භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව දකුණු පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පැවැත්වූ විශේෂ ධර්ම දේශනයක් පසුගිය ඔක්තෝබර් 28 දින මාතර වැලිගම නගර ශාලාවේ දී පවත්වන්නට යෙදිණි.

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අප මාතෘභූමියේ දකුණු පළාතේ වෙසෙන සුවහසක් ජනතාව උදෙසා දායාද කරනු පිණිස ආරම්භ කළ මෙම උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය මගින රැස් වන සියලු පින් බඹලොව බ්‍රහ්ම රාජයින්ටත්, සදෙව්ලෝවාසී දෙව්වරුන්ටත්, නාලොව නාගයින්ටත් අපගේ ඉෂ්ටකාමී දෙවිවරුන්ටත් අනුමෝදන් වෙත්වා! එමෙන්ම මේ සියලු ධර්මදානමය පින්කම් සඳහා යෝධ සෙවණැල්ලක් වෙමින් අපහට නිති ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සඟරුවනටත් අනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් මෙකී කටයුතු සඳහා නන් අයුරින් උපකාර කළ දෙස්විදෙස්හි වෙසෙනා සියලුම පින්වතුන්ටත් දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!