්න කියලා ඇරයුම් කළා. සුවඳ වර්ග හතරකින් මාළිගය සැරසුවා. පහත මාළයේ සිට උඩු මහල දක්වා පඩිපෙළ මත සුදුපිරුවටත් එලුවා. භාග්‍යවතුන් වහන්සේ මාළිගයට වැඩම කරලා පඩිපෙල ළඟ නැවතුණා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඇතුළට වඩිනා සේක්වා! මේ පාවාඩ මතින් වඩිනා සේක්වා!” කියලා බෝධිරාජකුමාරයා තුන් වරක්ම කිව්වා. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් දිහා බැලුවා. එතකොට ආනන්ද තෙරුන් වහන්සේ රාජකුමාරයාට මෙහෙම කිව්වා.

“පින්වත් රාජකුමාරය, ඔය පාවාඩය ඉවත් කරන්න. භාග්‍යවතුන් වහන්සේ පාවාඩය මතින් නොවඩිනා සේක. තථාගතයන් වහන්සේ පශ්චිම ජනතාව දෙස අනුකම්පාවෙන් බලනා සේක.”

එතකොට රාජකුමාරයා පාවාඩය ඉවත් කළා. භාග්‍යවතුන් වහන්සේව වඩම්මා ප්‍රණීත දානමානාදියෙන් උපස්ථාන කළා. වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේට උපකාරක කෙනෙක්. තුන් වතාවක්ම තෙරුවන් සරණ ගිය කෙනෙක්. මා ඉස්සෙල්ලාම තෙරුවන් සරණ ගියේ මව්කුසේ සිටිද්දිමයි. ඊට පස්සේ තරුණ දරුවෙක්ව සිටිද්දිත් තෙරුවන් සරණ ගියා. භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ ඇහුවට පස්සෙ අවබෝධයෙන්මත් තෙරුවන් සරණ ගියා. ඉතින් ස්වාමීනී, මං ඒ පාඩාඩය එලුවේ අධිෂ්ඨානයක් ඇති කරගෙනයි. ඒ කියන්නේ මට දුවෙක් හෝ පුතෙක් හෝ ලැබෙනවා නම් අපගේ ශාස්තෘන් වහන්සේ මේ මතින් වඩිත්වා කියලයි. නමුත් ස්වාමීනී, දැන් සිදුවූ දෙයින් පෙනෙන්නේ අපට දරු සම්පත් උරුම නැද්ද?”

“එසේය කුමාරය.”

“ස්වාමීනී, එයට හේතුව කුමක්ද?”

“පින්වත් කුමාරය, පෙර ආත්ම භාවයක බිරිඳත් සමඟ ප්‍රමාදයට පත්වෙලා වාසය කළා නෙව.”

“අනේ ස්වාමීනී, ඒ කොයි කාලෙද?”

“පින්වත් කුමාරය, අතීතයේ නොයෙක් සිය ගණන් භික්ෂූන් විශාල නැවක නැගලා මුහුදු ගමනක් ගියා. සාගරය මැදදී නැව කැඩුණා. විනාශ වුණා. එතකොට එක්තරා අඹුසැමි දෙදෙනෙක් නැවෙන් කැඩුණු ලෑල්ලකට ගොඩවෙලා කුඩා දිවයිනකට පාවෙලා ආවා. බේරුණේ ඒ දෙන්නා විතරයි. අනිත් හැමෝම මළා. ඒ දූපතේ මිනිස් වාසයක් තිබුණේ නෑ. කුරුල්ලන්ගේ දූපතක්. මේ දෙන්නාට කන්න දෙයක් තිබුණෙ නැති නිසා කුරුළු බිත්තර ගිනි අඟුරින් තම්බා ආහාරයට ගත්තා. බිත්තර නැති දිනවලදී කුරුළු පැටවුන්වත් ආහාරයට ගත්තා.

මේ දෙදෙනා කරදරේ වැටුණෙ තරුණ වයසෙදී. ඒ අනතුරට මුහුණදීලා ඔය විදිහට ජීවත් වුණා. මධ්‍යම වයසෙදීවත් ඒ වරදෙන් නිදහස් වෙන්න කල්පනා කළේ නෑ.

අවසාන කාලයේදීවත් ඒ වරදෙන් නිදහස් වෙන්න කල්පනා කළේ නෑ. දෙන්නාගෙන් එක්කෙනෙක් වත් මේකෙන් බේරෙන්න කල්පනා කළේ නෑ.

ඉතින් පින්වත් කුමාරය, එදා ඒ ප්‍රශ්නයට මුහුණ දුන්නේ ඔය දෙන්නා. එදා ප්‍රමාදයට පත්වුණා. අඩුගණනේ තරුණ, මැදියම්, මහළු කියන තුන් අවස්ථාවෙන් එක අවස්ථාවකදීවත් අප්‍රමාදී වුණා නම් දුවෙක් හරි පුතෙක් හරි ලබන්න තිබුණා. ඒ නිසා කුමාරය, මෙයින් අප ඉගෙන ගත යුත්තේ තමන්ට තමන්ව ප්‍රිය නම් තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවකදීවත් අකුසලයට ඉඩ නොදී තමාව රැක ගත යුතු බවයි.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මධුර වූ ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළා.

අත්තානං චේ පියං ජඤ්ඤා – රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං – පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ

ඉදින් තමා හට තමන්ව ප්‍රිය නම් – තමන්ව රැකගත යුතුමයි මැනැවින්
බාල තරුණ හා මහළු වයස යන – තුන් කාලෙන් එක් කාලයකදි හෝ
අකුසල් දුරු කොට කුසල් වඩාගෙන – නුවණැත්තා රැකගන්නෙ තමාවයි


පින්වතුනේ, පින්වත් දරුවනේ, හරි පුදුමයි නේද? සසර පුරා අප කළ දේ පසුපස්සෙන් එන විදිහ ගැන අපට නම් කිසිම තේරුමක් නැහැ. අදට වුණත් දරුවන් නැති දෙමව්පියන් කොතරම් නම් ඉන්නවාද? වෙනත් දෙමව්පියන් දරු සුරතල් බලන අයුරු දැක මොනතරම් සුසුම් හෙළනවාද? දරුවන් ලබාගැනීම උදෙසා මොන තරම් වියදම් කරනවාද? එහෙම කළත් සමහරුන්ට දරුවන් ලැබෙන්නෙ නෑ.

මේ දෙදෙනා කුරුළු දූපතට ගිහින් කුරුළු බිත්තර කමින් ජීවත් වූ යුගය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රමාදයට පත්වීම කියලයි. ඒවා අත්හැර වෙන ක්‍රමයකින් ජීවත් වීමට කල්පනා නොකිරීම ගැන වදාළේ අප්‍රමාදී නොවීම කියලයි. එහෙම නම් යම්කිසි කෙනෙක් පංච ශීලය ආරක්ෂා කරනවා නම්, පොහොය උපෝසථය ආරක්ෂා කරනවා නම්, පැවිදි සාමණේර සිල් ආරක්ෂා කරනවා නම්, පැවිදි උපසම්පදා සිල් ආරක්ෂා කරනවා නම් ඒ සියලු දෙනා අයිති වන්නේ අප්‍රමාදීව වාසය කරන නුවණැත්තන්ගේ ගණයටයි. එනිසා අපිත් තුන් කාලයෙන් එක් කාලයක හෝ අප්‍රමාදීවන නුවණැත්තෝ බවට පත්වෙමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ