තුරුණු සිත් රැවටීමට, මුළා කිරීමට වෙර දරණ මනුදම් ගුණ පිරිහුණු සමාජයක වල්මත් වී අයාලේ යන තරුණ සිත් සතන් අමා දම් දියෙන් නිවා සනසාලනු වස්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, මහමෙව්නාවේ සත්පුරුෂ මාධ්‍ය ජාලය ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත්, මහාමේඝ පුවත් සඟරාවත් එක් ව අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ පුණ්‍ය සංකල්පනාවකට අනුව ක්‍රියාත්මක කෙරුණු අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා වූ “යොවුන් දහම් සක්මන“ වැඩසටහන ඊයේ දිනයේ ඉතා සාර්ථක අන්දමින් BMICH හී දී පැවැත්විණි.

නොයෙකුත් ආටෝපයන්ට, වෙළඳ ප්‍රචාරණයන්ට හසු නොවී අද්‍යතන තාරුණ්‍යය ශ්‍රී සද්ධර්මයෙන් ම සුපෝෂිත කරණු පිණිස සපැමිණි පින්වත් දූ පුතුනි, රැස් වූ සියලු පින් සුපින්වත් ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් අනවරාග්‍ර වූ සංසාර ගමනින් අත් මිදී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසත් හේතු වාසනා වේවා….

රැස් වූ සියලු පින් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! බ්‍රහ්මයෝ අනුමෝදන් වෙත්වා! පින් කැමති නාගයෝ අනුමෝදන් වෙත්වා!

ධර්මය මෙය යි, විනය මෙය යි කියා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ම මතු කරමින් අප කෙරෙහි මහත් කරුණාවෙන් පෙන්වා දුන් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා!

මහමෙව්නා අසපුවාසී ලෝකවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, සියලු සිල් ගුණදම් පුරණ පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, අනගාරිකා මෑණියන් වහන්සේලාට ද, අනගාරික දරුවන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා!

දිවා රෑ නොබලා ශ්‍රමයෙන්, මුදලින් මෙන් ම නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් එක සේ අනුමෝදන් වෙත්වා!

දැක බලා අනුමෝදන් වෙන සියලු ම පින්තුන්ට ද මේ පින් එක සේ අනුමෝදන් වෙත්වා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් එදින පවත්වන ලද ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් ශ්‍රවණය කිරීම සඳහා මෙතනින් පිවිසෙන්න.