දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික කඨින පූණ්‍යෝත්සවය තුන්වන වරටත් පසුගිය ඔක්තෝබර් 14, 15 යන දෙදින තුළ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම කඨින චීවර පූජාවේ ප්‍රධාන දායකත්වය දරන ලද්දේ කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවත් දායක පින්වතුන් විසිනි. වන්දනා චාරිකාවේ සැදැහැබර සංවිධානය ශාන්ති බුද්ධභූමි වන්දනා ආයතනයයි.

එදින ඉන්දියානු සහ විදේශීය ස්වාමීන් වහන්සේලා 300 නමක් විෂයෙහි වටිනා පරිෂ්කාර සහිතව සංඝගත දක්ෂිණාව පූජා කරන්නට යෙදුණේ බුද්ධග්‍යාන් භාවනාශ්‍රම භූමියේ ඉදිවෙමින් පවතින අභිනව තෙමහල් ගොඩනැගිල්ලේ දී ය. ඊට පසුදින බුදුනුවණ අසපුවේ ඉරිදා දහම් පාසලේ අධ්‍යාපනය ලබන ඉන්දියානු දරුවන් 400 දෙනෙකු හට පාසල් උපකරණ සහ ඇඳුම් ප්‍රදානයක් ද සිදු කැරිණි.

කඨින චීවර පූජාව දිනයේ හිමිදිරි උදෑසන අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා මුල්ගල් තැබීමේ පින්කම ද සිදුකෙරුණු අතර එදින ම රාත්‍රියේ දී බුදුනුවණ අසපුවේ දහම් පාසැල් දරු දැරියන් විසින් ඉතා සොඳුරු අයුරින් පාලි සහ හින්දි සෙත් පිරිත් සජ්ඣායනාවක් ද පවත්වන ලදී.

15 වෙනි දින සවස ජය ශ්‍රී මහා බෝ සෙවනේදී පවත්වන ලද සවස සම්බුද්ධ පූජාවෙන් අනතුරුව වජිරාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ඉතාමත් සුන්දර රන් චීවරයක් පූජා කරන ලදී. අපවත් වී වදාළ පූජ්‍ය හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම ද මෙම පින්කමේ විශේෂ අරමුණක් විය.

සියල්ලෝ ම මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා!