බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස ගිහි-පැවිදි වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ශ‍්‍රාවක පිරිස සරණ ගොස් තිබෙන්නේ තිසරණය පමණි. එසේ නැතිව පෘථග්ජන උදවිය අන්ධ භක්තියෙන් සරණ යන නොයෙක් විශ්වාස ඇදහිලි සරණ යාමක් බුද්ධ ශ‍්‍රාවකයන් තුළ නැත.

බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස ශ‍්‍රද්ධාවන්ත ය. එමෙන් ම ප‍්‍රඥාවන්ත ය. එමෙන් ම එඩිතර ය. අභිමානවත් ය. අන්‍යාගමික ඇදහිලි මෙන් ම නොයෙකුත් මිත්‍යා විශ්වාස ඉදිරියේ දෙකට තුනට නැමෙන හීන දීන බයාදු චරිත බුද්ධ ශ‍්‍රාවකයන්ට නැත. අරකත් හරි මේකත් හරි කියා ගෙන ලිස්සා යන වංචනික ගතියක් ඒ ශ‍්‍රාවක පිරිස තුළ නැත.

අදටත් වඩා ඉතා බලවත් ලෙස අන්‍යාගමික ආක‍්‍රමණ තිබුණේ එකල ය. නිගණ්ඨ නාථපුත්ත ආදී මිත්‍යා දෘෂ්ටික ආගමික නායකයින් හැම විට ම උත්සාහවත් වූයේ තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයින් බෙලහීනත්වයට පත්කර වීමට ය. එහෙත් ඔවුන්ට තම නීච අදහස් සඵල කරගැනීමට කිසි සේත් නොහැකි විය. එයට එකම හේතුව නම් ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන් තිසරණය තුළ රැඳී සිටින්නට එකල ශ‍්‍රාවකයින් අධ්‍යාත්මිකව ශක්තිමත්ව සිටීමයි.

අද අපිට අවශ්‍යව තිබෙන්නේ එවැනි අභිමානවත් ගිහි පැවිදි ශ‍්‍රාවක පිරිසකි. එසේ නැතිව කෙන්දර නැකැත් පස්සේ දුවන, පූජා වට්ටි තබමින් කෝවිල්වල දේවාලවල යාතිකා කරමින් සිටින, හැම විටම අවිනිශ්චිත බියෙකින් පසුවන ඉබාගාතේ දුවන උදවිය නොවේ. ඔවුන් රටට තබා ඔවුනට වත් වැඩක් නැත.

අප කාටත් ආදර්ශයට ගත හැකි අපූරු සිදුවීමක් සංයුත්ත නිකායේ චිත්ත සංයුත්තයේ නිගණ්ඨ සූත‍්‍රයේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ‍්‍රාවකයෙකුගේ අභිමානවත් චරිතයයි.

මොහු නමින් චිත්ත ය. බුදුසමිඳුන්ගේ ප‍්‍රඥා සම්පන්න ගිහි ශ‍්‍රාවකයින්ගෙන් ප‍්‍රමුඛත්වය ලැබුණේ මොහුටයි. මොහු අනාගාමී කෙනෙකි. අතිදක්ෂ ධර්මධරයෙකි. මොහු සිටියේ ‘මච්ඡිකාසණ්ඩ’ නමැති ගමේ ය.

දිනක් නිගණ්ඨ නාථපුත්ත මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මේ ගමට පැමිණුනා. චිත්ත උපාසකතුමා ද නිගණ්ඨ නාථපුත්තව බලන්නට ගියා. එවේලේ මේ චිත්ත උපාසකගෙන් නිගණ්ඨ නාථපුත්ත අපූරු ප‍්‍රශ්නයක් ඇසුවා.

“විචාර රහිත සාමධියක් තිබෙන බව, විතර්ක විචාරයන්ගේ නිරුද්ධ වීමක් තිබෙන බව ඔබ විශ්වාස කරනවද?” කියලා.

මේ ප‍්‍රශ්නයෙන් එක දෙයක් පැහැදිලිව පෙනේ. එනම් නිගණ්ඨ නාථපුත්ත දෙවන ධ්‍යානයවත් පිළි නොගත් කෙනෙක් බවයි. විතර්ක විචාර සංසිඳෙන්නේ දෙවන ධ්‍යානයේ දී ය. මෙහි දී චිත්ත උපාසකතුමා දුන් පිළිතුරෙන් නිගණ්ඨ නාථපුත්ත කොටු විය.

“හිමියනි, විතර්ක විචාර රහිත සමාධියක් තිබෙන බව හෝ විතර්ක විචාරයන්ගේ නිරුධ වීමක් තිබෙන බව හෝ යන මේ කරුණ ගැන මං භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හුදෙක් ශ‍්‍රද්ධාවෙන් විශ්වාස කරන්නේ නැහැ.”

එවිට නිගණ්ඨ නාථපුත්ත මහත් ප‍්‍රීතියට පත් වුණා. ඔහු මහ හඬින් කෑ ගසමින් තම ශ‍්‍රාවක පිරිසට මෙහෙම කිව්වා.

“හා! බලව් පින්වත්නි, මේ චිත්ත ගෘහපතියා කොතරම් කෙලින් මිනිහෙක් ද? මේ චිත්ත ගෘහපතියා කොතරම් අවංක මිනිහෙක් ද? මේ චිත්ත ගෘහපතියා කොතරම් මායා රහිත මිනිසෙක් ද?

කෙනෙක් හිතනවා නම් විතර්ක විචාර නැති කරන්න ඕන කියලා එහෙම නම් දැලකින් හුළං බඳින්ටත් ඔහුට පුළුවන් වෙන්න ඕන. කෙනෙක් හිතනවා නම් විතර්ක විචාර නැති කරන්න ඕන කියලා එහෙම නම් ගංගා නදියෙහි වතුර පාර තමන්ගේ අතේ මිටෙන් නවත්තන්ට පුළුවන් වෙන්ටත් ඕන” කියලා.

එතකොට චිත්ත ගෘහපතිතුමා නිගණ්ඨ නාථපුත්තගෙන් මේ ප‍්‍රශ්නය ඇහුවා.

“හොඳයි හිමියනි, එහෙම නම් මේ ගැන මොකක්ද කියන්නේ? වඩාත් ශ්‍රේෂ්ඨ වෙන්නෙ ඤාණය ද? නැත්නම් විශ්වාසය ද?”

“එම්බා ගෘහපතිය, විශ්වාසයට වඩා ඤාණය නෙව ශ්‍රේෂ්ඨ වෙන්නේ.”

“හිමියෙනි, මට පුළුවන්කම තියෙනවා කාමයෙන් වෙන්ව, අකුසල දහමින් වෙන්ව, විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප‍්‍රීති සුඛය ඇති පළමු වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නට. එ් වගේම විතර්ක විචාර සංසිඳුවලා සමාධියෙන් හටගත් ප‍්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානයත් උපදවා ගෙන වාසය කරන්නට මට පුළුවන් ……………… තුන්වෙනි ධ්‍යානයත් උපදවා ගෙන වාසය කරන්නට මට පුළුවන් ……………….. හතරවෙනි ධ්‍යානයත් උපදවා ගෙන වාසය කරන්නට මට පුළුවන්. ඉතින් එහෙම එකේ මං ධ්‍යාන ගැන හොඳට ම දන්නවා නම්, දකිනවා නම්, ‘විතර්ක විචාර රහිත සමාධියක් තියෙනවා කියල හරි විතර්ක විචාරයන්ගේ නිරෝධයක් තියෙනවා කියල හරි’ මං වෙන ශ‍්‍රමණයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් හෝ විශ්වාස කරන්නේ මොකටද?”

එතකොට නිගණ්ඨ නාථපුත්තට කේන්ති ගියා. ඔහු කෑගහන්නට පටන් ගත්තා.

“හා! බලාපල්ලා…. මේ චිත්ත ගෘහපතියා කොයිතරම් වංක ද? මේ චිත්ත ගෘහපතියා කොයිතරම් කපටි ද? මේ චිත්ත ගෘහපතියා කොයිතරම් මායාකාරයෙක් ද?”

චිත්ත උපාසක තුමා කලබල වුණේ නෑ. ඔහු ඇඟට පතට නොදැනී නිගණ්ඨ නාථපුත්තට පිළිතුරු දුන්නා.

“හිමියනි, දැන් ඔබතුමා ම නේ කිව්වේ ‘හා! බලව් පින්වත්නි, චිත්ත ගෘහපතියා කොයිතරම් කෙලින් මිනිහෙක් ද? මේ චිත්ත ගෘහපතියා කොයිතරම් අවංක මිනිහෙක් ද? මේ චිත්ත ගෘහපතියා කොයි තරම් මායා රහිත මිනිහෙක් ද?’ කියලා.

දැන් ඔබතුමා ම කියනවා ‘හා! බලාපල්ලා…. මේ චිත්ත ගෘහපතියා කොයිතරම් වංක ද? මේ චිත්ත ගෘහපතියා කොයිතරම් කපටි ද? මේ චිත්ත ගෘහපතියා කොයිතරම් මායාකාරයෙක් ද?’ කියලා.

හිමියනි, ඔබ කලින් කියපු දේ ඇත්ත නම් පස්සේ කියපු දේ බොරු. හිමියනි, ඔබ පස්සේ කියපු දේ ඇත්තක් නම් ඔබ පළමු කියපු දේ බොරු.

හිමියනි, කරුණු සහිතව කතා කළ හැකි ප‍්‍රශ්න දහයක් තිබෙනවා. යම් දවසක ඔබතුමා එ් ප‍්‍රශ්නවල අර්ථය දැනගත්තොත් එදාට ඔබතුමා ඔය නිගණ්ඨ පිරිසත් කැටුව මා ළඟට එ්වි. එ්ක මෙන්න මෙහෙමයි.

එක ප‍්‍රශ්නයයි, එක මාතෘකාවයි, එක විසඳුමයි. ප‍්‍රශ්න දෙකයි, මාතෘකා දෙකයි. විසඳුම් දෙකයි. ප‍්‍රශ්න තුනයි, මාතෘකා තුනයි, විසඳුම් තුනයි. ප‍්‍රශ්න හතරයි, මාතෘකා හතරයි, විසඳුම් හතරයි. ප‍්‍රශ්න පහයි, මාතෘකා පහයි, විසඳුම් පහයි. ප‍්‍රශ්න හයයි, මාතෘකා හයයි, විසදුම් හයයි, ප‍්‍රශ්න හතයි, මාතෘකා හතයි, විසඳුම් හතයි. ප‍්‍රශ්න අටයි, මාතෘකා අටයි, විසඳුම් අටයි, ප‍්‍රශ්න නවයයි, මාතෘකා නවයයි, විසඳුම් නවයයි. ප‍්‍රශ්න දහයයි, මාතෘකා දහයයි, විසඳුම් දහයයි” කියල කරුණු සහිතව කතා කළ යුතු මේ දස ප‍්‍රශ්නය ඉදිරිපත් කරලා හුනස්නෙන් නැගිටලා පිටත් වෙලා ගියා.

නිගණ්ඨ නාථපුත්ත ඇතුළු පිරිස කරබාගෙන හිටියා. ඔබත් චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙන්න. අන්‍යාගමිකයන් ඉදිරියේ, මිත්‍යා දෘෂ්ටික මතිමතාන්තර ඉදිරියේ අභීතව නොසැලී සිටින්න. තිසරණය තුළ ඔබ ස්ථාවරව සිටින බව පැහැදිලිව ම මතුකොට පෙන්වන්න.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ