පින්වතුනේ, පින්වත් දරුවනේ,

ඒ කාලයේ දඹදිව සේතව්‍ය කියල නගරයක් තිබුනා. එහි මහාකාල, මජ්ඣිමකාල, චූල්ලකාල කියල පුතාල තුන් දෙනෙක් සිටින පවුලක් තිබුනා. ඔවුන් රැකියාවට කළේ වෙළඳාමයි. වෙළඳාම නිසා ඔවුන්ගේ අතමිට සරු වුනා. මහා ධනවතුන් වුණා. එක් කාලෙක මාහාකාල නම් වූ වැඩිමහලු සොහොයුරාත්, චුල්ලකාල නම් වූ බාල සොහොයුරාත් වෙළඳාම පිණිස සැවැත් නුවරට පැමිණියා. සැවැත් නුවරදී මේ වෙළඳ සොහොයුරන්ට බුදුරජාණන් වහන්සේ ගැන අසන්නට ලැබුනා. මුළු නගරයම සාමකාමියි. බොහෝ නිවෙස්වල සවස් යාමයේ තෙරුවන් වන්දනා කොට භාවනා කරනවා. බණකතා අසනවා. හරිම ප්‍රීතියෙන් කල් ගෙවනවා. මේ වෙනස ගැන වෙළඳ සොහොයුරන් පුදුමයට පත් වුනා. ඔවුන්ටත් සැවත් නුවර ජේතවනාරාමයට යන්නට ආශා හිතුනා. දිනක් සවස් යාමයේ මේ දෙදෙනා දෙව්රම් වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේව දැකගත්තා.

එදා බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට උතුම් ධර්මය කියා දුන්නා. මේ ඉපදෙන මැරෙන සසර ගමන ඉතාම භයානකයි. සිතේ ඇති වෙන ලෝභයත්, ද්වේෂයත්, මුලාවත් නිසා සත්වයන් කෙලෙසී යනවා. එසේ කෙලෙසී ගිය මිනිසුන් සිත, කය, වචනය යන තිදොරින් කර්ම රැස් කොට අපායෙහි ඉපදෙනවා. නමුත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත්තොත් මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවනි. කෙනෙකුට ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළොත් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල්වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවනි. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරද්දී සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. එ්කට හේතුව කාම සැපයටමයි ගිහි ජීවිතය තියෙන්නේ. කෙලෙස් උපදින මාවතක් වගෙයි. හැමතිස්සේම මොකක් හරි දෙයකට හිත බැඳිලා යනවා. එ් වුනාට මේ පැවිදි ජීවිතය නම් හරීම නිදහස්. ආකාශය වගෙයි.

මේ වෙළඳ සොහොයුරන් දෙදෙනා බණ අසාගෙන සිටියා. මහාකාල හිටියේ ඉතාම හොඳින් සවන් දීගෙනයි. බුදුරජාණන් වහන්සේ වදාළ හැම බණ පදයක්ම මෙයාට අවබෝධ වුනා. මෙතරම් උතුම් අවස්ථාවක් ආයෙ කවදාවත් ලැබෙන එකක් නැහැ කියලා මෙයාට තේරුනා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා ගන්ධ කුටියට වැඩියා. මහාකාල ලොකු කල්පනාවකට වැටුනා. එය චුල්ලකාලට මෙහෙම කිව්වා. “මල්ලියේ, ඔයා ගෙදර යන්න. වෙළහෙළඳාම් කටයුතු කර ගන්න. අනෙක් අයට හොඳින් සළකන්න. මං මහණ වෙනවා. මං ආයෙමත් ගිහි ගෙදරට බැඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේව මුණ ගැසුණු වෙලාවේ මේ ලැබුණු දුර්ලභ අවස්ථාව අත්හැරගන්න මම කැමති නැහැ.”

“එහෙම කොහොමද? එතකොට ඒ අක්කලාට මං මොකක්ද කියන්නේ? දරුවන්ට මං මොනවද කියන්නේ? අපි මෙච්චර මහන්සියෙන් කරපු ව්‍යපාර කඩාකප්පල් කරන්නද ඔයා හදන්නෙ? අනික ඔය ඕනතරම් ගිහි ගෙදර ඉඳගෙන මිනිසුන් ධර්මයෙහි හැසිරෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන්නෙ එහෙම කරන්න.”

“නෑ මල්ලියේ, මිනිසුන් ඕන කෙනෙක් එහෙම කෙනෙක් එහෙම කරපුවාවේ. මට ඕන ඒක නොවෙයි. බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි ජීවිතයක් ගත කරගෙන නිවන හොයාගෙන ගියා. උන්වහන්සේ ධර්මය අවබෝධ කළා. මේ ජීවිතය තුළදීම ඒ නිවන අවබෝධ කිරීම පිණිස පැවිදි ජීවිතයේ වටිනාකම පෙන්වලා දුන්නා. ඉතින් මේ අවස්ථාව මට මඟහැරුනොත් ආයෙ ආයෙමත් මට උපදින්න සිද්ධ වේවි. ඒ නිසා මල්ලියේ, මං නැවත ගෙදර යන්න කොහෙත්ම කැමති නෑ. මං මේ සෑම දෙයක්ම අත්හරිනවා. මට ඕන කරන්නේ මේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම විතරයි.” අයියයි, මල්ලියි දෙන්නා ඔය විදිහට වාද කාළා. අන්තිමේදී අයියා ජයගත්තා.

මල්ලි කල්පනා කළේ වෙන දෙයක්. “ඔව්, අයියා මහණ වුනාට කමක් නෑ. පැවිදි වීම කියන්නේ හොඳ දෙයක් නෙ. අයියත් මහණ වෙනවා නම්, මං විතරක් තනියම ආපහු යන්නේ මොකටද? එහෙම නම් මමත් මහණ වෙනවා” කියලා හිතාගෙන එයා මහාකාලට මෙහෙම කිව්වා. “ඔව් අයියේ, ඔයා හරි. කොහොම වුනත් අපි කවුරුත් වයසට ගිහින් මැරිලා යනවා නෙ. අපි කරපු පින්පව් අරගෙන යනවා නෙ. ඉතින් හැම දෙයක්ම මේ ජීවිතයේ අවසන් කරලා නිවන අවබෝධ කරන එක හොඳයි කියලා මමත් කල්පනා කළා.” මහාකාලට හරිම සතුටුයි. එයා මල්ලිව සතුටින් වැළඳගත්තා. ඒ දෙදෙනා ඉතාමත් සතුටින් පැවිදි වුනා.

පැවිදි වුනාට පස්සේ මහාකාල ස්වාමීන් වහන්සේ ඒ පැවිද්ද ගැන ඉතාමත් වගකීම් සහිතව කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ උගන්වන ආකාරයටම සිත, කය, වචනය හසුරුවන්නට ඕන කියල දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තා. කළණ මිතුරන්ගේ ඇසුරේම කල්ගත කරන්න හිතට ගත්තා. ඒ නිසා මහාකාල ස්වාමීන් වහන්සේ ඉතාම සිල්වත් කෙනෙක් වුනා. ඇස්, කන් ආදී ඉඳුරන් හොඳට සංවර කරගත්තා. දමනය වුනා. හිත ඇවිස්සෙන ළාමක දේවල්වලට ඉඩ දුන්නේ නැහැ. දානය වැළඳුවෙත් ජීවිතය පවත්වා ගැනීමට විතරමයි. රස තෘෂ්ණාවට හසු වුනෙත් නැහැ. ශ‍්‍රද්ධාව හොඳින් පැවැත්වුවා. ගෙවෙන හැම තත්පරයකින්ම උපරිම ප්‍රයෝජන ගත්තා. වීරියවන්ත වුනා. සමාධිය දියුණු කළා. සුළු කලකදී අකම්පිත සිත් ඇති රහතන් වහන්සේ නමක් බවට පත් වුනා.

නමුත් චුල්ලකාල ස්වාමීන් වහන්සේ ජීවිතයේ ඇති බැරෑරුම්කම ගැන කල්පනා කළේ නෑ. කම්මැලිකමෙන් කල්ගත කළා. හොඳට නිදාගත්තා. ප්‍රණීත ආහාරපාන ලැබුණ දවසට හොඳට වැළඳුවා. ඇතිපදමට වැළඳුවා. ආයෙමත් නිදාගත්තා. ගිහි ගෙවල්වල ජීවත් වෙන උදවිය දිහා බල බලා සතුටු වුනා. භාවනා කරන්න උත්සාහ ගත්තේ නෑ. ඉඳුරන් සංවර කරගත්තේ නෑ.

දිනක් පන්සියයක් ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ සේතව්‍ය නුවරට වැඩම කළා. සේතව්‍ය නුවර ඇට්ටේරියා වනයෙහි වැඩසිටියා. ස්වාමීන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී මේ මහාකාල, චුල්ලකාල ස්වාමීන් වහන්සේලාව ඒ නගරයේ වැසියන් හඳුනාගත්තා. ඔවුන්ගේ නිවාසට දැනුම් දුන්නා.

දිනක් චුල්ලකාල ස්වාමීන් වහන්සේට ගෙදර දානයට ඇරයුමක් ලැබුනා. ඒ ස්වාමීන් වහන්සේ සතුටින් ගෙදරට වැඩියා. දන් වළඳා අවසානයේ ධර්මය දේශනා කළා. පින් අනුමෝදන් කොට ආපසු වැඩම කිරීම පිණිස අසුනෙන් නැගිට්ටා. එතකොට එ් ස්වාමීන් වහන්සේගේ ගිහිකල බිරින්දෑවරුන් අවිදින් වට කරගත්තා.

“හා…. හා… මේ මොකද? දැන්ම ම පිටත් වෙන්නද හදන්නේ? මෙච්චර කලක් මුන්දැලාට මොකද වුනේ කියල සොයාගන්නට බැරිවයි හිටියේ. දැන් ඉතින් කොහේ යන්නද? ආ… මේ සරම ගන්නවා. හා… කෝ…. ඔය සිවුර අයින් කරන එකයි ඇත්තේ”

චුල්ලකාල ස්වාමීන් වහන්සේ හොඳටම බිය වුනා. පැනල යන්න ලැබුනේ නැහැ. ඒ භාර්යාවන් උන්වහන්සේව බලෙන්ම සිවුරු හැරෙව්වා. ගිහි රෙදි හැන්ඳෙව්වා.

දැන් පවුලේ උදවියට හරිම සතුටුයි. මහාකාල ස්වාමීන් වහන්සේගේ ගෙදර පිරිසටත් චුල්ලකාල සිවුරු හැරීම ගැන ආරංචි වුනා. ඔවුන්ට හරි සතුටුයි.

“හරි… අපේ එක්කෙනාට කරන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි.”

ඔවුන් පසුවදාම මහාකාල ස්වාමීන් වහන්සේ සොයා ගොස් දානයට ආරාධනා කළා. ඒ ඇරයුම පිළිගත් මහාකාල ස්වාමීන් වහන්සේ පසුවදා එම නිවසට වැඩම කළා. පිළිගැන්වූ දානය වැළඳුවා. අනුමෝදනා බණ දේශනා කළා. ආපසු වඩින්නට සිතාගෙන අසුනෙන් නැගිට්ටා. ඒ මොහොතේම මහාකාල ස්වාමීන් වහන්සේගේ ගිහිකල බිරින්දෑවරු සඟවාගෙන සිටි ගිහි ඇඳුම් අතට ගෙන උන්වහන්සේව වට කරගත්තා.

“හා … හා … ආපසු වඩින්න වගේ. ඒවා කොහේද … දැන් ඉතින් මේ වතුපිටි බලාගෙන මල්ලිත් එක්ක වෙළහෙළඳාම් කරගෙන ඉන්න එකයි ඇත්තේ.”

මහාකාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා. දෑස පියාගත්තා. කෙමෙන් කෙමෙන් පොළොවෙන් උඩට ඉස්සුනා. බිරින්දෑවරුන් පස්සට වීසි වුනා. ඇස් ලොකු වුනා. පුදුමෙන් වගේ බලාගෙන හිටියා. මහාකාල ස්වාමීන් වහන්සේ පොළොවෙන් උඩට නැඟී අහසින් වැඩියා. සියලු දෙනා වැඳගෙන ඒ දෙස බලා සිටියා. උන්වහන්සේ නොපෙනී ගියා. බිරින්දෑවරුන් එකිනෙකා බිරාන්ත වෙලා මූණට මූණ බලාගත්තා.

මහාකාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ සහෝදර ස්වාමීන් වහන්සේව බලෙන් සිවුරු හරවා ගත්තා” කියා පවසා සිටියා. එවේලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගාථා දෙක වදාළා.

සුභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීනවීරියං
තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛංව දුබ්බලං

සංවර ඉඳුරන් නොමැතිව – ලස්සන දෙය ගැන රැවටී
ගන්නා ආහාරය ගැන – අරුත් නොදැන එහි ගිජු වී
භාවනාව ගැන නොසිතා – කම්මැලි ලෙස කල් ගෙවනා
කෙනා නිතර වැටෙන්නේම – දුකින් පිරුණු ලෝකයටය
හමනා විට තදින් සුළඟ – කඩා වැටෙයි දුර්වල ගස
මාරයා දමයි ඔහු ඇද – ඉපදෙන මැරෙනා ලෝකෙට

අසුභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ වාතෝ සේලංව පබ්බතං

සංවර වූ ඉඳුරන් ඇති – ලොවෙහි සැබෑ තතු දකිනා
ගන්නා ආහාරය ගැන – අරුතද හඳුනා සිටිනා
සැදැහැ සිතින් යුතුව සොඳින් – වීරිය වඩමින් නිතරම
දහම විනය තුළ සිටිනා – භාවනාව කරන කෙනා
යට කරන්ට බැහැ කිසිවිට – මාරයාට ඔහුගෙ ගමන
තදින් සුළං හමා ගියද – නොසැලේ ගල් කුල කිසි විට

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතය ජය ගන්නේ ඉතාමත් සුළු පිරිසයි. බොහෝ දෙනෙක් පරාජයට පත් වෙනවා. සාමාන්‍ය ලෝකයා මුදල් තිබීම, යානවාහන තිබීම, ඉඩකඩම් වතුපිට තිබීම, උපාධි තනතුරු තිබීම, ලොකු සමාජ තත්වයක් තිබීම, ජයග්‍රහණ හැටියට සළකනවා. එය යම්කිසි ජයග්‍රහණයක් තමයි. නමුත් ජීවිතයක ලොකුම ජයග්‍රහණය වන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමයි. එ්ත් එය අවබෝධ කළ හැක්කේ කාටද යන්න වග අටවෙනි ගාථාවෙන් හොඳින්ම පැහැදිලි වෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, වීරිය නැති, කාම සැපයෙහි ඇලුණු, ඉඳුරන් අසංවර තැනැත්තා මේ ලෝකයට බැඳෙන්නේ සිතාගත නොහැකි වේගයෙන්. බුදුරජාණන් වහන්සේ එය පෙන්වා වදාළේ සුළඟින් කඩා වැටෙන දුබල ගසක් ලෙසයි. මාරයා ඒ තැනැත්තාව වසඟ කරන්නේ ඔහු තුළ ඇති දුර්වලකම් පාදක කොට ගෙනයි. මාරයා යනු මේ ලෝකයෙහි පැවැත්ම හෙවත් ඇස, කන, නාසය, දිව, කය මනස යන සයෙහි පැවැත්මට අධිපති තැනැත්තායි. ඔහු පුද්ගලයෙක්. සංකල්පයක් නොවෙයි. ඔහුව පළමුව හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඔහු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයෙහි හටගන්නා කෙලෙස් තුළින් පුද්ගලයාට සසරෙන් එතෙර වීමට ඉඩ නොදීම පිණිස ලොකු බලපෑමක් කරනවා. බුදු බණ තුළින් විතරයි එය පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන් වන්නේ.

චතුරාර්ය සත්‍යය අවබෝධය යනු ඒ ඇස්, කන් ආදියෙන් නිදහස් වීමයි. එසේ ජීවිතාවබෝධය තුළින් තණ්හාවෙන් නිදහස් වීම ගැන මාරයා කැමති නැත. ඔහු නිතරම කැමති වන්නේ පුද්ගලයා ඇස, කන, නාසය, දිව, කය, මනස යන හයට බැඳී සිටීම ගැනයි. ඒ නිසා හත්වෙනි ගාථාවෙහි සඳහන් දුර්වලතාවලින් හෙබි පුද්ගලයාව එයට බැඳ තැබීම සුළු දෙයකි. ඔහු වහා එයට හසු වෙයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, රහතන් වහන්සේගේ ස්වභාවය කොතරම් අසිරිමත්ද! උන්වහන්සේ කිසිවකට නොඇලෙයි. උන්වහන්සේ අසුභ දෙය ඒ අයුරින්ම දකිනවා. ඉඳුරන් සංවර කරගෙනයි සිටින්නේ. ලොවෙහි ඇති සියලු රස එකට කැටි කොට රහතන් වහන්සේට පිදුවත් රස තෘෂ්ණාවට උන්වහන්සේ කිසිදා හසුවන්නේ නෑ. උන්වහන්සේ වැඩ සිටින්නේ තෘෂ්ණාවෙන් නිදහස් වූ කෙනෙක් හැටියට මිස තෘෂ්ණාවෙහි දාසයෙක් ලෙස නොවෙයි. ඒ රහතන් වහන්සේගේ වීරිය හැම මොහොතේම පවතිනවා. සිහි නුවණ මැනැවින් පවතිනවා.මාරයාට කිසිසේත්ම උන්වහන්සේව තම පාලනයට ගන්නට බැහැ. ඇස, කන, නාසය, දිව, කය, මනස යන හයෙන් නිදහස් වූ උන්වහන්සේ වැඩසිටින්නේ මහා ගල් පර්වතයක් වගේ. කොතරම් සුළඟ හැමුවද එය සොළවාලන්නට කාටවත්ම බැහැ. මාරයා කවර දෙයක් කළද රහතන් වහන්සේව වෙනස් කරන්නට බැහැ. පිරිසිදු සිත් ඇති රහතන් වහන්සේලා බිහි වන්නේ බුදු සසුනක පමණයි. බුදුවරුන්ගේ ලෝකයෙහි බබලන්නේ රහතන් වහන්සේලායි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ