1. තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ රහතන් වහන්සේලා ඈත පිටිසර රටවලට පිටත් කොට යවන කාලයේ දී අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේට උපසම්පදාව ලබා දොළොස් අවුරුද්දයි. උන්වහන්සේගේ උපාධ්‍යාය වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසිනුත් උතුම් සංඝ රත්නය විසිනුත් උන්වහන්සේට නියම කරනු ලැබුවේ ලංකාවට වඩින්ට යි.

2. එතකොට උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි ලංකාද්වීපවාසීන් පහදවනු පිණිස ඊට සුදුසු කාලය බලාපොරොත්තුවෙන් සිටියා. “ලංකාවේ දැන් සිටින මුටසීව රජ්ජුරුවෝ ඉතා මහලුයි නොවැ. ඔහුගේ පුත්‍ර වූ දේවානම්පියතිස්ස කුමරු ඊළඟට රජ බවට පත්වේවා!” යි සිතා වදාළා.

3. ලංකා රාජ්‍යයේ අලුත් රජෙක් බිහිවෙන කාලය අතරතුර තමන් වහන්සේගේ නෑදෑයන් දකින්ට අදහස් කළා. ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේත් සංඝ රත්නයත් වැඳ අවසර ගෙන සිය පියාණන් වූ ධර්මාශෝකාධිරාජයාටත් දැනුම් දුන්නා.

4. කලින් සඳහන් කළ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, ෂඞ් අභිඤ්ඤාලාභී මහා ඉර්ධිමත් සුමන නමැති සාමණේරයන් වහන්සේත් කැටුව,

5. ඤාතීන්ට උපකාරී වන්ට රජගහ නුවර හරහා දක්ඛිණාගිරි ජනපදයට වැඩියා. ඉල් මාසයේ සිට බක් මාසය දක්වා පා ගමනින් වැඩි ඒ ගමනට හයමාසයක් ගත වුනා.

6. අනුක්‍රමයෙන් තමන් වහන්සේගේ මෑණියන් වූ දේවී කුමාරියගේ නගරය වන වේදිසගිරියට වැඩම කළා. මව් දේවිය තමන්ගේ ප්‍රිය පුත්‍රයන් වහන්සේව දැකලා,

7. සඟ පිරිස සහිත උන්වහන්සේට ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් වළඳවලා තමන් විසින් ම කරවන ලද සුන්දර වූ වේදිසගිරි විහාරය පිහිටි පර්වතයට නැංගෙව්වා.

8. එකල තමන්ගේ පියරජුන් වන බින්දුසාර මහරජ්ජුරුවන් විසින් ධර්මාශෝක කුමාරයාට යුවරජ තනතුරු දීලා අවන්ති රට භාර දුන්නා. ඉතින් අශෝක යුවරජු අවන්ති රටට යන ගමන් එහි නගරය වන උජ්ජේනි නුවරට යන්ට කලින්,

9. වේදිසගිරි නගරයේ දේව නම් සිටුවරයාගේ මාළිගයේ නවාතැන් ගත්තා. ඒ සිටුතුමාට දේවී කුමාරිය නම් ඉතා ශෝභාසම්පන්න දියණියක් සිටියා.

10. දේවී කුමරිය දුටු අශෝක යුවරජුට ඈ පිළිබඳ සිතක් ඇතිවුනා. තම සිතෙහි හට ගත් කරුණ සිටුතුමාට දැනුම් දුන්විට ඔවුන් තම දියණිය අශෝක යුවරාජ කුමාරයාට සරණපාවා දුන්නා. අශෝක කුමරු නිසා දේවී කුමාරියගේ කුසින් උදේනි නුවරදී ඉතා සොඳුරු වූ මිහිඳු කුමාරයා උපන්නා.

11. පුතු ලැබී වසර දෙකක් ගත වූ විට දේවී කුමරියට සංඝමිත්තා නමින් දියණියකුත් ලැබුනා. අශෝක කුමරු පාටලීපුත්‍රයේ රජකමට පත් වෙද්දී දේවී කුමාරිය තම දරුවන් දෙදෙනා පාටලීපුත්‍රයේ දරුවන්ගේ පියාණන් ළඟට පිටත් කෙරෙව්වා. ඈ දිගට ම වේදිසා නගරයේ සිටු මැදුරේ ම වාසය කළා.

12. අනාගතයේ සිදුවන දේ පිළිබඳ සුදුසු කාලය දන්නා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වේදිසගිරි විහාරයේ වැඩ හිඳ මේ විදිහට සිතින් අධිෂ්ඨාන කොට වදාළා. “මාගේ පිය රජ්ජුරුවන්ගේ මෙහෙය වීමෙන් සිදු කෙරෙන දෙවන අභිෂේකෝත්සවය,

13. ඒ දේවානම්පියතිස්ස මහරජ්ජුරුවෝ අනුභව කරත්වා! පියරජුන් විසින් යවන දූතයන්ගෙන් තුණුරුවන්ගේ ගුණ අසා දැන ගනිත්වා!

14. ඒ දෙවනපෑතිස් රජු ලබන පොසොන් පොහෝ දිනයේ මිස්සක නමැති පර්වතයට නගීවා! ඒ දවසේ ම අපි උත්තම ලංකාද්වීපයට යන්ට ඕනෑ” කියලා අධිෂ්ඨාන කළා.

15. එතකොට මහාඉන්ද්‍ර නැමැති සක් දෙව්රජුන් අපගේ උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණියා. “සම්බුදු සසුන කෙරෙහි පහදවන්ට ලංකාවට වඩින්ට ස්වාමීනී, අපගේ සම්බුදුරජාණන් වහන්සේත් ලංකාවෙහි බුදු සසුන ඔබවහන්සේ විසින් පිහිටුවන බවට පිරිනිවන් පානා අවස්ථාවේදී අපට වදාළා.

16. අපිත් ලක්දිව බුදු සසුනට පැහැදීම සම්බන්ධයෙන් ඔබවහන්සේලාට උපකාරී වෙන්නම්” යනුවෙන් කියා සිටියා. ඒ වගේ ම මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ සහෝදරියගේ දුවට භණ්ඩුක නමින් පුත් කුමාරයෙක් සිටියා.

17. මිහිඳු මහරහතන් වහන්සේ තම මෑණියන් වූ දේවී කුමාරියට වදාළ ධර්මයට සවන් දීමෙන් භණ්ඩුක කුමාරයා අනාගාමී ඵලයට පත්ව අපගේ මහරහතන් වහන්සේ ළඟම වාසය කළා.

18. මිහිඳු මහරහතන් වහන්සේ වේදිසගිරි විහාරයේ මාසයක් වාසය කළා. පොසොන් පුර පසළොස්වක පොහෝ දවසක අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තම ශිෂ්‍ය භික්ෂූන් වන රහතන් වහන්සේලා සතර නමත්, සුමන නැමැති සාමණේර රහතන් වහන්සේත් යන සඟපිරිසත් කැටුව අනාගාමී උපාසකයෙක් වන භණ්ඩුක යන

19. ගිහි කෙනාත් ගමනට කැඳවා ගත්තේ තමන් මනුෂ්‍යයන් බව පෙන්වා දෙන්ට යි. ඉතින් ඤාතීන් කෙරෙහි බැඳීම් නැති ඒ මහා ඉර්ධිමත් මහින්ද මහරහතන් වහන්සේ වේදිසගිරි විහාරයෙන් අහසට පැන නැංගා.

20. ඒ සියලු පිරිවර සමගින් අපගේ ලංකාද්වීපයට වැඩම කොට රම්‍ය වූ මිස්සක පර්වතයෙහි ඉතා සිත්කළු වූ උතුම් වූ අම්බස්ථල ගල්කුළ මත වැඩ සිටි සේක.

21. ලංකාව කෙරෙහි හිතානුකම්පී වූ අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් පිරිනිවන් පාන අවස්ථාවේ යහන මත සැතපී සිට ලංකාදීප ප්‍රසාදක ගුණයෙන් යුතු මිහිඳු මහරහතන් වහන්සේ ගැන වදාළා. ලංකාවට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවැසි දෙවියන්ගෙන් පිදුම් ලබමින් ලංකාවේ යහපත උදෙසා එහි වැඩ වදාළා. මෙය අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය තිස් හයවෙනි වර්ෂයයි.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම නම් වූ දහතුන්වෙනි පරිච්ඡේදය යි.