අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර අද සවස 3 ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයෙන් ත්‍රිකුණාමලයෙහි ජයසුමනාරාම විහාරස්ථානය බලා පිටත් විය. එම රථ පෙරහැර සවස 6.30 පමණ වන විට පොල්ගහවෙල යාන්ගල්මෝදර හන්දිය වෙත ළඟා වූ අතර පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සේරුවිල සරණකිත්ති අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය වෙත පුෂ්පෝපහාර පූජාවන් පවත්වන ලදි. ඉන්පසු නැවත එම දේහය රැගත් රථය ත්‍රිකුණාමලය බලා පිටත් වූ අතර හෙට උදෑසන 8 ට නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය සේරුවිල මංගල රාජමහා විහාරය බලා වැඩමවනු ඇත. ආදාහන පූජෝත්සවය සෙනසුරාදා (7) සවස 3 ට සේරුවිල රාජමහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කෙරේ.