නොකල් හිරු රැසින් දා ගිය මිහිතලය මත ජල බිඳක් හෝ සොයාගත නො හැකිව දැඩි නියඟයෙන් අසරණව හුන් අපේ ම සහෝදර ජනතාවට ජීවිතය දන් දීමට අපට හැකිවිය. පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුවේ මූලිකත්වයෙන් ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා, තාවතිංස යාත්‍රා සහ මහාමේඝ එක්ව සංවිධාන කළ පානීය ජලය ලබාදීමේ පුණ්‍ය සත්කාරය පසුගිය දින කීපය පුරා ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක දී පැවැත්විණි.

සියලු සතුනගේ පිපාසාව නිවමින් ගලායන නදියක් සෙයින් ජාති ආගම් භේදයකින් තොරව සැමගේ පිපාසාව නිවාලන මෙම පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ සැප්තැම්බර් 24 වන දින ලංකාපුර ප්‍රාදේශීය සභාවට අයත් දෙඹරැල්ල, අභයපුර, අල්හිලාල්පුර සහ සුංගාවිල ප්‍රදේශයන්හී නියඟයෙන් පීඩාවට පත් අපේම අසරණ මිනිසුන් වෙත පිරිසිදු පානීය ජලය ලීටර් හතලිස් තුන්දහසක් පමණ බෙදා දෙමින් ඔවුන්ගේ ජල අවශ්‍යතාවය සපුරාලීමට අපට හැකි විය. ලංකාපුර ප්‍රාදේශීය ලේකම්තුමන් (පින්වත් ඩබ්. එම්. අයි. කරුණාරත්න මහතා) හරහා සිදුකළ මෙම පින්කම සඳහා පොළොන්නරුව ජලසම්පාදන මණ්ඩලය මගින් නොමිලේ ජලය ලැබිනි.

මෙම පින්කම සඵල කරගැනීමට මෙන්ම එම ප්‍රදේශයේ ජල හිඟය දුරු කිරීමට මහත් පරිශ්‍රමයක් දරන ප්‍රාදේශීය ලේකම්තුමන් අැතුළු කාර්යමණ්ඩලයට ද පොළොන්නරුව ජලසම්පාදන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරුතුමන් ඇතුළු කාර්යමණ්ඩලයට ද, මුදලින් මෙන්ම ශ්‍රමයෙන් අපහට උපකාර කළ සැමට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා..!

————————————————————————————————————

සැප්තැම්බර් 25 සහ 26 යන දිනයන්හි මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවට අයත් ඇටඹඔය, සමඟිපුර, අඩි අට, ජයතුගම, මීගුල්වැව, පතෝලකෙටුව, ගැමුණුපුර සහ පුබුදුගම යන ගම්මානයන්හී නියඟයෙන් පීඩාවට පත් අසරණ පවුල් 1900 කට පමණ පිරිසිදු පානීය ජලය බෙදා දෙමින් ඔවුන්ගේ ජල අවශ්‍යතාවය සපුරාලීමට අපට හැකි විය. මැදිරිගිරිිය ප්‍රාදේශීය ලේකම්තුමිය (පින්වත් ආර්. එම්. ඩී. පී. පුෂ්කුමාරි මහත්මිය) හරහා සිදුකළ මෙම පින්කම සඳහා පොළොන්නරුව ජලසම්පාදන මණ්ඩලය මගින් නොමිලේ ජලය ලැබිනි. එමෙන්ම මීට සමගාමීව ඇටඹඔය සහ සමඟිපුර ගම්මානයන්හී ඉතා දිළිඳු පවුල් සඳහා වියලි ආහාර, පාසැල් උපකරණ සහ ඇඳුම් කට්ටලයන්ද බෙදාදෙන ලදි.

මෙම පින්කම සඵල කරගැනීමට මෙන්ම එම ප්‍රදේශයේ ජල හිඟය දුරු කිරීමට මහත් පරිශ්‍රමයක් දරන ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්යමණ්ඩලයට ද පොළොන්නරුව ජලසම්පාදන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරුතුමන් ඇතුළු කාර්යමණ්ඩලයට ද, මුදලින් මෙන්ම ශ්‍රමයෙන් ද අපහට උපකාර කළ සැමටත් වියලි ආහාර සහ උපකරණ කට්ටලයන් ලබාදුන් ඕස්ටේ‍්‍රලියාවේ බොදුදිරිය සමාජසකත්කාර ඒකකය සහ දිමුතු සිරිවර්ධන මහත්මා ඇතුළු සියළු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා..!

—————————————————————————————————————

සැප්තැම්බර් 27 වන දින වැලිකන්ද ප්‍රාදේශීය සභාවට අයත් මඟුල්පොකුණගම සහ නාමල්ගම යන ගම්මානයන්හී නියඟයෙන් පීඩාවට පත් අසරණ පවුල් 550 කට පමණ පිරිසිදු පානීය ජලය බෙදා දෙමින් ඔවුන්ගේ ජල අවශ්‍යතාවය සපුරාලීමට අපට හැකි විය. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්තුමන් (පින්වත් බණ්ඩාර මහතා) හරහා සිදුකළ මෙම පින්කම සඳහා පොළොන්නරුව ජලසම්පාදන මණ්ඩලය මගින් නොමිලේ ජලය ලැබිනි.

මෙම පින්කම සඵල කරගැනීමට මෙන්ම එම ප්‍රදේශයේ ජල හිඟය දුරු කිරීමට මහත් පරිශ්‍රමයක් දරන ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු කාර්යමණ්ඩලයට ද පොළොන්නරුව ජලසම්පාදන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරුතුමන් ඇතුළු කාර්යමණ්ඩලයට ද, මුදලින් මෙන්ම ශ්‍රමයෙන් ද අපහට උපකාර කළ සැමට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා..!