1. විජය රජ්ජුරුවෝ තමන්ගේ රාජ්යනුශාසනයේ අන්තිම අවුරුද්දේ දී මෙසේ කල්පනා කළා. ‘මම් දැන් වයස යි. රාජ මහේෂිකාවට මා නිසා ලැබුණු පුත්‍රයෙකු ත් නෑ.
2. මා විසින් මේ රට ඉතා දුකසේ පිහිටුවා ගත්තේ. මගේ මරණයෙන් පසු රජකමට පුතෙක් නැති නිසා වැනසිලා යාවි. මාගේ සහෝදර සුමිත්තයන් රජකමට ගෙන්නා ගත්තොත් තමයි හොඳ.
3. ඉතින් රජ්ජුරුවෝ මේ කාරණය ගැන ඇමතිවරුන් සමග සාකච්ඡා කළා. දඹදිව සිංහපුරයට සංදේශයක් යැව්වා. සංදේශය යවලා සුළු කලකින් විජය රජ්ජුරුවෝ දිවංගත වුනා.
4. රජ්ජුරුවන් අභාවයට පත් වුනාට පසුව රාජ කුමාරයාගේ ආගමනය බලාපොරොත්තුවෙන් ඇමතිවරු උපතිස්ස ගමේ සිට රටෙහි පාලනය ගෙන ගියා.
5. විජය රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ රාජකුමාරයා ලංකාවට සැපත් වෙන්ට කලින් රජෙක් නැතිව එක් අවුරුද්දක් ගෙවුනා.
6. ඒ වෙද්දී දඹදිව සිංහපුරයේ සිංහබාහු රජ්ජුරුවන්ගෙන් පස්සේ ඔහුගේ පුත්‍රයෙකු වූ සුමිත්ත කුමාරයා රජබවට පත්වෙලා හිටියේ.
7. ඒ සුමිත්ත රජ්ජුරුවෝ නිසා මධු රජුගේ දූ කුමරිය වූ චිත්‍රා නැමැති මෙහෙසියට පුත්‍රයන් තුන්දෙනෙක් ලැබිලා හිටියා. ලංකාවෙන් පිටත්ව ගිය දූතයෝ සිංහපුරයට ගිහින් සුමිත්ත රජ්ජුරුවන්ට සංදේශය පිළිගැන්නුවා.
8. සංදේශයේ විස්තර ඇසූ සුමිත්ත රජු තම පුත්කුමාරවරුන් තිදෙනා ඇමතුවා. ‘මම මහළුයි දරුවෙනි, ඔබෙන් එක් කෙනෙක් යන්න.’
9. මාගේ සහෝදරයා සන්තක වූ, නොයෙක් ගුණයෙන් යුතු, රම්‍ය වූ, අලංකාර ලංකාද්වීපයට ගොහින් ඔහුගෙන් පසුව එහිම රාජ්‍යය කරන්ට ඕනෑ!’
10. ඒ රාජකුමාරවරුන් තිදෙනාගේ බාලයා වූයේ පණ්ඩුවාසුදේව නමැති රාජකුමාරයා යි. ලංකාවට ගියොත් තමන්ට රජකම ලැබෙන බවට නිමිති කියන්නන් පැවසූ අනාගත වාක්‍යයන් සිහිකොට ඒ නිසා ඒ රටට සිදුවන යහපතත් සිහිකොට යන්ට ඕනෑ කියලා කල්පනා කළා.
11. පිය රජ්ජුරුවන්ගෙන් ගමනට අවසර ලැබුනා. ඇමතිවරුන්ගේ දරුවන් තිස් දෙදෙනෙකුත් සමඟ තාපසයන්ගේ වෙස් අරගෙන නැව් නැග්ගා.
12. ඒ පිරිස මහතොට ගඟෙහි මෝයකට ළඟින් මේ දිවයිනට ගොඩ බැස්සා. මහජනයා ඒ තාපසයන් ව දැකලා ආහාර පානාදියෙන් හොඳින් සත්කාර කළා.
13. එතනදී ඔවුන් ‘ඔබගේ නගරය තිබෙන්නේ කොහිද?’ කියා ඇසුවා. ඒ අසාගත් පිළිවෙළින් ක්‍රමයෙන් යමින් දෙවියන්ගේ ආරක්ෂාව ද ඇතිව උපතිස්සගමට පැමිණියා.
14. ඇමතිවරු රැස්වෙලා රාජකුමාරයෙකුගේ පැමිණීම මග බලාගෙන හිටියා. නිමිති කියන්නෙකුගෙන් ඒ ගැන විස්තර ඇසූ විට ඔහු වෙනත් විස්තරත් කිව්වා.
15. රාජ කුමාරයා සත් දවසෙකින් ම පැමිණේවි. මොහුගේ වංශ පරම්පරාවේ උපදින රජෙක් සම්බුද්ධ ශාසනයත් පිහිටුවනවා.
16. හරියට ම දවස් හතකින් උපතිස්ස ගමට පැමිණි ඒ තවුසන්ව දැක්කා. ඔවුන්ගෙන් විස්තර ඇසූ ඇමතිවරු රාජකුමාරයා සැපත් වී සිටින බව දැනගත්තා.
17. පඬුවස් දෙව් කුමාරයාට ලංකා රාජ්‍යය පැවරුවා. නමුත් අභිෂේක කරන්ට රාජ කන්‍යාවක් මෙහි නැති නිසා කුමාරිකාවක් ගෙන්නා ගන්නා තෙක් රාජාභිෂේකය කළේ නෑ.
18. අප භාග්‍යවතුන් වහන්සේගේ පියා වන සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සහෝදරයෙකු වන අමිතෝදන ශාක්‍යයාට පණ්ඩුශාක්‍ය කියා පුත් කුමාරයෙක් හිටියා. විඩූඩභගේ ශාක්‍ය සංහාරය කලින් ම දැනගෙන තමන්ගේ සෙනඟත් රැගෙන කිඹුල්වත් නුවරින් පැනලා ගියා.
19. ගිහින් වෙළඳාමේ යන ව්‍යාජයෙන් ගංගා නම් ගඟින් එතෙර වුනා. එතෙර වෙලා ඒ ප්‍රදේශයේ නගරයක් ඉදි කරගත්තා. එහි රජකම් කළා. පණ්ඩුශාක්‍ය රජුට පුත් කුමාරවරු සත් දෙනෙක් ලැබුනා.
20. ඒ රජුට භද්දකච්චානා නමින් බාල දියණියකුත් සිටියා. මේ රාජ කන්‍යාව රන්රුවක් සේ අතිශයින් බබලන සිරුරින් යුතු වුනා. ඈව ආවාහ කරගන්ට බොහෝ රජවරු කැමැත්තෙන් සිටියා.
21. ඈ ලබාගන්ට කැමතිව රජවරු සත් දෙනෙක් මහානීය තුටු පඬුරු පණ්ඩුශාක්‍ය රජුට එව්වා. මේ සත් රජුන්ගෙන් වන පෙළඹවීමෙන් රජතුමා භයට පත්වුනා.
22. නැවක නග්ගලා ගංගා නම් ගඟේ පා කළොත් භද්දකච්චානා කුමරියගේ ඒ ගමනෙන් යහපතක් වෙන බවත් රාජ මහේෂිකාවක් ලෙස අභිෂේක ලබන බවත් පණ්ඩුශාක්‍ය රජු නිමිති කියන්නෙකුගෙන් දැනගත්තා. එනිසා ඇයව තව තිස් දෙකක් වූ කුමාරිකාවන් සමඟ නැවක නැග්ගුවා.
23. ‘පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාගේ දියණිය ලබා ගනිත්වා!’ කියලා ගංගා නම් ගඟෙහි පා කොට හැරියා. වේගයෙන් පහළට ගසා ගෙන ගිය ඒ නැව අල්ලාගන්ට කාටවත් පුළුවන් වුනේ නෑ.
24. දෙවන දවස වෙද්දී ඒ නැව ගෝණගම් පටුනට සේන්දු වුනා. පැවිදි තැනැත්තියන්ගේ වෙස් ගත් සියලු කන්‍යාවෝ එතැනින් ගොඩ බැස්සා.
25. ඈලා නගරය තියෙන්නේ කොහිද කියා අසාදැනගෙන ඒ අනුව කෙමෙන් කෙමෙන් ඇවිත් දෙවියන්ගේ රැකවල් ඇතිව උපතිස්ස ගමට පැමිණියා.
26. පණ්ඩුවාසදේව කුමාරයා ක්ෂත්රිය කන්‍යාවක නැතිව අභිෂේක ලබන්නේ නැති නිසා ඇමැතිවරු විජිත නම් ඇමතියෙකු ලවා කාලදේව නැමැති නිමිති කියන්නා ළඟට ඒ ගැන දැනගන්ට පිටත් කළා. නිමිතිකාරයා කීවේ ඒ රාජ කන්‍යාව අද ම එනවා කියලයි. උපතිස්ස ගමට ආ කන්‍යාවන්ගෙන් තොරතුරු ඇසූ ඇමතිවරු ඔවුන් රාජකන්යාවන් බව දැන පණ්ඩුවාසුදේව කුමාරයාට ඔවුන්ව භාර දුන්නා.
27. ඒ පිරිසිදු බුද්ධි ඇති ඇමතිවරු ඔවුන්ගේ බලාපොරොත්තු හැම එකක් ම සම්පූර්ණ වූ නිසා ඒ පණ්ඩුවාසුදේව කුමාරයාව ලංකා රාජ්‍යයෙහි අභිෂේක කළා.
28. පණ්ඩුවාසුදේව රජ්ජුරුවෝ තමන්ගේ මෙහෙසිය හැටියට අලාමක රූප සෞන්දර්යයෙන් හෙබි භද්දකච්චානා ශාක්‍ය වංශික රාජකන්‍යාව අභිෂේක කළා. භද්දකච්චානා සමග ආ යෙහෙළියන් තිස් දෙදෙනාව තමන් සමග පැමිණි අමාත්‍ය කුමාරවරු දෙතිස් දෙනාට ආවාහ කරවලා දුන්නා. රජතුමා ඒ විජිත නගරයෙහි සැපසේ රාජ්යානුශාසනයේ යෙදුනා.
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි පණ්ඩුවාසුදේව රජුගේ අභිෂේකය නම් වූ අටවෙනි පරිච්ඡේදය යි.