කප් සුවහස් ගණනින් දුර්ලභ ඒ අසිරිමත් ශ්‍රී සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරමින් අනූ එක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ අසමසම සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණස්කන්ධයට උපහාර පිණිස සැදැහැතියන් වෙත කරුණාවෙන් සෙත සලසන ආර්ය ශ‍්‍රාවක සුමන සමන් දෙව්රජාණන්ගේත්, ඉන්දක දෙව්රජාණන්ගේත් නාමෝපලක්‍ෂිතව සොඳුරු නමුණුකුල නිල්වන් කඳු යාය පෙනෙන මානයේ සුපිහිටි සිනිඳු මිහිදුම් වැටියෙන් නිරන්තරයෙන් සෞම්‍යවත් වූ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් යුතුව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් යුතුව ඉදිකළ සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ධාතු නිධානෝත්සවය පසුගිය නොවැම්බර් 18 දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවූ වගයි……

ඒ උතුම් පින්කමට සමගාමීව ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතාපදානයේ අති සුවිශේෂී සිදුවීම් මූර්තිමත් කරමින්, සොඳුරු සිතුවමින් සිත්තම් කරමින් නේක විධ මාලා කර්ම, ලතා කර්මාදියෙන් සමලංකෘතව පෙර රජ දවස සිහි ගන්වමින්, අග‍්‍රගණ්‍ය ලෙස නිමවූ උතුම් ධාතු ගර්භය දැක බලා වන්දනා කරගැනීමේ දුර්ලභ අවස්ථාව නොවැම්බර් 10 දින සිට 16 දින තෙක් සැදැහැවතුන් හට උදාවූ අතර එම සෑ ගර්භය දැකබලා වන්දනා කරගැනීම පිණිස දිවයිනේ නන් දෙසින් ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් පැමිණුනා. සා පිපාසාදියෙන් පීඩාවක් නැතුව පැ‍මිණෙන සියලු දෙනා හට සුවසේ වන්දනා මාන කරගැනීම පිණිස එම සතිය පුරාම නොයෙක් දන්සැල් පැවැත්වුනා. නොවැම්බර් 17 වන දින මහාසෑ රජාණන් වහන්සේ අභියස රැය පහන්වන තුරු සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනයක් පැවැත්වුනු අතර පසුදා දහවල මහා සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනමනු ලැබුවා.

පින් කැමති සියල්ලෝ මේ පින දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!