1. රුවන්වැලි මහා සෑයේ ඡත්‍රය පැළඳවීමත්, සුණු පිරියම් කිරීමත්, අවසන් නොවී තිබියදී අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ මාරාන්තික රෝගයකින් ගිලන් බවට පත්වුනා.

2. එතකොට රජ්ජුරුවෝ තමන්ගේ මළණුවන් වන තිස්ස කුමාරයාව දීඝවාපියෙන් අනුරාධපුරයට කැඳවා අවසන් නොකළ මහාසෑයේ කටයුතු අවසන් කරන්ට කියා පැවසුවා.

3. තිස්ස කුමාරයා අනුරාධපුරයට ඇවිත් තම සහෝදර දුටුගැමුණු රජ්ජුරුවෝ රෝගයෙන් ඉතා දුර්වලව සිටිය නිසා රෙදි වියන්නන් ලවා සුද්ධ වස්ත්‍ර කඤ්චුකයක් කරවා එයින් සුණු පිරියම් නොකළ මහා සෑය අලංකාරව පෙනෙන අයුරින් වැස්සෙව්වා.

4. එහි වේදිකාව සිත්තරුන් ලවා අලංකාර ලෙස පුන් කළස් පෙළත්, පස් ආකාර මුදු පෙළත් කෙරෙව්වා.

5. ඒ වගේම උණ ගසෙන් කැටයම් කරන මිනිසුන් ලවා ඡත්‍රය උණ ලීයෙන් කරවා එහි දේවතා කොටුවේ ගොරෝසු කොළවලින් සඳ හිරු පේන්ට සැලැස්සුවා.

6. ලාකඩ හා කොකුම්වලින් මහාසෑය හොඳාකාරව සිතුවම්වලින් සැරසුවා. ඊට පස්සේ මහාසෑයේ කළයුතු වැඩ සම්පූර්ණ කළා කියලා දුටුගැමුණු රජ්ජුරුවන්ට දැනුම් දුන්නා.

7. රජ්ජුරුවන්ව දෝලාවක සතපවාගෙන මෙහි (මහාසෑය ළඟට) වඩමවාගෙන ආවා. දෝලාවෙන් ම මහාසෑය පැදකුණු කළා.

8. වන්දනා කළා. දකුණු දොරටුව අසළ බිම අතුරන ලද සයනයක සැතපෙව්වා. එතකොට රජ්ජුරුවෝ දකුණු ඇලයෙන් සැතැපී උත්තම මහාථූපය දැක සතුටුවුනා.

9. රජ්ජුරුවන්ව වම් ඇලයෙන් සයනය කොට උත්තම ලෝවාමහාපාය දකිමින් භික්ෂු සංඝයා වහන්සේ පෙරටු කරගෙන ඉතාම සතුටින් සිටියා.

10. අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවන්ගේ අසනීප තත්වය ගැන අසන්ට ඒ ඒ රටෙන් වැඩිය භික්ෂූන් වහන්සේලාගේ ගණන අනූහය කෝටියක් වුනා.

11. භික්ෂූන් වහන්සේලා සමූහ වශයෙන් එක්වෙලා සූත්‍ර සජ්ඣායනා කළා. රජ්ජුරුවෝ එතැන වැඩ නොසිටින ථේරපුත්තාභය තෙරුන් වහන්සේ ගැන මෙහෙම සිතුවා.

12. “මං එදා නොපැරදෙන මහා යුද්ධ විසි අටක් කරද්දී යම් මහා යෝධයෙක් වෙන් නොවී මාත් සමඟ ජීවිත පරිත්‍යාගයෙන් එකට සිටියා ද,

13. මරණය සමඟ යුද්ධය කරන වෙලාවේ මං පරදින බව දැකලා වෙන්ට ඇති දැන් අපගේ ථේරපුත්තාභය තෙරුන්නාන්සේ මං ළඟට එන්නේ නැත්තේ”

14. කියා සිතුවා. එතකොට කිරිඳිඔය ඉස්මත්තේ පංජලී පර්වතයේ වැඩසිටි ථේරපුත්තාභය රහතන් වහන්සේ රජ්ජුරුවෝ සිතපු අදහස දැකලා,

15. පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ඉර්ධිබලයෙන් අහසෙන් ඇවිත් අපගේ දුටුගැමුණු රජ්ජුරුවන්ව වටකරගෙන සිටගත්තා.

16. රජ්ජුරුවෝ උන්වහන්සේව දැකලා මහත් සතුටට පත්වුණා. තමන් ඉදිරියේම වඩාහිඳුවාගත්තා. “ස්වාමීනී, ඒ කාලයේ දස මහා යෝධයන් වෙලා සිටිය ඔබවහන්සේලාත් අරගෙන මං,

17. යුද්දෙට ගිහින් අපි හැමෝම එකට යුද්ධ කළා. දැන් මං තනියම මාරයා සමඟ යුද්ධයක යෙදිලා ඉන්නවා. මාරයා නැමැති සතුරාව පරාජය කරන්ට බැරි බව පේනවා” කියලා කිව්වා.

18. එතකොට ථේරපුත්තාභය තෙරුන් වහන්සේ මෙහෙම වදාළා. “මහරජ්ජුරුවෙනි, භය වෙන්ට එපා! කෙලෙස් සතුරන් පරදවන්නේ නැතුව මාරයා නැමැති සතුරාව පරදවන්ට බැහැ.

19. හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයන්ට අයිති හැමදෙයක්මත් තමාගේ වසඟයෙහි පවත්වන්ට බැහැ. බිඳිලා යනවා. අපගේ ශාස්තෘන් වහන්සේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියා වදාළේ මේ නිසයි.

20. ලැජ්ජා භය කිසිවක් නැති මේ අනිත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ වෙතත් පැමිණුනා නොවැ. ඒ නිසා මේ සංස්කාරයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියා සිතනු මැනැව.

21. මීට කලින් ආත්මයේත් සාමණේර නමක්ව සිටියදී කුසල ධර්මයන් කෙරෙහි ඔබතුමා තුළ මහා කැමැත්තක් තිබුණා. ඊළඟ ආත්මයේ දෙව්ලොව ඉපිද වින්දහැකිව තිබුණු මහත් දිව්‍ය සැප අත්හැරලා ඔබතුමා,

22. මේ මිනිස් ලොව රජපවුලේ ඉපදිලා නොයෙක් ආකාරයෙන් බොහෝ පින් කරගත්තා. ඔබතුමා විසින් ලංකාරාජ්‍යය එක් ඡත්‍රයක් යටතට ගත්තේ බුද්ධ ශාසනය බැබළවීම පිණිස ම යි.

23. මහා පුණ්‍යවන්තයාණෙනි, රජ වූ දවසේ පටන් අද දවස තෙක් ඔබ විසින් කරන ලද සියලු පින් සිහි කළ මැනැව. එහි සැප විපාක ඔබතුමාට වහාම ලැබේවි.

24. තෙරුන් වහන්සේගේ වචනය අහලා රජ්ජුරුවෝ ඉතාමත් සතුටු සිතකින් යුක්ත වුනා. “ස්වාමීනී, ඔබවහන්සේ මට මේ මාරයා සමඟ වන යුද්ධයේදීත් බොහෝ උපකාර වුනා” කියලා උන්වහන්සේට පැවසුවා.

25. එවෙලේ සතුටින් සිටින රජ්ජුරුවෝ පින්පොත ගෙන්වාගෙන ලියන්නාට එය කියවන්ට කිව්වා. ඔහු ඒ පින්පොත කියෙව්වා.

26. “අපගේ මහරජ්ජුරුවන් වහන්සේ විසින් විහාරයන් අනූනවයක් කරලා තියෙනවා. කහවණු දහනවකෝටියක වියදමින් මිරිසවැටි විහාරය කෙරෙව්වා.

27. උතුම් ලෝවාමහාපාය තිස්කෝටියක වියදමින් කෙරෙව්වා. රුවන්වැලි මහා සෑයේ වටිනාකම කියන්ට බැරි තරම් අනර්ඝ කටයුතු විසි හතරක් කෙරෙව්වා.

28. පිරිසිදු නුවණැති මහරජ්ජුරුවන් වහන්සේ විසින් රුවන්වැලි මහා සෑයේ කරවන ලද අනෙක් කටයුතු වෙනුවෙන් කහවණු දහස් කෝටියක් වියදම් වෙලා තියෙනවා” කියලා ලියන්නා කිව්වා.

29. එතකොට රජ්ජුරුවෝ මෙහෙම කිව්වා. “කොට්ඨ නම් කඳුරටේදී (කොත්මලේදී) බුළු කන්ට තරම් සිදුවුණු සාගතයේදී මගේ මහාර්ඝ වූ කුණ්ඩලාභරණ දෙක විකුණලා,

30. ඒ මුදලින් උතුම් රහතන් වහන්සේලා පස් නමකට පහන් සිතින් යුක්තව තණහාල් ඇඹුල් කැඳකින් යුක්ත කොට මං පිණ්ඩපාතය පූජා කළා.

31. තිස්ස කුමාරයා සමඟ මුලින්ම කළ චූළංගනී යුද්ධයේදී පැරදී පළාගිහින් දානය සඳහා සංඝයාට කල් දන්වා අඬගසලා අහසින් වැඩියාට පස්සේ,

32. පුවඟු දිවයින්වැසි ඒ රහතන් වහන්සේට තමන්ගේ ආහාරවේල නොගෙන ජීවිතය පවා අපේක්ෂා නොකොට රන් තැටියේ තිබුණු බත මං පූජා කරගත්තා” කියලා රජ්ජුරුවෝ කිව්වා.

33. මිරිසවැටි විහාර පූජෝත්සව සතියේ ත්, ලෝවාමහාප්‍රාසාද පූජෝත්සව සතියේත්, මහාසෑයේ මුල්ගල තැබීමේ උත්සව සතියේත්, ධාතුනිධානෝත්සව සතියේත්,

34. සිව් දිගින් වැඩි භික්ෂු, භික්ෂුණී උභය මහා සංඝයා වහන්සේට මං කිසිදු අඩුවක් නැතිව මහා වටිනා මහා දානයක් පැවැත්තුවා.

35. වෙසක් මහා පූජෝත්සව විසි හතරක් කෙරෙව්වා. ලංකාව පුරාම වැඩඉන්න සියලු සංඝයා වහන්සේට තුන්වරක් තුන්සිවුරු පූජා කරගත්තා.

36. මං මේ ලංකා රාජ්‍යය දවස හත ගණනේ පස් වතාවක් ඉතා සතුටු සිතින් බුද්ධ ශාසනයට පූජා කරගත්තා.

37. ගිතෙලින් පොඟවා ගත් ඉතා පිරිසිදු පහන් වැටි යොදා දොළොස් ස්ථානයක අපගේ සුගතයන් වහන්සේට නිරතුරු පූජා පිණිස මං පහන් දහසක් දැල්වූවා.

38. දහඅට ස්ථානයක නිරතුරුවම වෛද්‍යවරුන් යොදවා ගිලන් ආහාරයත්, බේත්හේත් ආදියත් මං රෝගීන්ට ලබාදුන්නා.

39. ඒ වගේම හතලින් හතර තැනක කිරිබත් සමඟ මීපැණි, ගිතෙල් ආදියත්, එවැනිම හතලිස් හතර තැනකදී බොහෝ තල යොදා කිරි හා ගිතෙල් මිශ්‍ර කොට හදන කිරිබතත් දුන්නා.

40. ගිතෙලින් බැදපු මහදැල් කැවුම් ද ඒ විදිහට තැන් හතලිස් හතරක දුන්නා. ඒ විදිහටම තැන් හතලිස් හතරක නිරතුරු බත් ලබා දුන්නා.

41. මාසයක් පාසා පොහොය දවස්වල ලංකාවේ අටමහා විහාරවලට බණ අසන්ටත්, පූජා පිණිසත්, පහනුයි, තෙලුයි දුන්නා.

42. ආමිස දානයට වඩා මහත් ආනිසංස තියෙන්නේ ධර්ම දානයෙන් කියලා මට අහන්ට ලැබුනා. ලෝවාමහා ප්‍රාසාදයේ පහළ මාලයේ සංඝයා මැද ආසනයක වාඩිවෙලා,

43. උතුම් ධර්මදානය දෙන්ට ඕනෑ කියා සංඝයා වහන්සේලාට මහා මංගල සූත්‍රයෙන් බණක් කියන්ට ඕනෑ කියලා වාඩිවුනා. නමුත් සංඝයා කෙරෙහි ඇති ගෞරවය නිසා බණ කියාගන්ට බැරිවුනා.

44. ඊට පස්සේ මං කළේ ලංකාව පුරා ඇති ඒ ඒ විහාරවල ධර්ම දේශකයන් වහන්සේලාට සත්කාර කරවා බණ කියන්ට සැළැස්වීමයි.

45. එක් එක් ධර්ම කථිකයන් වහන්සේ නමකට ගිතෙල්, පැණි, සූකිරි නැළිය ගානේ පූජා කළා. අඟල් සතරේ පමණ සූකිරි කැට පූජා කළා.

46. මිහිරි වැල්මී මිට ගණනේ පූජා කළා. වස්ත්‍ර යුගලය බැගින් පූජා කළා. මේ හැම දානයක් ම මං දුන්නේ ඉසුරු සම්පත් මත පිහිටාගෙනයි. ඒ නිසා ඒ ගැන මගේ සිත පිනායන්නේ නෑ.

47. නමුත් මා ඉතා දුකට පත් වී සිටි අවස්ථාවේ ජීවිතය ගැනවත් අපේක්ෂාවක් නැතිව පූජා කරගත් දාන දෙක නම් මතක් වෙද්දී මාගේ සිත පිනා යනවා.

48. එය ඇසූ ථේරපුත්තාභය තෙරුන් වහන්සේ ඒ දාන දෙක ගැනම රජ්ජුරුවන්ගේ සිත පහදවන්ට ඕනෑය යන අදහසින් නොයෙක් අයුරින් ඒ දුෂ්කර අවස්ථාවේ දුන් දානය ගැන වර්ණනා කළා.

49. එදා ඇඹුල් කැඳයි, තණහාලේ බතුයි දානයට පිළිගත් තෙරුන් වහන්සේලා පස්නම අතුරින් මලය මහාදේව රහතන් වහන්සේ, සමන්කුල පව්වවාසී,

50. නවසියයක් භික්ෂූන් වහන්සේලාට ඒ දානය පිළිගන්වා තමනුත් වැළඳුවා. ඒ වගේම ඒ පිණ්ඩපාත දානය පිළිගත් ඉර්ධියෙන් මහපොළොව සොලොවන ධම්මගුත්ත රහතන් වහන්සේ,

51. කැලණි විහාරයේ පන්සියයක් භික්ෂූන් වහන්සේට බෙදා දී තමන්වහන්සේත් වැළඳුවා.

52. තලගුරුවෙහෙරවාසී ධම්මදින්න රහතන් වහන්සේ, පුවඟු දිවයින්වැසි දසදහසක් භික්ෂූන්ට දී ඒ පිණ්ඩපාත දානය තමනුත් වැළඳුවා.

53. මංගණවිහාරවාසී මහා ඉර්ධිමත් ඛුද්දතිස්ස රහතන් වහන්සේ කෛලාස විහාරයේ හැටදහසක් භික්ෂූන්ට දී ඒ පිණ්ඩපාත දානය තමාත් වැළඳුවා.

54. උක්කානුවර විහාරයේ මහාව්‍යග්ඝ රහතන් වහන්සේ සත් සියයක් භික්ෂූන්ට ඒ පිණ්ඩපාත දානය දී තමාත් වැළඳුවා.

55. රන් තැටියේ තිබුණු බත පිළිගත් පුවඟු දිවයින්වැසි කුටුම්බියතිස්ස රහතන් වහන්සේ දොළොස් දහසක් භික්ෂූන්ට ඒ දානය ලබාදී තමාත් වැළඳුවා.

56. මෙසේ වදාළ අභය තෙරුන් වහන්සේ රජ්ජුරුවන්ගේ සිත සතුටට පත්කළා. සිත පහදවා ගත් රජ්ජුරුවෝ තෙරුන් වහන්සේට මෙය පැවසුවා.

57. “මං අවුරුදු විසිහතරක් පුරාවට අපගේ සංඝයා වහන්සේලාගේ ශාසනික ජීවිතයට උපකාර කළා. මාගේ මේ කය පවා සංඝයා වහන්සේලාට උපකාර පිණිස වේවා!

58. මහාසෑය පෙනෙන ස්ථානයේ සංඝයාගේ පොහොය මළුවේ සංඝදාස වූ මාගේ ශරීරය නුඹවහන්සේලා ආදාහනය කරන සේක්වා!”

59. තම මළනුවන්ට මෙහෙම කිව්වා. “පින්වත් තිස්සයෙනි, අසම්පූර්ණ වූ මහා සෑයේ වැඩකටයුතු සම්පූර්ණ කරන්ට ඕනෑ. මේ හැම දෙයක්ම හොඳාකාර ලෙසින් ඔබ කරන්ට ඕනෑ.

60. මහා සෑයට උදේ සවස මල් පූජා කරන්ට ඕනෑ. මහා සෑයට දවසට තුන් වරක් උපහාර පූජාවන් සළස්වන්ට ඕනෑ.

61. මා බුද්ධ ශාසනයට පවත්වන ලද යම් පූජා දානමානාදී වැටක් ඇද්ද, දරුව තිස්සයෙනි, ඒ සියලු දන්වැට නොපිරිහෙලා පවත්වන්ටත් ඕනෑ.

62. ඒ වගේම දරුව, සංඝයාගේ කටයුතුවලදී හැම කල්හී අප්‍රමාද වෙන්ටත් ඕනෑ” වශයෙන් තිස්ස කුමාරයාට අනුශාසනා කළ රජ්ජුරුවෝ නිශ්ශබ්ද වුනා.

63. එකෙණෙහි භික්ෂූන් වහන්සේලා සියලු දෙනා උතුම් බුද්ධ දේශනා සජ්ඣායනා කරන්ට පටන් ගත්තා. දේවතාවෝ දෙව්ලෝ සයෙන් ම දිව්‍යරථ සයක් එවා තිබුනා.

64. ඒ ඒ රථයේ සිටි දෙවිවරු අපගේ රජ්ජුරුවන්ට ‘මහරජ්ජුරුවෙනි, අපගේ දෙව්ලොව මනරම්. අපගේ දෙව්ලොව එනු මැනැව’ කියා කියන්ට පටන්ගත්තා.

65. රජ්ජුරුවෝ ඔවුන්ගේ වචනය අහලා ‘මං දැන් ධර්මය අසනවා. ඒ තාක් ඉවසන්ට’ කියලා අත ඔසොවා සංඥා කරලා වැළැක්වුවා.

66. එතකොට භික්ෂූන් වහන්සේලා සාමූහික සූත්‍ර සජ්ඣායනය රජ්ජුරුවෝ වළක්වනවා කියලා සජ්ඣායනාව නැවැත්තුවා. ‘ස්වාමීනී, සූත්‍ර සජ්ඣායනාව නැවැත්තුවේ ඇයි?’ කියලා රජ්ජුරුවෝ ඇහැව්වා.

67. ‘මහරජ්ජුරුවෙනි, ඔබතුමා සජ්ඣායනාව නවත්වන්ට කියලා අතින් සංඥාවක් කළා නොවැ’ කියලා භික්ෂූන් වහන්සේලා කිව්වා. එතකොට රජ්ජුරුවෝ ‘නෑ ස්වාමීනී, මං ඒ සංඥාව කළේ ඔබවහන්සේලාට නොවෙයි. මාව කැඳවාගෙන යන්ට ඇවිත් තියෙන දිව්‍ය රථවලින් මට කතා කරන නිසා මං ඔවුන්ට ටිකක් ඉවසන්ට කියලයි සංඥා කළේ’

68. එය ඇසුව මිනිසුන් අතර සිටි සමහරුන් ‘මේ රජ්ජුරුවෝ මරණ භයෙන් භීතියට පත්වෙලා නන්දොඩොවනවා’ කියලා සිතුවා. ඔවුන්ගේ සැකය දුරුකරදීම පිණිස,

69. ථේරපුත්ත අභය තෙරුන් වහන්සේ රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා. ‘මහරජ්ජුරුවෙනි, ඔබතුමාව එක්කරගෙන යන්ට එවන ලද දිව්‍යරථයන් අන්අයටත් දැනගන්ට සැලැස්විය හැක්කේ කොහොමද?’

70. නුවණැති රජ්ජුරුවෝ අහසට මල්මාලා වීසි කෙරෙව්වා. ඒ මල් මාලා වෙන් වෙන්ව ඒ ඒ දිව්‍ය රථවල එල්ලී තිබුණා.

71. අහසේ එල්ලී තියෙන ඒ මල්මාලා දැකපු මහජනයා තමන්ගේ සැක දුරුකරගත්තා. රජ්ජුරුවෝ ථේරපුත්තාභය තෙරුන්ගෙන් මෙය ඇසුවා.

72. ‘ස්වාමීනී, කොයි දිව්‍ය ලෝකයද වඩාත් මනරම්?’ ‘රජ්ජුරුවෙනි, සත්පුරුෂයන්ගේ සම්මතය අනුව තුසිත දෙව්ලොව තමයි මනරම්.

73. බුදුබව ලබාගන්ට කල් බලමින් වැඩඉන්න මහා දයාවන්ත වූ අපගේ මෛත්‍රේය බෝධිසත්වයන් වහන්සේත් වැඩඉන්නේ තුසිත පුරයේ නොවැ.’

74. ථේරපුත්තාභය තෙරුන්ගේ වචනය ඇසූ මහා නුවණැති මහරජ්ජුරුවෝ මහාථූපය දෙස බලාගෙන වැතිරී සිටියදී ම දෑස පියාගත්තා.

75. මිනිස් ලොවෙන් චුත වූ කෙණෙහි ම තුසිත දෙව්ලොවෙන් පැමිණි දිව්‍ය රථයෙහි ඕපපාතිකව දෙව්රජෙක් ව උපන්නා. දිව්‍ය වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ දිව්‍ය ශරීරයෙන් පෙනී සිටියා.

76. තමන් විසින් කරන ලද පින්කම්වල යහපත් සැප විපාක හැමෝටම පෙන්වා දෙන්ට ඕනෑ නිසා මහජනයාට තමන්ව ප්‍රකටව පෙනෙන්ට සැලැස්සුවා.

77. දිව්‍ය රථයේ සිටියදීම රුවන්වැලි මහාසෑය තුන්වරක් පැදකුණු කළා. මහාසෑයටත්, සංඝයාටත් වන්දනා කරලා තුසිත දෙව්ලොව වැඩියා.

78. රජ්ජුරුවන්ගේ දේහය යම් ශාලාවකට ගෙනැවිත් එතැනදී නාටක ස්ත්‍රීන් රජ්ජුරුවන්ගේ හිස මත තිබූ ඔටුන්න මුදවා කෙස් වැටිය ලිහා දැම්මා ද, එදා සිට ඒ ශාලාව ‘මකුටමුත්තසාලා’ නමින් හැඳින්වුනා.

79. රජ්ජුරුවන්ගේ දේහය සඳුන් දර සෑයෙහි තැබුවාට පස්සේ මහාජනයා යම් තැනක සිට රජ්ජුරුවන්ගේ ගුණ කියමින් විලාප දී හඬා වැටුනා ද, එදා සිට ඒ ශාලාව ‘රාවවට්ටි සාලා’ නමින් හැඳින්වුනා.

80. යම් මළුවක රජ්ජුරුවන්ගේ ශරීරය ආදාහනය කළා ද, ඒ මළුව එදා සිට ‘රාජමාළකය’ නමින් හැඳින්වුනා.

81. අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ ‘මහරාජ’ යන නාමයට අතිශයින්ම සුදුසු වූ උදාර කෙනෙක්. ඒ මහාරාජෝත්තමයා අනාගතයේ බුදුවන මෛත්‍රේය නැමැති භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙනවා.

82. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පියා වූ කාවන්තිස්ස රජතුමා මෛත්‍රේය භාග්‍යවතුන් වහන්සේගේ පියා වෙනවා. විහාරමහාදේවී මෑණියන් මෛත්‍රේය භාග්‍යවතුන් වහන්සේගේ මව වෙනවා. තමන්ගේ මළනුවන් වන සද්ධාතිස්ස කුමාරයා ඒ භාග්‍යවතුන් වහන්සේගේ දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ වෙනවා.

83. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පුත්‍ර වූ සාලිය රාජකුමාරයා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි අවස්ථාවේ පුත්‍රයා බවට පත්වෙනවා.

84. අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ යම් කෙනෙක් කුසල් ම යි උතුම් කියලා පින් කරනවා නම්, පංච ආනන්තරීය පාපකර්මත්, නියත මිථ්‍යා දෘෂ්ටියත් යන නියත වශයෙන්ම ඊළඟ උපතේදී විපාක දෙන කර්ම හැර, අනෙත් නියත නොවන බොහෝ පව් විපාක වසාලමින් තමන්ගේ නිවස බලා යන නිවාස හිමිකාරයෙක් වගේ දෙව්ලොව උපදිනවා. එනිසා නුවණින් යුක්ත තැනැත්තා නිරන්තරයෙන් පින් ම යි කරන්ට ඕනෑ.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි දුටුගැමුණු රජ්ජුරුවෝ තුසිත පුරයට සැපත්වීම නම් වූ තිස්දෙවෙනි පරිච්ඡේදය යි.