රජරටට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය නිමිත්තෙන් 2017 නොවැම්බර් මස 18 වන දින අනුරාධපුර ධම්මචේතිය මහමෙව්නාව භාවනා අසපුවේ විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබුණි.

එහිදී දහසකට ආසන්න ගර්භිණී මාතාවන් වෙනුවෙන් විශේෂ දහම් වැඩසටහනක් ද කුටි සේනාසන පූජාවක් ද පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාවක් ද පරිවාර බෝධීන් වහන්සේලා උදෙසා ස්වර්ණ ප්‍රාකාර පූජාවක් ඇතුලව සිරි ගෞතම බෝධි වන්දනාවක් ද සිදුකරන ලදී.

මෙම දහම් වැඩසටහනට සහභාගී වූ ගර්භිණී මාතාවන් වෙනුවෙන් අංගුලිමාල පිරිතෙහි ආනුභාවය ගැන කියවෙන සුමධුර ධර්ම දේශනාවක් ද ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් ද අත්‍යාවශ්‍ය භාණ්ඩ කට්ටල් පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

සුජාත දරුපරපුරක් උදෙසා අනාගතයේ මෙලොව එළිය දකින්නට බලාසිටින බිළිඳුන් වෙනුවෙනුත් දැයේ මව්වරුන් වෙනුවෙනුත් මෙත් සිත් පෙරටුව සිදුකරන ලද මෙම විශේෂ පුණ්‍ය කර්මය පින් කැමැති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

සැදැහැවත් දායක පින්වතුන්ගේ ධන හා ශ්‍රම පරිත්‍යාගයෙන් ගෞතම සසුනේ පිළිවෙත් පුරනා මහා සඟරුවන උදෙසා අභිනවයෙන් ඉදිකරන ලද කුටි සෙනසුන් 13 ක් සහ පුස්තකාලයක් මෙහිදී සඟසතු කොට පූජා කරන ලදී.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලද මෙම මහත්ඵල මහානිසංස පුණ්‍ය කර්මය පින් කැමැති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

එදින රාත්‍රියේ පරිවාර බෝධීන් වහන්සේලා උදෙසා ස්වර්ණ ප්‍රාකාර පූජාවක් ඇතුලුව සිරි ගෞතම බෝධි වන්දනාවක් ද සිදුකරන ලදී.

විදුලි බුබුළින් අලංකාර කොට, සුවඳ මලින් සරසා, නානාවිධ පූජාවන්ගෙන් සිරි ගෞතම බෝධීන් වහන්සේ පිදීමෙන් රැස්වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!