October 2014
1-15. චුන්ද සූකරික ඌරු වැද්දාගේ කථා වස්තුව
දින කිහිපයක් එක දිගට ඌරන් මරන හඬ චුන්ද සූකරගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරන බවයි. අන්තිමේදී ඇත්ත හෙළි වුනා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකර මරණාසන්න වෙලා දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳටම බය වෙනවා. හයියෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා.
1-13,14. නන්ද මහරහතන් වහන්සේගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දැරුවනේ, නොවටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආසයි. ඒ නිසාම අධ්‍යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තිබෙන මාර්ගය නැති කරගන්නවා. අන්තිමේදී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කලෙ පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒවා ගැනම කතාබස් කර කර ඉන්නවා. ඒ තුළින්ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේදී ඒ නිසාම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා.
1-11,12. උපතිස්ස කෝලිත කලණ මිතුරන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට අඳුරත්, එළියත් වෙන් කොට හඳුනාගන්නා පුළුවන් වගේම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳුනා ගැනීමට පුළුවන් විය යුතුයි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය කරාම යනවා.
1-9,10. දේවදත්තගේ කථා වස්තුව
අයහපත් පුද්ගලයා විවිධාකාර වෙස්ගන්නා හෙයින් හඳුනාගන්නට අසීරුයි. බොහෝ දෙනෙක් රැවටෙනවා. ඔහු තම කාර්යය උදෙසා විවිධ චාටුබස් කියනවා. විවිධ වෙස් ගන්නවා. බොරුවෙන් ඇත්ත වහනවා. පිරිස බිඳවනවා. කුමන්ත‍්‍රණ කරනවා. අවස්ථාව ලද විගස පළිගන්නවා. ඔහු ගුණමකුයි. කෙලෙහි ගුණ දන්නෙ නැහැ. සමාජ අධිපත්‍යයට ආශා කරනවා. ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසාවලට වසඟ වෙනවා. ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. ඕනම පවිටු දෙයක් කිරීමට පෙළඹෙනවා. එනිසා අසත්පුරුෂ බාලයන් හා ඇසුරු නොකළ යුතුමයි. සත්පුරුෂ කල්‍යාණ මිත‍්‍රයන් පමණක් ඇසුරු කිරීමෙන් සලසාගත හැකි යහපත වචනයෙන් කිව නොහැකි තරම් අතිවිශාල දෙයකි.
1-7,8. චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, රහතන් වහන්සේගේ ස්වභාවය කොතරම් අසිරිමත්ද! උන්වහන්සේ කිසිවකට නොඇලෙයි. උන්වහන්සේ අසුභ දෙය ඒ අයුරින්ම දකිනවා. ඉඳුරන් සංවර කරගෙනයි සිටින්නේ. ලොවෙහි ඇති සියලු රස එකට කැටි කොට රහතන් වහන්සේට පිදුවත් රස තෘෂ්ණාවට උන්වහන්සේ කිසිදා හසුවන්නේ නෑ. උන්වහන්සේ වැඩ සිටින්නේ තෘෂ්ණාවෙන් නිදහස් වූ කෙනෙක් හැටියට මිස තෘෂ්ණාවෙහි දාසයෙක් ලෙස නොවෙයි. ඒ රහතන් වහන්සේගේ වීරිය හැම මොහොතේම පවතිනවා. සිහි නුවණ මැනැවින් පවතිනවා.මාරයාට කිසිසේත්ම උන්වහන්සේව තම පාලනයට ගන්නට බැහැ. ඇස, කන, නාසය, දිව, කය, මනස යන හයෙන් නිදහස් වූ උන්වහන්සේ වැඩසිටින්නේ මහා ගල් පර්වතයක් වගේ. කොතරම් සුළඟ හැමුවද එය සොළවාලන්නට කාටවත්ම බැහැ. මාරයා කවර දෙයක් කළද රහතන් වහන්සේව වෙනස් කරන්නට බැහැ. පිරිසිදු සිත් ඇති රහතන් වහන්සේලා බිහි වන්නේ බුදු සසුනක පමණයි. බුදුවරුන්ගේ ලෝකයෙහි බබලන්නේ රහතන් වහන්සේලායි.
1-6. කොසඹෑ නුවර රණ්ඩු දබර කළ භික්ෂූන්ගේ කථා වස්තුව
"බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලෙදිත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන අදහසින් පැවිදි වූ පිරිස අතරේ ඔය කොටස් දෙකම හිටියා. තමා තමන්ව පිළිසරණ කරගෙන අනුන් කළ නොකළ දේ ගැන නොව, තමා කළ නොකළ දේ ගැන සොයා බලමින් තමාගේ යහපත සළසා ගෙන පැවිදි ජීවිතය සාර්ථක කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩසිටියා."






