“නුවණින් සළකා පැවසීමයි උතුම්”
පින්වතුනේ, පින්වත් දරුවනේ, පොඩි දරුවන් අතින් නොදැනුවත්කමින් අඩුපාඩු සිදුවෙනවා. පොඩිනමලා අතිනුත් අඩුපාඩු සිදුවෙනවා. එතකොට වැඩිහිටියන් කළ යුත්තේ ඒ පොඩි දරුවන්ගේ අනාගතය ගැන සළකා නුවණින් යුතුව අවවාද කිරීමයි. එසේ නොවුණොත් ඒ පොඩි දරුවන්ට දුක හිතෙනවා. ඒ හේතුවෙන්ම වාසනාවන්ත අනාගතය පවා නැතිවෙන්න ඉඩ තියෙනවා. පොඩිනම ක් වැරදීමකින් සිනහ වීම ගැන ඇති වූ අර්බුදයක් තමයි මේ කථාවට මුල් වුණේ. ඒ මෙහෙමයි.
ඒ දවස්වල සැවැත් නුවර විශාඛා මහෝපාසිකාවගේ නිවසේ පන්සීයක් භික්ෂූන් වහන්සේලාට දිනපතා උදෑසන කැඳ පූජා කළා. එක් වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් පොඩි නමක් සමඟ විශාඛාවගේ නිවසට වැඩියා. මහතෙරුන් වහන්සේ කැඳ වළඳලා පොඩි නමට මෙහෙම කිව්වා.
“එහෙනම් පොඩි නම ඔහොම වැඩඉන්න. මං වෙන තැනකට පිඬු සිඟා යන්නම්.”
ඉතින් පොඩි නම දන්පොළේ වැඩහිටියා. ඒ දිනවල විශාඛාවගේ පුතෙකුගේ දියණියක්, ඒ කියන්නේ මිනිබිරියක් දන් පොළේ උපස්ථානයට පත්වෙලා හිටියා. ඉතින් ඈ බොහෝ වෙහෙස මහන්සි වී ඇප උපස්ථාන කරමින් සිටියා. එදා ඈ ඒ පොඩි නමට දියබඳුනක් අරගෙන ආවා. දිය බඳුන දෙස බලද්දී ඇගේ ලස්සන සිඟිති මුහුණ පෙනුණා. ඈ තමන්ගෙම මුහුණ දිහා බලාගෙන සිනහසුණා. පොඩි නම මෙහෙම හිතුවා.
‘මේ උපාසිකාව සිනහ වෙනවා. ගෞරවයෙන් වෙන්න ඇති. මං සිනහ නොවුණොත් හොඳ නෑ’ කියලා පොඩිනමත් සිනහවුණා. එතකොට අර මිනිබිරිය ඔළුව ඔසොවා බැලුවා. පොඩිනම සිනහවෙනවා දැකලා ඇයට කේන්ති ගියා.
“ම්…. මේක හරිවැඩක් නෙව. හිස මුඩු කළ ඇත්තොත් මොකද මේ සිනහ වෙන්නේ…?”
පොඩිනමට කේන්ති ගියා.
“මොකක්ද හරි වැඩේ…? මං විතරද හිස මුඩු කරලා ඉන්නේ…? නුඹත් හිස මුඩු කරපු කෙනෙක්. නුඹේ මව්පියනුත් හිස මුඩු කරලයි ඉන්නේ…”
එතකොට මිනිබිරිය හඬාගෙන ගේ ඇතුළට දිව්වා. විශාඛාවත් කලබල වුණා.
“ඇයි චූටි දුවේ… මක් වුණාද?”
එතකොට ඈ හඬා වැළපෙමින් තමන්ට හිස මුඩු කළ බවට චෝදනා කළ බව කිව්වා. එතකොට විශාඛාව ඉදිරියට පැමිණ පොඩිනමට අවවාද කළා.
“ස්වාමීනී, ඔහොම කේන්ති ගන්න එක හරි නෑ නෙව. හිස මුඩු කරලා නෙව ඉන්නේ. සිඳුණු බිඳුණු වස්ත්‍ර නෙව පොරවලා ඉන්නේ. එබඳු පිරිසක් මැද නෙව සිඳුණු පාත්‍රයක් අරගෙන පිඬු සිඟා යන්නේ. හිස මුඩු කළා කියන කාරණය බරපතල එකක් නෙවෙයිනේ.”
“පින්වත් උපාසිකාව, ඒක හරි. ඔබතුමිය දන්නවා මං හිස මුඩු කළ කෙනෙක් බව. ඒ හේතුවෙන් මැයට මට හිස මුඩු කළ එකා කියා නින්දා කරන්න වටිනවාද?”
විශාඛාවටත් ඒ පොඩි නමට හෝ මිනිබිරියට හෝ කරුණු පැහැදිලි කරගන්න බැරි වුණා. ඔය අතරේ මහ තෙරුන් වහන්සේ වැඩියා. මේ කාරණය තෙරුන් වහන්සේට සැළ කළා.
“පොඩිනම, යනවා යන්න! හිස මුඩු කරලා ඉඳගෙන එබඳුම පිරිසක් මැදින් සිදුණු පාත්‍රයක් අරන් පිඬු සිඟා යන අයට මොන නින්දාද? නිශ්ශබ්දව ඉන්නවා.”
එතකොට පොඩි නම මෙහෙම පිළිතුරු දුන්නා.
“එසේය ස්වාමීනී, එතකොට නුඹවහන්සේ තමන්ගේ උපස්ථායිකාවට තර්ජනය නොකොට මටයි තර්ජනය කරන්නේ නේද? එතකොට හිස මුඩු කළ එකා කියා මට බැන්නාට කමක් නෑ නේද?”
ඔය අවස්ථාවෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේ ද එතනට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ පොඩි නම දිහා බැලුවා. ධර්මාවබෝධයට වාසනාව ඇති පොඩි නමක්. භාග්‍යවතුන් වහන්සේ පොඩිනම වෙනුවෙන් කතා කළා.
“ඈ පින්වත් විශාඛාවෙනි, මගේ ශ්‍රාවක දරුවන් හිස මුඩු කළ පමණින් ‘හිස මුඩු කළ එකා’ ය කියා අපහාස කරන්න ඔබගේ දියණියන්ට වටිනවාද?”
පොඩිනමට හරි සතුටුයි. හිනහ වෙවී නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳ වැටුණා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට අවබෝධ වුණා. අපගේ උපාධ්‍යායයන් වහන්සේටවත්, මහෝපාසිකාවටවත් තේරුණේ නැහැ නෙව.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් පොඩි නම, ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම අරමුණුවලට සිනහ ගියොත් ඒක ලාමක දෙයක්. ඒ වගේ දේවල් අපි පුරුදු කරන්න හොඳ නෑ. අප්‍රමාදීව සිහි නුවණමයි වඩන්න ඕන.”
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඉතා රමණීය ලෙස මෙම ගාථා රත්නය වදාළා.
හීනං ධම්මං න සේවෙය්‍ය – පමාදේන න සංවසේ
මිච්ඡාදිට්ඨිං න සේවෙය්‍ය – න සියා ලෝකවද්ධනෝලාමක පස්කම් සුවයට – ඇල්මක් නම් නොකළ යුතුය
පමාවෙමින් නොමගට යන – දෙය හා එක් නොවිය යුතුය
මිසදිටු මතයක් කිසිදා – සිතකට ඉඩ නොදිය යුතුය
දුක වැඩෙනා ලෝකයකට – කිසි දින ඉඩ නොදිය යුතුය
පින්වතුනේ, පින්වත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේ වැඩහිටිය නිසා පොඩිනමගේ යහපත රැකුණා. පොඩිනමගේ ධර්ම මාර්ගයට හානි වුණේ නෑ. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ විශේෂ බුදුනුවණින් පොඩිනම දෙස බැලුවා නෙව. ඒ හැකියාව ලෝකයේ වෙන කාටවත් නෑ. සෝවාන් ඵලයට පත් වූ විශාඛාවටවත් එය තේරුම් ගන්න බැරිවුණා. මහතෙරුන් වහන්සේටත් තේරුම් ගන්න බැරිවුණා. සියුම් ආයුධයකින් නෙළුම් දණ්ඩක් සිඳිනවා වගේ භාග්‍යවතුන් වහන්සේ පොඩිනමගේ සිතේ ඇතිවූ සියළු ලෞකික හැඟීම් දුරුවෙන අයුරින් ධර්මය වදාළ ආකාරය කොතරම් අසිරිමත්ද. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවට නමස්කාර වේවා!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ