පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ වෙසක් විශේෂාංගය
නිරය හා දෙව්ලොව (බාල පණ්ඩිත සූත්‍රය)

බාලයා යනු පින් පව් නොඅදහන, ඕනෑම පවක් කරන, පවට ලැජ්ජා බිය නැති, මරණින් මතු නිරයේ දුක් විඳින බව විශ්වාස නොකරන, අඥාන අසත්පුරුෂයා ය.

පණ්ඩිතයා යනු පින් පව් අදහන, පවින් වැළකුණු, පවට ලැජ්ජා භය ඇති, පව් කරන්නා නිරයේ උපදින බවත් පින් කරන්නා දෙව්ලොව උපදින බවත් විශ්වාස කරන නුවණැති සත්පුරුෂයා ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ අසිරිමත් බුදු ඇසින් දුටු නිරයේ සහ දෙව්ලොව විස්තර අපට වදාළ ඉතා විස්මිත දෙසුමකි බාල පණ්ඩිත සූත්‍රය. එම සූත්‍ර දේශනාවෙන් විස්තර වන්නේ අසත්පුරුෂයාගේ පරලොව ජීවිතය දුකෙන් පිරී ඇති ආකාරයත් සත්පුරුෂයා පරලොව සුවපත් වන ආකාරයත් ය.

මජ්ඣිම නිකායට අයත් මෙම දෙසුමෙහි ඇතුලත් කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ලබාදෙනු පිණිස යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරවන චලන රූපක භාවිතා කරමින් ඉතා අසිරිමත් නිර්මාණයක් එළඹෙන වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් ඉදිරිපත් කොට තිබේ. මෙම වෙසක් විශේෂාංගය අප්‍රේල් මස 29 වන දින වෙසක් පුන් පොහෝ දා සිට මැයි මස 06 වන දින දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 9.30 දක්වා එම ශාලාව ඔබ වෙනුවෙන් විවෘතව පවතී.

මෙම විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ඔබට ලාමක වින්දනයක් ලබාදීමට නොව තමන්ගේ ම ක්‍රියාකාරකම් පිළිබඳව ආවර්ජනයක් කොට පවෙන් නිදහස් වී කුසල් දහම්වලට නැඹුරු කිරීම පිණිස පමණි. අප භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් බුදු ඇසින් දුටු කර්ම විපාක පිළිබඳ අදහාගත නොහැකි තරම් විස්මිත දෙයින් බිඳක් මේ තුළින් ඔබට ලබාදී තිබේ.