Moon

ලේ බොන ප්‍රේතයෙක් වී දුවගේ කුසට වධ දුන් තාත්තා

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 9

අපි පව් කරන්නේ නැහැ….
ඒ නිසා මොකටද අලුතෙන් පිං කරන්නේ…
එහෙම කියන අයට ධර්මයෙන් පිළිතුරක්

ධර්මය රස ගුලාවකි. එයින් දැනෙන ලෝකෝත්තර සුවය සදාතනිකය. දම් අමා පැන් යන විරුදාවලිය භාවිතා වන්නේ ඒ උදෙසාය. ධර්මය කොහේ හෝ පොත් ගුලක, සංයුක්ත තැටියක, වෙබ් අඩවියක ගබඩා කර තැබීමෙන් සුරක්ෂිත නොවේ. එය සුරක්ෂිත වනුයේ ජීවමාන සංස්කෘතියක උරුමයක් වීමෙනි. මහෝෂධ කවිඳුන් සඳුන් හර මිට රඳා උපන් සේ, සිංහලයා උපන්නේ ම මේ අනගි දහම හිත දරාය. අධිරාජ්‍යවාදය සහ අනුකාරකත්වයේ වස් වද්දා ගත් සමහරක් සිංහලයෝ මේ දහම, එක්කෝ අත් හළෝය. නැතිනම් ‘මොඞ්‘ කළෝය. සමහරු එය වරද්දා ගත්තෝය. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ මේ දහම් අඬහැරය පාන්නේ, සිංහලයාට තමන් හිත දැරූ උරුමය මතක් කරදීම උදෙසාය.

අවසරයි අපේ හාමුදුරුවනේ… ඔබ වහන්සේ වැනි මහා සංඝරත්නය උදේ සවස මේ වටිනා ධර්මය මිනිසුන්ගේ හිත සුව පිණිස දේශනා කරනවා. යන මාර්ගය වැරදි නම් හරි මාර්ගය අපට පෙන්වා දෙනවා. දාන, ශීල, භාවනා ප්‍රතිපදාවේ වටිනාකම ජනතාවට තේරුම් කර දෙනවා. ඒවා අසන, දරන බහුතරයක් අතරේ, සමහරෙක් ඊට වඩා වෙනස් ආකාරයකින් ධර්මය දෙස බලනවා. ‘අපි කිසි කෙනෙකුට වරදක් කරන්නේ නැහැ… කිසිම වංචාවක් කරන්නෙත් නැහැ. ඒ නිසා අපිට ධර්ම මාර්ගයක්, අලුතෙන් ඕනෑ වෙන්නේ නැහැ…’ කියලා හිතන මේ පිරිස, පන්සල් යන්නෙත් නැහැ… ගියත් යන්නේ ශ්‍රද්ධාව පෙරදැරිව නෙමෙයි. කවුරු හරි එක්ක යන නිසා, ඔහේ යන්නන් වාලේ. මේ පිරිස යන මාර්ගය දෙස බැලුවාම එය ධර්මය අතිනුත් වැරදි නැහැ. නමුත් ඔවුන් ධර්මය තකන්නෙම නැති බවයි පෙනී යන්නේ…

ඔය ප්‍රශ්නයට මම හොඳ කතාවකින් පිළිතුරු දෙන්නම්… එක ගෙදරක පියෙක් හිටියා. එයා පංචශීල ප්‍රතිපදාවේ හිටියා. හැබැයි… තිසරණය නැහැ. තිසරණය නැහැ කියලා, එයා දන්නෙත් නැහැ. තිසරණය තියෙනවා නම්, පුණ්‍ය ක්‍රියාවල නිරත වෙනවනේ… බුද්ධං සරණං ගච්ඡාමි කියලා ගිරව් වගේ කිව්වට, තිසරණයේ පිහිටලා නැහැ. පෙනුමට බෞද්ධයෝ වගේ හිටියට ඒ වගේ අය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි. මහා සෑය වඳින්න, පිංකම් කරන්න ඒ තාත්තාට ඕනෑ කමක් තිබුණේ නැහැ. පිංකම් කරන්න දරුවෝ කතා කරනවා. ‘ඕගොල්ලෝ යන්න… මට ඔය අමුතුවෙන් පිංකම් කරන්න ඕනේ නැහැ… මොකද මම පව් කරන්නේ නැහැ’ කියලා එතකොට එයා දරුවන්ට කියනවා. මේ නිසා දරුවන්ගේ හිතේ පියා ගැන ලොකු භක්තියක් හට ගත්තා. ‘අපේ තාත්තා පව් නොකරන කෙනෙක්…‘ කියලා. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න, පෙර ආත්මේ රැස් කරපු පින ඉවර වේවි යන වග මේ පියාවත්, දරුවොවත් දැනගෙන හිටියේ නැහැ. අලුතෙන් පින් රැස් කර ගත්තේ නැති නිසා, තිබුණ පින ඉවර වෙවී ගියා. පෙර ආත්මේ ඉඳලා මනුෂ්‍ය ලෝකයට ආවේ, අවුරුදු හැත්තෑ පහට නම්, ඒ හැත්තෑ පහට තමයි, එයාට පින් ශක්තිය තිබුණේ. පිනේ විපාකය තිබුණේ. එයා නැවත පින් රැස් නොකරපු නිසා, වයසට යෑමත් එක්ක පින ඉවර වෙවී යනවා. ඒ බව මේ පියා දැනගෙන හිටියේ නැහැ. පින ඉවර වෙවී මෙයා මරණාසන්න අවස්ථාවට ආවා. ලොකු දුව මේ වෙලාවේ තාත්තා ළඟට වෙලා හිටියා. තාත්තා පව් නොකරපු නිසා මනුෂ්‍යයෙක් වෙලා ආයෙත් ඉපදෙන්න පින් ඇති කියලා ලොකු දුව හිතුවා. ‘අනේ තාත්තේ, අපිව දාලා යන්න එපා…. අපි ඔයාට හරිම ආදරෙයි. ඔයා මගේ කුසේ දරුවෙක් වෙලාවත් ඉපදෙන්න…‘ කියලා කිව්වා. අවසාන මොහොත ගත කරන තාත්තාට මේක ඇහුණා. එයාගේ හිතට මේ අදහස ගියා.

තාත්තා මැරුණා. තමන්ගේ දුවගේ කුසේ දරුවෙක් වෙලා ඉපදෙන්න හිතාගෙනයි, මැරුණේ. ඒත් මෙයා පින් කරලා නැහැ. අදහසක් තිබ්බට පින් නැත්නම් මොකද කරන්නේ. පින තමා කරගත්තොත් මිසක්, කඬේ විකුණන්න තියෙනවාද…? නැහැනේ… දරුවෙක් වෙලා දුවගේ කුසට එන්න, මනුෂ්‍යයෙක් වුණේ නැහැ. ලේ බොන ප්‍රේතයෙක් වුණා. එහෙම වෙලා දුවගේ කුසට ආවා. බඩට රිංගනවා… කුසේ ලේ බොනවා… එළියට යනවා… ඊට පස්සේ, මේ අමාරුව දරා ගන්න බැරිව, මේක අයින් කර ගන්න, මේ දුව හැම තැනටම ගිහිල්ලා තියෙනවා. ඒ කිසි තැනකට මේක අයින් කරන්න බැහැ. මොකද කාරණේ… මේක ආරධනා කරලා ගෙන්න ගත්ත එකක් නිසා. මේ ප්‍රේතයාව අයින් කරන්න කියලා ගිය හැම තැනින්ම කියලා තියෙන්නේ එහෙමයි. මේක හොඳ පාඩමක් ඔය වගේ කතා කියන අයට.

‘අපි පව් කරන්නේ නැහැ… ඒ නිසා පින් කරන්න ඕනේ නැහැ…‘ කියන අයට මේක හොඳ පාඩමක්… බුදුරජාණන් වහන්සේ මනා කොට සරණ ගියා නම් මේ අභාග්‍යයට ඒ අය මුහුණ දෙන්නේ නැහැ. ඒ දරුවෝ බුදුරජාණන් වහන්සේ මනාකොට සරණ ගොස් සිටියා නම්, මේ ඉරණම උදාවෙන්නේ නැහැ. ‘තාත්තේ… දෙවියන් අතර හිත පිහිටුවා ගන්න…’ කියලා උසස් තැනකට යන්න ඒ දරුවෝ කියලා දෙනවනේ…

ඔබවහන්සේ අපිට මේ දෙසා වදාරන්නේ, අපි මේ කරගෙන තියෙන පින වැඩි දියුණු කරගන්න ඕනෙමයි කියන එකද…?

අත්‍යාවශ්‍යමයි… ඕනෙමයි… වුවමනාමයි… වඩාත්ම අත්‍යාවශ්‍යයි… බුදුරජාණන් වහන්සේ මනාකොට සරණ යෑම ඒකට තියෙන එකම පදනමයි. එහෙම සරණ ගියා නම් බුද්ධ වචනය අනුව කටයුතු කරනවනේ… අර දුවට ඒ පදනම තිබුනා නම්, තාත්තා සහ තමා කියන දෙන්නම අමාරුවේ වැටෙන්නෙ නැහැනේ. අවසාන මොහොතේ තාත්තාට දිව්‍ය ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නා නම්, ඒක කොයි තරම් වටිනවාද…? ‘තාත්තේ ඔයා මේ මනුෂ්‍ය ලෝකය දිහා නෙමෙයි, බලන්න ඕනේ… දිව්‍ය ලෝකය දිහා… දුටුගැමුණු මහ රජතුමත් තුසිතයේ ඉන්නේ, කාවන්තිස්ස රජතුමා, විහාර මහා දේවිය, සද්ධාතිස්ස රජතුමා, මේ අය ඉන්නේ තුසිතයේ… මෛත්‍රී බෝධි සත්වයෝත් තුසිතයේ ඉන්නේ… දෙවියන් අතරට ගිහිල්ලා, පින් කරලා, ධර්මය අසා, භාවනා කරලා, නිවන් දකින්න’ කියලා කියන්න තිබුණා. නමුත් දුවවත් තිසරණයේ පිහිටලා හිටපු නැති නිසා, ඒ දේ වුණේ නැහැ.

ඔය පින් කරන්න ඕනේ නැහැ කියන එකත් උඩඟුකමක්… මාන්නයක්… බුදුරජාණන් වහන්සේ කියන්නේ, තමන් සරණ ලබා ගත යුතු කෙනෙක්. ඒ සරණ ලබා ගන්න ඕනේ කෙනාගෙන් සරණ පිහිටියා නම්, එයා නිහතමානී වෙනවා. ‘බුදුරජාණන් වහන්සේ කුමක් වදාළේද… මට බුද්ධ වචනයෙන් ඇති පිහිට කුමක්ද…?’ කියලයි එහෙම කෙනා බලන්නේ. පාසල් වියේ සිටම අපිට බුද්ධ වචනය උගන්වනවා. සමහරු වියපත් වෙනකොට ඇතිවෙන මානය නිසා, ඒ බුද්ධ වචනය බැහැර කරනවා. ඒ තාත්තා එහෙම කරපු කෙනෙක්. තාත්තාට ආයෙත් එන්න කියලා කියූ දරුවාම තාත්තාට වෛර කරන්න පෙලඹුණා. ‘මොකක්ද මේ අපිට කරපු අපරාධය’ කියලා දරුවෝ තාත්තාට වෛර කරන්න පටන් ගත්තා.

වර්තමාන මනුෂ්‍යයා ඇසූපිරූ තැන් වැඩියි… ශ්‍රැතය වැඩියි. මනුෂ්‍යයෙක් ගත්තොත් ඒ අය ළඟ විශාල දැනුමක් තියෙනවා. විශ්වය ගැන, ලෝකය ගැන ආදී වශයෙන් මාතෘකා මිනිස්සු කතා බස් කරනවා. මේ කතා බස් අතරේ තමයි මේ චරිත දෝලනය වෙන්නේ… හරි දේ මොකක්ද කියලා, එතකොට මෙයාට තෝරාගන්න බැරි වෙනවා. ‘මමත් බොහෝ දේවල් දන්නා කෙනෙක්…‘ කියලා එයා නිකම්ම මානයකට පිවිසෙනවා.

‘කියන්නම් සෙනෙහසින් – මිය නොයන් හිස් අතින්‘ කියලා ඔබ වහන්සේ විසින් පොතක් පළකරලා තිබුනා…. අපේ හාමුදුරුවනේ, අපි කොහොමද ‘පුරවාගෙන‘ මිය යන්නේ…?

යම් කිසි ප්‍රමාණයකටවත් අපි හිස් අතින් මිය නොයන්නට නම්, විශේෂයෙන්ම තියෙන්න ඕනේ දෙයක් තමයි, ගුණාත්මක පදනම. ඒකට උපකාර කරන ප්‍රධාන දේ තමයි, සත්පුරුෂ ආශ්‍රය, කල්‍යාණ මිත්‍ර ඇසුර. ආනන්ද හාමුදුරුවන්ට එක තැනකදී නිකම් කියවෙනවා, මේ බුද්ධ ශාසනයේ අර්ධයක් පවතින්නේ, කල්‍යාණ මිත්‍රයන් නිසා කියලා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මේ ශාසනය සම්පුර්ණයෙන් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසා කියලා. මේ ලංකාවට මේ සියලු සම්පත් ලැබුණේ, කල්‍යාණ මිත්‍ර උත්තමයෙක් නිසා. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ. ඒ කල්‍යාණ මිත්‍රත්වයේ මහා සංකේත තමයි, ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහ සෑය ආදිය. ඒ දේවල් අපිට රහතුන් වහන්සේලා, රජවරු ලබා දීලා තියෙන්නේ, අපේ සැපය උදෙසා. ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය හරහා අපිට ගුණාත්මක බව දියුණු කරගන්න පුළුවන්. ඒ මහා සංකේත තියෙන්නේ, උඩඟුකම දියුණු කරගන්න නෙමෙයි, කළගුණ දියුණු කර ගන්න.

දැන් සමාජයේ තියෙන ප්‍රධාන දේ තමයි, ඉවසීම නැති එක. ඉවසන්න පුරුදුවෙන්න ඕනේ. ඒ වගේම තිසරණයේ මනාව පිහිටන්න ඕනේ. මේ ළඟදි මහත්තයෙක් මට ඇවිල්ලා කියනවා ‘ස්වාමීනී… ලෝකය තිබෙන්නේ දුක මත කියලා, බුදුරජාණන් වහන්සේ වදාළානේ…‘ කියලා. තමන්ගේ ප්‍රශ්න දෙස ඒ විදිහට බලන්න පුරුදු වුණු අය ඉන්න එක ගැන මට සතුටක් ඇතිවුණා. එයාට ඒ තුළ, ඉවසීමෙන් තමන්ගේ මාර්ගය කරා යන්න පුළුවන්කම තියෙනවා. අද තියෙන්නේ පුදුම හදිස්සියක්නේ… හැමදේම ඉක්මනට අත්පත් කර ගන්න තමයි වුවමනා වෙලා තියෙන්නේ… වැඩිපුර අත්පත් කර ගන්න තමයි වුවමනා වෙලා තියෙන්නේ… ඒ සඳහා සාස්තර පස්සේ යනවා. එක්කෝ යාඥා පස්සේ යනවා. මේ හැමදේම කරන්නේ ඉක්මනට අත්පත් කර ගන්න. නමුත් මේ ධර්මයේ පෙන්වලා දෙන දෙයක් තමයි ඉවසීම. ඉවසීම සමග දරාගෙන, ධර්මය පිළිසරණක් කරගෙන යන්න පුළුවන් නම්, එයා සසරේ ස්වභාවය හඳුනා ගන්නවා. අපි කේන්දර නැකත් බලපු ගමන් ප්‍රශ්න නැතිවෙනවා නම්, රුවන්වැලිසෑය වැන්ද ගමන් ප්‍රශ්න නැතිවෙනවා නම්, නැකතට සියලු දේ පටන් ගත්තාම ප්‍රශ්න නැති වෙනවා නම්, මේ ලෝකයට කිසි දෙයක් වුවමනා වෙන්නේ නැහැනේ… ඒ ටික හරියට තිබුණහම ඇතිනේ… ලෝකයේ ජාතියකින් ජාතියකට, රටකින් රටකට ප්‍රශ්න වෙනස් වෙන්නේ නැහැ. සමානව සියලු දෙනා දුක් විඳිනවා. දුකෙන් තොර චරිතයක් මේ ලෝකේ නැහැ. මනාකොට තිසරණයේ පිහිටා සිටියහොත් එයාට මේ දුක මැද්දෙන් සරණ තෝරාගන්න පුළුවන්. ඒක තමයි, තිසරණයේ ප්‍රාතිහාර්ය.

අප ජීවත් වෙමින් මේ ගත කරන පිළිවෙළ දුකක් බව තේරුම් ගන්න ඕන. මෙච්චර දුර දුක් විඳිමින් අප ආවේ හේතුවක් නිසයි. ඒක අප දැන ගත්තේ ශ්‍රී සද්ධර්මයෙන්. ඒ හේතුව අපේ හිතෙන් ඉවත් වෙච්ච දවසට අප සදහටම මේ ලෝකයෙන් නිදහස් වෙනවා. අන්න ඒ තත්ත්වය අපි මේ ජීවිතයේදී ඇති කරගනිමු. එහෙම වුණොත් උපරිම ආත්මභාව හතයි අපට සංසාරේ දුක තුළ ඉන්න වෙන්නේ. ඇති නේද? ඇති… නරක තැනක යන්නෙත් නෑ. තිරිසන් ලෝකෙ, අපායේ, ප්‍රේත ලෝකේ යන්නේ පෘථග්ජන අයයි. අපට පුළුවන් ඒ තත්ත්වයෙන් මිදෙන්න. එහෙම ධර්මයක් අපට ලැබිල තියෙන්නෙ. ඒ සද්ධර්මයට පුළුවන් අපව නිදහස් කරන්නට. ඒක කොහොමහරි කැරකිලා යෙදෙනවා පින්වන්ත අයට.

අපට කලින් යුගයේ අයට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අපට කලින් හිටපු අයට අසන්නට ලැබුණේ මේවා නොවෙයි. ‘විශාඛා… සුමනා… සුජාතා… බන්ධුල මල්ලිකා වැනි දේවීවරුන්ට සෙයින් ද, අනාථපිණ්ඩික ආදී සිටුවරුන්ට සෙයින් ද, කලට මුල් අකලට නොනස්නා උපභෝග පරිභෝග සම්පත් ගව මහේෂ ස්වර්ණාභරණ ආදිය ලදින්….’ ඒ ආකාරයටයි අපට ඇසුණේ. සංසාරේ ගැනමයි වර්ණනා කළේ. නමුත් වාසනාවට දැන් අපට යන්තම් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්.

ශ්‍රී සද්ධර්මයට අනුව තමා තුළින් බලමින් තේරුම් ගත යුතුයි. අපට ජීවිතේ ඇත්ත අවබෝධ කරන්නට පුළුවන්. ඒ සඳහා බැලිය යුත්තේ වෙන කිසිවෙක් දෙස නොව තමන් දෙසයි. සාමාන්‍යයෙන් අපේ සිතුවිලි සකස් වී තිබෙන්නේ තමන්ගේ පැත්තට නොවෙයි. අනුන්ගේ පැත්තටයි. ඉතින් ඒ අනුන් ගේ පැත්තට හැරෙන සිතුවිලි තමන්ගේ පැත්තට හරවාගෙන බලන්න පුරුදු වුණොත් අපට ටික ටික තමන්ගේ ජීවිතේ ඇතුළු පැත්ත පේන්න ගන්නවා. තමන්ගේ ජීවිතේ ඇතුළු පැත්ත ටික ටික හඳුනගන්න පුළුවන් වෙනවා. එවිට අපට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් මදි. ඒ ධර්මය හරියාකාරව තේරුම් ගත් පසු එය ඊළඟ පරම්පරාවටත් ආරක්ෂා කොට, අවබෝධය ලබා දිය යුතුයි. ශ්‍රී සද්ධර්මය හදාරමින් තමා තුළින් තේරුම් ගත යුතු දෙයක්. අපට සද්ධර්මය, සද්ධර්මය විදිහට කතා කරන්නට බොහෝම කලාතුරකින් ලැබුණු අවස්ථාවක් තමයි මේ.

දුකින් නිදහස් වෙන්න තියෙන මග සතර සතිපට්ඨානයයි. සතිපට්ඨාන කියන්නෙ සිහිය පිහිටුවා ගැනීම. මෙය බොහොම ගෞරවයෙන් ඉගෙනගෙන ඒ අනුව සිහිය පිහිටුවා ගත යුතුයි. එලෙස සිහිය පිහිටුවා ගත් පසු ප්‍රථමයෙන්ම සිදුවෙන්නේ, අපේ සිත බාහිර අරමුණුවලින් මුදවාගෙන සතර සතිපට්ඨානය තුළම ඒ සිහිය පිහිටුවා ගන්න පුළුවන් වීමයි. එහෙම කරගත්තොත් එතන ඉඳල දියුණු වෙන්නේ සප්ත බොජ්ඣංගයි. අවබෝධයට වුවමනා අංග තමයි එතැන් සිට දියුණු වෙන්නේ.

සප්ත බොජ්ඣංග හෙවත් අවබෝධයට වුවමනා අංග හතක් තියෙනවා. ඒ තමයි 1. සති – 2. ධම්මවිචය – 3. වීරිය – 4. ප්‍රීති – 5. පස්සද්ධි – 6. සමාධි – 7. උපේක්ඛා.

අප විසින් අවබෝධයකින් යුතුව මේ ශ්‍රී සද්ධර්මය මනාකොට හදාරන්නට පටන් ගත්තොත් ධම්මානුසාරීභාවය කරා ළගාවෙන්න පුළුවන්….

ධම්මානුසාරී යනු සෝවාන් මාර්ගයේ දියුණු අවස්ථාවයි. ධම්මානුසාරී කෙනා තමාගේ මනස තමන් විසින්ම දමනය කරනු ලබනවා. වැලක් තියෙනවා කියල හිතමු. අපට මේ වැල යවන්න ඕන වෙනවා දකුණු පැත්තට. ඒ නිසා දකුණු පැත්තට හරවලා වැල ගැට ගැසියයුතු වෙනවා. ඊට පස්සෙ වැල ඒ පැත්තට ඉබේම යනවා. අප විසින් කළේ වැල දකුණට හැරවීම පමණයි. අන්න ඒ වගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ඉන්ද්‍රිය හය ටික ටික පාලනය කරන්න අප පුරුදු කරනවා. එය කළ යුත්තේ සතිපට්ඨානයට හිත යොමු කරමින්. එහෙම පාලනය වුණාට පස්සෙ අප වචනයෙන් පුරුදු කරනවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි කියලා. එහි තේරුම නම් ඇස සකස් වී තිබෙන දෙයක්. සකස් වී ඇති දෙයක් නම් වෙනස් වෙන දෙයක්. ඇසට පෙනෙන රූප අනිත්‍යයි. ඒ කියන්නේ රූප සකස් වුණ දේවල්. සකස් වෙලා තියෙන දේවල් වෙනස් වෙනවා. මේ වගේ අපේ සම්පූර්ණ ජීවිත කතාවෙම ඇත්ත තත්ත්වය විමසන්න පුරුදු කරනවා. දැන් දියුණු වෙලා තියෙන්නෙ ශ්‍රද්ධාවද? නැත්නම් ධර්ම ඥානයද? කලින් මුළු හදවතින්ම ධර්ම මාර්ගය පිළිගත්තා. ඇසූ දේ ඇහුවා. පිළිගත්තා. එතනින් නතර වුණේ නෑ. ඒ ඇසූ දේ දරාගෙන එය තේරුම් ගැනීම පිණිස දැන් මානසික අභ්‍යාසයක යෙදෙනවා, දැන් ටිකෙන් ටික ගැඹුරු කාරණා තමන්ට වැටහෙන්නට පටන් ගන්නවා. දැන් දියුණු වෙන්නේ ධර්ම ඥානයයි. ඒක තමයි ධම්මානුසාරී කියන්නේ. සාක්ෂාත් කරනවා නම්, අත්දකිනවා නම්, කිසිම දවසක අපේ ශ්‍රද්ධාව වෙනස් කරන්නට හැකිවන්නේ නැහැ. ධර්මාවබෝධයට තරාතිරම් නෑ…

බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම දුප්පත් මනුස්සයෙක් හිටියා. එයා කුෂ්ට රෝගියෙක්. යාන්තම් කාලා බීලා ජීවත්වෙන කෙනෙක්. එයා කෑමක් හොයාගෙන යනකොට පිරිසක් වටවෙලා ඉන්නවා දැක්කා. කෑම බෙදන තැනක් වෙන්න ඇති කියල ගිහිල්ල බැලුවහම බණ කියන තැනක්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන වේලාවක්. බලන්න මෙයාගෙ බඩගින්න වාසනාවන්ත එකක්. එයාගෙ බඩගින්නයි මේ ධර්මය ලැබෙන තැනට එයාව එව්වේ. බැලුවහම කෑම නෙවෙයි, අමෘතය බෙදන තැනක්. මෙයා පැත්තකින් වාඩිවෙලා බණ අහන්න ලෑස්ති වුණා. මහා කාරුණිකයන් වහන්සේ නුවණින් බැලුවා කවුද අද ධර්මය අවබෝධ කරන කෙනා කියලා. අර හිඟන මනුස්සයාව දැක්කා. එයා ඉලක්ක කරගෙන දහම් දෙසුවා. එයා සෝතාපන්න වුණා. එයා හරි සතුටෙන් ආපහු යද්දි ශක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා, මෙයාගෙ ශ්‍රද්ධාව ගැන විමසන්න. එහෙම හිතලා දිව්‍ය වේශයෙන්ම ඇවිත් මෙයාට කියනවා….

‘නුඹට විශාල වැරදීමක්. නුඹ හිතනව නේද මේ ජීවිතය අනිත්‍යයි කියල? මොන පිස්සු කතාවක්ද ඒ? මේ ජීවිතය දුකයි, ආත්මයක් නෑ කියල හිතනවා නේද? ඒක වැරදියි. ඔබ එන්න මා සමග එකඟව. මම ඔබට කෝටියක් වස්තුව දෙන්නම්…’

මෙන්න සෝතාපන්න කුෂ්ට රෝගියාගෙන් ලැබුණ පිළිතුර…

‘නීච සත්වය, තොප ඔය තරම් අවාසනාවන්තද? යථාර්ථයට පිටුපාන්නෙ ඇයි?’

බලන්න මේ හිඟන මනුස්සයා දියුණුවෙච්ච මට්ටම. ඒ දියුණුව ලබාදුන්නේ මේ ධර්මය විසිනුයි. එහෙම නම් මේ ධර්මයෙන් අපට ඒ දියුණුව ලබන්න පුළුවන්.

වැදගත්ම දේ වෙන්නේ කුඩා දරුවන්ගේ සිත නියමාකාරයෙන් සැකසීමයි. වැඩිහිටියන් සීලය ගැන කතා කරනවා තමයි… නමුත් ඔවුන් කිසිවෙක් කතා කරන්නේ නෑ තෙරුවන ගැන…. අප සරණ ගිය බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන් සිහිකළ යුතුයි. ඒ ශ්‍රී සද්ධර්මය නිතර සිහිකළ යුතුයි. ඒ මහ රහතන් වහන්සේලාගෙන් යුතු මාර්ගඵලලාභී සංඝරත්නය අප නිතර සිහි කළ යුතුයි. වැඩිහිටියන් ඉස්සර වෙලාම මේ තැනට එන්නට ඕන. නැතිව කුඩා දරුවන්ව හරිගස්වන්න බැහැ. වැඩිහිටියන් නිවැරදි වුණොත් කුඩා දරුවන් නියම මාර්ගයට ගැනීම ඉතාම ලේසියි. එහෙම නම් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන ගැන, ප්‍රමුඛව නිරන්තරයෙන් කතා බස් කළ යුතුයි. එහෙම වුනොත් ස්ථිර වශයෙන්ම අපට ආරක්ෂා වෙන්න පුළුවන්. අපට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ. ඒ ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ හා සංඝරත්නයේ පිළිසරණ පමණමයි. ඒ තෙරුවන කෙරෙහි නියම ශ්‍රද්ධාවක් නැති කෙනාගේ බෞද්ධකම ගැන සැක උපදවිය යුතුයි. එවැනි කෙනකුගෙන් යම් අවස්ථාවකදී බෞද්ධ ආගමට විරුද්ධ යමක් වෙන්නට පුළුවන්. මේ ධර්ම මාර්ගයේ මුල තමයි ශ්‍රද්ධාව කියල කියන්නේ. ධර්මය නැතිකම නිසා, ඒ ධර්මය කතා නොකරන නිසා, විශාල පිරිසක් ධර්ම මාර්ගය වෙත පා තබමින් අතරමං වෙනවා. තවත් පිරිසක් ඒ මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී ඉන්නවා. හරි දේ ලැබුණා නම් මෙහෙම මුළා වෙයිද…?

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර