1. අපගේ ඒ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ එදා පොසොන් පොහෝ දා අනුරාධපුර නගරවැසියන්ට ජලක්‍රීඩා උත්සව කරන්ට නියම කළා. එසේ නියම කොට තමන් මුව දඩයමට ගියා.

2. හතළිස් දහසක් මිනිසුන් පිරිවරාගෙන පා ගමනින් ම දුවගෙන යද්දී මිස්සක පර්වතයට ගියා.

3. එතකොට ඒ පර්වතයෙහි අධිගෘහිත දෙවියෙක් රහතන් වහන්සේලාව රජ්ජුරුවන්ට පෙන්වන්ට ඕනෑ නිසා ගෝණෙකුගේ වේශයෙක් මවාගෙන තණ පඳුරක් කමින් සිටින ආකාරයක් පෙන්නුම් කළා.

4. ගොදුරු කන නිසා වටපිට බලන්ට ප්‍රමාද වී සිටින සතාට ඊතලයෙන් විදින එක සුදුසු නෑ කියා සිතූ අපගේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ දුන්නේ ලනුව ගස්සලා ශබ්ද කළා. ගෝණා පර්වතය පැත්තට දිව්වා.

5. රජ්ජුරුවෝ ගෝණා පස්සෙන් ලුහුබැන්දා. එතකොට ගෝණා රහතන් වහන්සේලා වැඩ සිටි තැනට දිව්වා. රජ්ජුරුවන්ට අපගේ රහතන් වහන්සේලාව දකින්ට ලැබුනු ගමන් ගෝණ වෙස් ගෙන සිටි ඒ දෙවියා නොපෙනී ගියා.

6. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සිතුවේ බොහෝ දෙනෙක්ව එක්වරම දකින්ට ලැබුනොත් රජ්ජුරුවෝ බොහෝ භයට පත්වේවි කියලයි. ඒ නිසා තමන් වහන්සේව පමණක් පෙනෙන්ට සැලැස්සුවා. රජ්ජුරුවෝ අපගේ රහතන් වහන්සේව දැකලා,

7. හොඳටෝ ම භය වුනා. අප රහතන් වහන්සේ ‘තිස්සයෙනි, එන්න’ කියා වදාළා. ‘තිස්සයෙනි’ කියා රජ්ජුරුවන්ගේ නමින් ම අමතා කතා කළ නිසා රජ්ජුරුවෝ සිතුවේ යකෙක් ම කියලා.

8. “මහරජ්ජුරුවෙනි, අපි ශ්‍රමණයෝ. ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන්. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ම යි දඹදිව සිට මෙහි ආවේ” කියලා.

9. අපගේ මහරහතන් වහන්සේ මෙය වදාළා. එය ඇසූ රජ්ජුරුවන්ගේ භය නැතිව ගියා. තම මිත්‍ර ධර්මාශෝක නරේන්ද්‍රයන් එවූ හසුනෙහි තිබූ කරුණ මතක් වෙලා ශ්‍රමණයෝ ම ය කියලා නිශ්චයකට පැමිණියා.

10. ඔසොවාගෙන සිටිය දුනු ඊතල පසෙකට දැම්මා. අපගේ මිහිඳු මහ ඍෂීන් වහන්සේ වෙත පැමිණියා. මහරහතන් වහන්සේ සමඟ සතුටු කතාබහ කොට උන්වහන්සේ ළඟින් වාඩි වුනා.

11. එතකොට රජ්ජුරුවන්ගේ මිනිස්සු ඇවිත් වටේට පිරිවරා ගත්තා. ඒ අවස්ථාවේ මහරහතන් වහන්සේ තමන් සමග පැමිණි ඉතිරි සය දෙනා පෙනෙන්ට සැලැස්සුවා.

12. ඒ පිරිස දුටු රජ්ජුරුවෝ ‘මේ ඇත්තෝ ආවේ කවද්ද?’ කියලා ඇසුවා. ‘මාත් සමඟයි මේ පිරිස ආවේ’ කියා අපගේ මහරහතන් වහන්සේ වදාළා. එතකොට රජ්ජුරුවෝ නැවතත්,

13. ‘මේ විදිහේ තවත් යතිවරයන් වහන්සේලා දඹදිව ඉන්නවාද?’ කියලා ඇහැව්වා. ‘රජ්ජුරුවෙනි, දඹදිව කසාවත් පෙරවූ මෙබඳු ශ්‍රමණයන්ගෙන් බබලනවා. එහි,

14. ත්‍රිවිද්‍යා ලැබූ අය, ඉර්ධිබල ලැබූ අය, අනුන්ගේ සිත් දන්නා අය, දිවකනින් අසන්ට පුළුවන් අය, රහතන් වහන්සේලා ආදී බුදුරජාණන් වහන්සේගේ බොහෝ ශ්‍රාවකයන් වැඩ ඉන්නවා’ කියලා පහදලා දුන්නා.

15. ‘එතකොට ඔබවහන්සේලා මොකෙන්ද මෙහි වැඩියේ?’ කියලා ඇසුවා. ‘අප ගොඩබිමෙන් ආවෙත් නෑ. ජලයෙන් ආවෙත් නෑ’ කියලා අප මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට ‘එහෙම නම් මුන්වහන්සේලා අහසින් වැඩලා තියෙන්නෙ’ කියලා රජ්ජුරුවෝ තේරුම් ගත්තා.

16. අපගේ මහාප්‍රාඥ වූ මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් රජ්ජුරුවන්ගේ ඤාණවන්ත භාවය විමසන්ට ඔහුගෙන් ප්‍රශ්න අසා වදාළා. ඒ ඇසූ ඇසූ සෑම ප්‍රශ්නයට ම රජ්ජුරුවෝ පිළිතුරු දුන්නා.

17. “රජ්ජුරුවෙනි, මේ වෘක්ෂයේ නම මොකක්ද?” “මේ වෘක්ෂය අඹ නම් වෙයි” “මේ අඹ රුක හැර තව අඹ ගස් තියෙනවාද?” “තව බොහෝ අඹ ගස් තියෙනවා.”

18. “මේ අඹ ගසත් හැර, ඒ අඹ ගසුත් හැර වෙනත් වෘක්ෂයෝ තියෙනවාද?” “බොහෝ වෘක්ෂයන් තියෙනවා ස්වාමීනී, හැබැයි ඒවා අඹ නම් නොවේ.”

19. “ඒ අඹ ගසුත්, අඹ නොවන ගසුත් අත්හල විට වෙනත් ගස් තියෙනවාද?” “ඇයි ස්වාමීනී, මේ අඹ රුක!” රජ්ජුරුවෙනි, තෙපි නුවණැත්තෙක් නොවැ.”

20. “රජ්ජුරුවෙනි, තොපට නෑදෑයෝ ඉන්නවාද?” “ස්වාමීනී, බොහෝ දෙනෙක් ඉන්නවා” “එතකොට රජ්ජුරුවෙනි, නෑදෑ නොවන අයත් ඉන්නවාද?” “නෑදෑයන් නොවන අයත් බොහෝ ඉන්නවා.”

21. “නෑදෑයෝත්, නෑයින් නොවන ඒ උදවියත් අත්හළ විට තව කවුරුවත් ඉන්නවාද?” “ස්වාමීනී, මම ඉන්නවා නොවැ” “ඉතා හොඳයි, රජ්ජුරුවෙනි, තෙපි නුවණැතියෙක්.”

22. අපේ මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවෝ නුවණැතියෙක් බව වටහාගෙන, රජ්ජුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ වදාළ චූළ හත්ථිපදෝපම සූත්‍රය මුල්කොට ධර්ම දේශනාව වදාළා.

23. ඒ ධර්මදේශනාව අවසන් වූ විට ඒ සතළිස් දහසක් වූ පිරිවර මිනිසුන් සමඟ රජ්ජුරුවෝ තෙරුවන් සරණෙහි පිහිටියා.

24. ඒ අවස්ථාවේ සේවකයෝ සවස් යාමයෙහි වැළඳිය යුතු රාජභෝජන පිළියෙල කරගෙන රජ්ජුරුවන් වෙත ගෙනාවා. චූළ හත්ථිපදෝපම සූත්‍රයෙහි සඳහන් පිරිදි භික්ෂූන් වහන්සේලා විකාල භෝජනය නොවළඳන බව ඇසූ හෙයින්, මුන්වහන්සේලා මේ වෙලාවට නොවළඳින බව රජ්ජුරුවෝ දන්නා නමුත්,

25. ඇසීම යුතුකමක් ය කියා සිතා ඒ රහත් ඉර්ෂීන් වහන්සේලාගෙන් දැන් බත් වළඳින සේක් දැයි ඇසුවා. ‘දැන් අප බත් වළඳින වේලාව නොවේය කියා අපගේ මහරහතන් වහන්සේ වදාළා. එතකොට රජ්ජුරුවෝ දන් වැළඳීමට කැප වේලාව ගැන උන්වහන්සේගෙන් විස්තර ඇසුවා.

26. දන් වැළඳීමට කැප වූ කාලය වදාළ විට ‘එහෙනම් ස්වාමීනී, අපි නගරයට යමු නේද?’ කියා ඇසුවා. ‘මහරජ්ජුරුවෙනි, ඔබ යනු මැනවි. අපි මෙහි වාසය කරන්නම්.’

27. ‘එහෙමනම් මේ කුමාරයා අපත් සමග යන්ට පැමිණේවා!’ “රජ්ජුරුවෙනි, මේ කුමාරයා බුද්ධ ශාසනය ගැන හොඳාකාරව දන්නවා. එහි ප්‍රතිඵල ලබා සිටිනා කෙනෙක්.

28. පැවිදි වීමේ අපේක්ෂාවෙනුයි අප ළඟ වාසය කරන්නේ. අපි දැන් මොහු පැවිදි කරන්ටයි යන්නේ. එනිසා රජ්ජුරුවෙනි, ඔබතුමා යන්ට.”

29. “එසේ නම් ස්වාමීනී, හෙට උදෙන් රථය එවන්නම්. ඔය සිටින නුඹවහන්සේලා ඒ රථයෙන් නගරයට වඩිනු මැනව” කියා රජ්ජුරුවෝ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට වන්දනා කොට භණ්ඩුක කුමාරයාව පසෙකට කැඳෙව්වා.

30. මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ විස්තර ඇසුවා. එතකොට භණ්ඩුක කුමාරයා සියලු විස්තර රජ්ජුරුවන්ට කිව්වා. ඒ විස්තරවලින් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් සමඟ ඇති සම්බන්ධය ආදිය දැනගෙන ජනයාගේ යහපත පිණිස තව තවත් කටයුතු කළ හැකි බවත් දැන අතිශයින්ම සතුටට පත්වුනා. මෙය මට මහත් ලාභයක් ය කියා කල්පනා කළා.

31. භණ්ඩුක කුමාරයාගේ තිබුනු ගිහියෙකුගේ සලකුණු නිසා සැක සංකා නැතිව සිටි රජ්ජුරුවෝ මේ අය මනුෂ්‍යයන් බව තේරුම් ගත්තා. අපි මේ කුමාරයාව පැවිදි කරන්ට ඕනෑ කියලා,

32. ඒ අවස්ථාවේදී ම මහරහතන් වහන්සේ ඒ ගම් සීමාවේ දී ඒ සඟ පිරිස අතර දී ම භණ්ඩුක කුමාරයාට පැවිද්දත් උපසම්පදාවත් ලබාදුන්නා.

33. පැවිදි වූ සැණින් ආයුෂ්මත් භණ්ඩුකයන් වහන්සේ අර්හත්වයට පත්වුනා. එතකොට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන රහතන් සාමණේරයන් වහන්සේ අමතා වදාළා.

34. ‘සුමනයෙනි, දැන් බණ අසන්ට කාලයයි. එය හඬ නගා දැනුම් දෙව’ ‘ස්වාමීනී, කොපමණ දුරක් දක්වා හඬ නගා අස්සවන්ට ද?’ කියා ඇසූ විට,

35. ‘මුළු තම්බපණ්ණියට ම ඇසෙන්ට’ යි අප මිහිඳු මහරහතන් වහන්සේ වදාළ විට සුමන සාමණේරයන් වහන්සේ ඉර්ධි බලයෙන් මුළු ලංකාවට ඇසෙන පරිදි හඬ නගා ධර්ම ශ්‍රවණ කාලය යි’ කියලා දැනුම් දුන්නා.

36. බටහිර පැත්තේ නාග පොකුණ අසල වාඩි වී බොජුන් වළඳමින් සිටි දෙවනපෑතිස් රජ්ජුරුවන්ට සුමන සාමණේරයන් ඉර්ධියෙන් කළ ඝෝෂාව ඇසිලා අපගේ මහරහතන් වහන්සේ ළඟට ඇමතියන් යැව්වා.

37. ඔවුන් ගිහින් ‘මොකුත් කරදරයක් වත් දැයි’ ඇසුවා. කිසි උපද්‍රවයක් නැති බවත් සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වචනයන් අස්සවන්ට කාලය බව හඬ නගා දෙවියන්ට දැනුම් දීමක් කළ බවත් අප මහරහතන් වහන්සේගෙන් පිළිතුරු ලැබුනා.

38. සාමණේරයන් වහන්සේගේ හඬ නගා දැනුම් දීම ඇසූ භූමාටු දෙවිවරුන් එය ම හඬ නගා දැනුම් දුන්නා. මෙසේ අනුක්‍රමයෙන් එසේ හඬ නගා දැනුම් දීමේ ශබ්දය බ්‍රහ්ම ලෝකය දක්වා පැතිර ගියා.

39. කල් දැනුම් දීම පිණිස හඬ නගා කළ ඒ දැනුම් දීමෙන් මහා දෙව් පිරිසක් රැස්වුනා. එසේ රැස් වූ ඒ මහා දෙව් පිරිසට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වදාළ දෙසුමක් වන සමචිත්තපරියාය සූත්‍රය මුල් කොට ධර්ම දේශනාව වදාළා.

40. අසංඛෙය්‍ය ගණන් දෙවිවරුන්ට ධර්මාවබෝධය ඇති වුනා. බොහෝ දිව්‍ය නාගයෝ, දිව්‍ය ගරුඬාදීන් ද තෙරුවන් සරණයෙහි පිහිටියා.

41. එදා අපගේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙම සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව වදාරණ අවස්ථාවේ රැස් වූ මහා දෙව් පිරිස සෙයින් අප මිහිඳු මහරහතන් වහන්සේත් මෙම දෙසුම වදාරද්දී මහා දෙව් පිරිසක් රැස්වුනා.

42. රජ්ජුරුවෝ එදා රෑ එළිවුනාට පස්සේ තෙරුන් වහන්සේලා වඩම්මවන්ට රථය පිටත් කළා. රියැදුරාත් එතැනට ගිහින් ‘රථයට ගොඩවනු මැනව. අපි නගරයට යන්ට ඕනෑ’ කියලා කිව්වා.

43. ‘අපි රථයට ගොඩ වෙන්නේ නෑ. ඔබ යන්න. අපි ඔබට පසුව එන්නම්’ කියා රියැදුරාව ආපසු පිටත් කෙරෙව්වා. හොඳින් දියුණු කරගත් සිත් නමැති රථ ඇති,

44. අපගේ මහා ඉර්ධිමත් රහතන් වහන්සේලා අහසට පැන නැගී නගරයට නැගෙනහිරින් පොළවට ගොඩ බැස්සා. ‘පඨමක චෛත්‍යය’ පිහිටා තියෙන්නේ එතැනයි.

45. අපගේ මහරහතන් වහන්සේලා මුලින්ම නගරයට වැඩි තැන සිහි කරන්නට කරවූ යම් චෛත්‍යයක් ඇද්ද අද පවා (මහාවංශය ලියන කාලයේ) ඒ චෛත්‍යයට මෙසේ පඨමක චෛත්‍යය කියලා කියනවා.

46. රජ්ජුරුවන්ගේ අන්තඃපුර බිසෝවරුන්ට රජ්ජුරුවන් වෙතින් ම අප මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ අසන්ට ලැබුනා. එතකොට ඒ බිසොවුන් වහන්සේලාටත් අපගේ රහතන් වහන්සේලාව බැහැදකින්ට කැමැත්ත ඇතිවුනා. එතකොට රජ්ජුරුවෝ,

47. රාජ මන්දිරය ඇතුලේ ම රම්‍ය වූ මණ්ඩපයක් කෙරෙව්වා. සුදු වස්ත්‍රවලින් වසලා මල්වලින් ඉතා ලස්සනට සැරසුවා.

48. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු සංඝයා වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකී සිටින බව මහරහතන් වහන්සේගෙන් අසා දැනගෙන තිබුනු නිසා මාළිගාවේ තිබෙන උසස් ආසනවල තෙරුන් වහන්සේ වැඩ හිඳිත් දෝ හෝ යි සැකයක් ඇතිවුනා.

49. ඒ අවස්ථාවේ රථය ආපසු පදවාගෙන ආ රියැදුරා පඨමචේතිය පිහිටි තැන වැඩ සිටි අපගේ රහතන් වහන්සේලා නගරයට වඩිනු පිණිස දෙවුර වසා සිවුර පොරවනවා දැක අතිශයින් විස්මයට පත් වුනා.

50. ගිහින් තෙරුන් වහන්සේලා රථයෙන් නොවැඩි බවත් නමුත් තමා එන්ට පෙරම වැඩමවා ඇති බවත් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. සියල්ල අසාගෙන සිටි රජ්ජුරුවෝ රාජකීය පුටුවල උන්වහන්සේලා වාඩිවෙන එකක් නැහැ කියා නිශ්චය කළා.

51. ‘එහෙනම් ඉතා යහපත් ආකාරයෙන් බුමුතුරුණු එළා අසුන් පණවන්ට’ කියා රජ්ජුරුවෝ නියෝග කරලා රහතන් වහන්සේලා පිළිගැනීම පිණිස පෙර ගමන් කොට උන්වහන්සේලාට ආදරයෙන් වන්දනා කොට,

52. මිහිඳු මහරහතන් වහන්සේගේ අතින් පාත්‍රය ගත්තා. සත්කාර පුද පූජාවලින් යුක්තව උන්වහන්සේලාව නගරයට වැඩැම්මෙව්වා.

53. තෙරුන් වහන්සේලා උදෙසා රජගෙදර ආසන පනවා ඇති අයුරු දුටු නිමිති කියන්නෝ මෙහෙම කිව්වා. ‘මුන්වහන්සේලා විසින් මේ මහ පොළොව ගත්තා. ලංකාදීපයේ ස්වාමිවරු බවට පත්වෙනවා’ කියලා.

54. රජ්ජුරුවෝ ඒ රහතන් වහන්සේලාට පූජා පවත්වමින් ඇතුළු නුවරට වඩම්මාගෙන ආවා. උන්වහන්සේලා එහි ඇතිරිලි ඇතිරූ ආසනවල වැඩිමහළු පිළිවෙළින් වැඩ හිඳගත්තා.

55. රජ්ජුරුවෝ ප්‍රණීත ලෙස පිළියෙල කරන ලද කැඳවලිනුත් ඛාද්‍යභෝජ්‍යවලිනුත් සිය අතින් ම දන් පැන් පුදා උන්වහන්සේලාව වැළඳෙව්වා. උන්වහන්සේලා දන් වළඳා අවසන් වුනාට පස්සේ තමන් ම උන්වහන්සේලා අසලින් ම වාඩිවුනා.

56. තම බාල සහෝදරයෙකු වන මහානාග යුවරජ්ජුරුවන්ගේ බිසොව වන රජගෙදර ම වාසය කරන අනුලා දේවියවත් කැඳෙව්වා.

57. එතකොට අනුලා දේවිය පන්සියයක් ස්ත්‍රීන් පිරිවරාගෙන ඇවිත් අපගේ රහතන් වහන්සේලාට වන්දනා කළා. පූජාවන් පැවැත්තුවා. එකත්පස්ව වාඩිවුනා.

58. මිහිඳු මහරහතන් වහන්සේ, පව් රැස් කොට ප්‍රේතලොව ඉපිද දුක් විඳින සත්වයන්ගේ විස්තර ප්‍රේතවස්තුවෙනුත්, පින් රැස් කොට දෙව්ලොව ඉපිද සැප විඳින සත්වයන්ගේ විස්තර විමානවස්තුවෙනුත් වදාරා මේ දුක් අවසන් කිරීමට ඇති එකම උපාය චතුරාර්ය සත්‍යාවබෝධය බව පෙන්වා දීම පිණිස සච්ච සංයුත්තයෙන් ධර්ම දේශනාව වදාළා. දේශනාව අවසානයේ ඒ ස්ත්‍රීන් සියලු දෙනා සෝවාන් ඵලයට පත්වුනා.

59. කලින් දවසේ අපගේ රහතන් වහන්සේලා බැහැදුටු මිනිසුන්ගෙන් උන්වහන්සේලාගේ ගුණ ඇසූ අනුරාධපුර නුවර වැස්සෝ මිහිඳු මහරහතන් වහන්සේ බැහැදකින්ට කැමැත්තෙන් රැස් වෙන්ට පටන් ගත්තා.

60. රාජ දොරටුව ළඟ රැස් වූ ඔවුන් තෙරුන් වහන්සේලා දකින්ට ඕනෑය යන මහත් සේ ඝෝෂාව කළා. එය ඇසූ රජ්ජුරුවෝ ඔවුන්ගේ අදහස දැනගත්තා. ඒ නගරවාසීන්ට සිදුවන යහපත කැමැතිව,

61. ‘හැමෝට ම මෙහි ඇවිත් උන්වහන්සේලාව දැක ගන්ට ගියොත් ඉඩකඩ මදි. මංගල හස්තියා බඳින ශාලාව සෝදලා ගන්ට. එතනදි නගරවාසීන්ට අපගේ තෙරුන් වහන්සේලාව බැහැ දකින්ට පුළුවනි.’

62. ඉක්මනින් ඇත් හල සෝදවලා, උඩු වියන් බන්දවලා සරසවලා උන්වහන්සේලාට ගැලපෙන පරිදි සයනාසන පැණෙව්වා.

63. මහා ධර්මකථික වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනිත් රහතන් වහන්සේලා ද සහිතව ඒ ඇත්හලට වැඩම කොට ආසන වල වැඩ සිටියා. එතැනදී උන්වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙසුමක් වන දේවදූත සූත්‍රය මුල් කොට දහම් දෙසා වදාළා.

64. එතැනට රැස් වූ නුවරවැස්සෝ ඒ ධර්මය අසා ගොඩාක් පැහැදුනා. ඒ ධර්ම දේශනාව අවසානයේ ඔවුන් අතර සිටි දහසක් දෙනා සෝවාන් ඵලයට පත්වුනා.

65. අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවාලීමේදී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුනා. ලංකාවේ රජමැදුරේත්, ඇත් හලේදී යන ස්ථාන දෙකේ දී ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ධර්මය වදාළා. මේ දිවයිනට පිළිසරණ වූ උන්වහන්සේ සද්ධර්ම මාර්ගයෙහි බැසගන්ට කටයුතු කොට වදාළා.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුර නගරයට වැඩමවීම නම් වූ දහහතරවෙනි පරිච්ඡේදය යි.