නවතම පුවත්

සිඩ්නි අසපුවට බෝධීන් වහන්සේ වැඩම කරවීම

2018-04-20T10:43:09+05:30April 20th, 2018|News, නවතම පුවත්|

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකාද්වීපයේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදුන උතුම් බෝධීන්වහන්සේ නමක් 2018-04-15 වන දින සිඩ්නි නුවර සුපිහිටි මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදිණි. අලංකාර ලෙස සරසන ලද ‍නෞකාවක වඩාහිඳුවා ධජපතාක නැංවූ මගෙහි ‍සැදැහැවතුන්ගේ සාදුකාර මධ්‍යයේ හේවිසි හා සංඛ නාදයෙන් පුදමින් දර්ශනිය ‍පෙරහැරකින් වැඩම කරවූ බෝධින්වහන්සේ මලින් සැරසු සොඳුරු මණ්ඩපයක තැන්පත් කෙරිණි. අනතුරුව සැදැහැ සිතින් පිළියෙල කල මල්, පහන්, ගිලන්පස ආදී සියලු පුජාවන් පුජාකරමින් සිදුකළ අසිරිමත් බෝධි වන්දනාව බොහෝ දෙනාට පිං ඵල උපදවන්නක් විය.

Comments Off on සිඩ්නි අසපුවට බෝධීන් වහන්සේ වැඩම කරවීම

මහමෙව්නාව මහා විහාරයේ වෙසක් පින්කම්

2018-04-19T08:32:26+05:30April 15th, 2018|News, නවතම පුවත්|

තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යය සිහිකරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධයට උපහාර පිණිස නා නා විධ ආමිස සහ ප්‍රතිපත්ති පූජෝපහාර පැවැත්වීමත් දහස් සංඛ්‍යාත සැදැහැතියන්ගේ සිත් තුළ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය කෙරෙහි පහන් සිතිවිලි ඇති කරලීමත් පිණිස මාතර, උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ ද දින 5ක් පුරා විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ.

කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවේ වෙසක් පින්කම්

2018-04-12T21:07:44+05:30April 12th, 2018|News, නවතම පුවත්|

ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වෙසක් පුන් පොහොය නිමිති කරගෙන කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ අප්‍රේල් මස 21 වන දින සිට 29 වනදා දක්වා ත්‍රිපිටක සජ්ඣායනාවක් ද ඇතුලුව විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ. මින් වසර 2607 කට පෙර දඹදිව බුද්ධගයාවේ වජිරාසනය මත වැඩහිඳිමින් උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කළ අපගේ මහාමුනීන්ද්‍රයන් වහන්සේ විසින් පන්සාලිස් වසරක් මුළුල්ලෙහි දෙව් මිනිස් ලෝ සතුන් කෙරෙහි අපමණ කරුණාවෙන් දේශනා කොට වදාළ නෛර්යාණික ශ්‍රී සද්ධර්මයෙහි ඇතුලත් ඒ ඒ නිකායන්ට අයත් සූත්‍ර දේශනා සතියක් පුරා එම උතුම් පින්බිමේදී බුද්ධ භාෂාවෙන් ම සජ්ඣායනා වනු ඇත. එහි කාලසටහන පහත අමුණා තිබේ. එමෙන්ම එම සතිය පුරා සෑම දිනකම රාත්‍රී 7.00 සිට 8.30 දක්වා ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර එම දිනවලදී කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවට පැමිණීමෙන් එම උතුම් සදහම් ශ්‍රවණය කරන්නටත් සජ්ඣායනා කරන්නටත් ඒ තුලින් උතුම් පින් රැස්කරගැනීමටත් මහඟු අවස්ථාවක් උදාවී ඇත. මීට අමතරව වෙසක් පුන් පොහෝ දින උදෑසන 6.00 සිට පසුදා පහන්වන තුරු සීල භාවනා වැඩසටහන පැවැත්වෙන අතර එදින දහවල් 1.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනයක් ද පැවැත්වීමට නියමිත ය. ලද දුලබ මිනිස් දිවිය තුල තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් ලෙස තම ජීවිතයට අපමණ පින්ඵල නෙළාගනු පිණිසත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුල අර්ථවත්ව සැමරීම පිණිසත් මෙම පින්කම් මාලාවට සම්බන්ධ වන ලෙස මහනුවර ප්‍රදේශයේ වෙසෙන ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

Comments Off on කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවේ වෙසක් පින්කම්

කන්තලේ අසපුවේ පින්කම

2018-04-12T14:47:03+05:30April 12th, 2018|News, නවතම පුවත්|

බොහෝ දෙනෙකුට සුවසේ දහම් අසනු පිණිස කන්තලේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවෙන අභිනව දෙමහල් ධර්ම ශාලාවේ පළමු මහලෙහි වැඩ අවසන් වීම නිමිත්තෙන් සැමට සෙත් පතා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සියක් නමක් පමණ වූ මහසඟරුවන වඩමවා මහා සංඝගත දක්ෂිණාවක් පසුගිය අපේ්්‍රල් මස 7 සහ 8 යන දෙදින තුළ කන්තලේ ධම්මගිරි භාවනා අසපුවේදී බොහෝ සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙහිදී මරණයට කැපවූ කිරිදෙනුන් සයදෙනෙකු මරණයෙන් මුදවා ඔවුන්ව ආදරයෙන් රැකබලා ගත හැකි පවුල් වෙත ලබාදීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ද සිදුකෙරුණු අතර අසපුවෙහි වැඩසිටින සර්වඥ ධාතු නිධාපිත ධම්මගිරි මහසෑ රජුන් උදෙසා විශේෂ වන්දනාවක් ද පවත්වන ලදී. විශේෂයෙන් ම අපගේ වෙබ් අඩවිය මගින් පළකළ දැන්වීම්වලට අනුව මෙම ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය ලබාදුන් දෙස් විදෙස් සැදැහැවතුන්ටත් මෙම පින්කම සාර්ථක අයුරින් සිදුකරගැනීමට නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුළදී ම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ සියලු පින් හේතුවාසනා වේවා!

Comments Off on කන්තලේ අසපුවේ පින්කම

ලේ දන්දීමේ පින්කම | 2018-04-08

2018-04-10T10:00:35+05:30April 10th, 2018|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 26 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2018-04-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 180 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනුයි. “මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා! සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

Comments Off on ලේ දන්දීමේ පින්කම | 2018-04-08

පින්වත් දරුවන් අපේක්ෂිත දෙමව්පියන් උදෙසා වූ සත් දින විශේෂ මහා අධිෂ්ඨාන පූජාව

2018-04-06T15:49:51+05:30April 6th, 2018|News, නවතම පුවත්|

පින්වන්ත දරුවන් අපේක්ෂාවෙන් පසුවෙන දෙමව්පියන් උදෙසා ම විශේෂයෙන් සංවිධානය කරන ලද සත් දින විශේෂ මහා අධිෂ්ඨාන පූජාවක් මෙම අප්‍රේල් මස 24 වන දා සවස සිට මැයි මස 01 වන දා දක්වා අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. මෙම වැඩසටහනට සහභාගී වන පින්වත් දෙමාපියන් හට දානය, ගිලන්පස මෙන්ම නවාතැන් පහසුවද සළසා ඇත.

මොණරාගල අසපුවේ අභිනව බෝධි මණ්ඩපය

2018-04-05T19:25:19+05:30April 5th, 2018|News, නවතම පුවත්|

මොණරාගල මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කම පසුගිය මාර්තු 25 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙම උතුම් පින්කමට සමගාමීව මාර්තු 24 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී.

Comments Off on මොණරාගල අසපුවේ අභිනව බෝධි මණ්ඩපය

සදහම් පොත් පරිත්‍යාග – 2018 මාර්තු

2018-04-05T16:29:43+05:30April 5th, 2018|News, නවතම පුවත්|

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ මාර්තු මාසයේදී ද සදහම් පොත් කට්ටල් 19 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2018 මාර්තු

ගර්භණි මව්වරුන්ගේ විශේෂ සදහම් වැඩසටහන් පෙළ – 3 වන අදියර

2018-03-30T20:09:50+05:30March 30th, 2018|News, නවතම පුවත්|

තුන්වන අදියර මාර්තු මස 24 වන දින කොටපොල මොරවක්කෝරලේ තේ සමූපකාර සමිති ශාලාවේදී පැවැත්විය.මොරවක, පස්ගොඩ, උෟරුබොක්ක හා ඒ අවට ප‍්‍රදේශයේ සිටින ගර්භණී මව්වරුන් එහිදී විශේෂයෙන් ඉලක්ක කෙරුණි. මේ සඳහා ගැබිණි මව්වරුන් 350කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එම මව්වරුන් උතුම් සීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව පැවැත්වීමද සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගේ විශේෂ දේශනය ද පිරිත් සජ්ඣායනය ද මව්වරුන් වෙනුවෙන් පිරිත් පැන් හා පිරිත් නූල් ලබා දීම ද සිදු විය. ඊට අමතරව සෑම මවකටම මහමෙව්නාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේ, සැබෑ බිරිඳ කවුද සදහම් ග්‍ර‍න්ථය මහාමේඝ සදහම් පුවත්පත ද ලබා දීම සිදු විය.

Comments Off on ගර්භණි මව්වරුන්ගේ විශේෂ සදහම් වැඩසටහන් පෙළ – 3 වන අදියර

පොතුහැර අසපුවේ අභිනව බෝධි මණ්ඩපය

2018-03-26T22:04:18+05:30March 26th, 2018|News, නවතම පුවත්|

පොතුහැර මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කම පසුගිය මාර්තු 17 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙම උතුම් පින්කමට සමගාමීව මාර්තු 16 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී.

Go to Top