11.1. පංච උපාදානස්කන්ධය පිළිබඳ හැදින්වීම
මෙතෙක් ඔබ ඉගෙන ගත් දේ…
ඔබ දැන් සතර සතිපට්ඨානය තුළ සෑහෙන තොරතුරු ඉගෙන ගෙන තියෙනවා. ඒ තමයි ආනාපානසති භාවනාව වඩන හැටි දැන් ඔබ දන්නවා. (සති සම්පජඤ්ඤය) සිහි නුවණින් යුක්තව ඉරියව් පවත්වන හැටි ඔබ දන්නවා. ඒ වගේම සතර ඉරියව්ව තුළ සිහිය පවත්වන හැටි දන්නවා. අසුභ භාවනාව ගැන දන්නවා. ධාතු මනසිකාරය ගැනත් ඔබ දන්නවා. ඒ වගේම මළකුණක් අමුසොහොනෙදි ආකාර නවයක් ඇතුළත පොළොවට පස්වෙලා යනකම්ම සිදුවෙන ක්‍රියාවලිය භාවනාවට නගන්නට ඔබ දන්නවා. ඒ වගේම වේදනානුපස්සනාව කියන්නේ මොකක්ද කියලත් ඔබ දන්නවා. මොකක්ද චිත්තානුපස්සනා භාවනාව කියන්නේ කියලත් ඔබ දන්නවා. ඊළඟට ධම්මානුපස්සනාවේ එක කොටසක් දන්නවා. ඒ තමයි පංච නීවරණ ගැන.
පැහැදිලි ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනෙ…
මේ ජීවිතය ගැන විශාල අවබෝධයක් ශ්රාවකයාට ලබාදෙනවා බුදුරජාණන් වහන්සේ විසින්. බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ නිවන් මග පෙන්වා වදාළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ විසින්ම පාවිච්චි කරනවා (අසංජාතස්ස මග්ගස්ස සංජනේතා) නොදන්නා වූ මාර්ගය උපදවන කෙනා. (අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා) ලෝකයේ කවුරුවත් නො කියපු නිවන් මග කියන කෙනා. (මග්ගඤ්ඤූ) ඒ මාර්ගය මනා කොට අවබෝධ කළ කෙනා (මග්ගවිදූ) මාර්ගය මනා කොට දන්න කෙනා. (මග්ගකෝවිදෝ) මාර්ගය මනාකොට පෙන්වාලන්නට සමර්ථ කෙනා. මේ නම් ඔක්කොම යොදල තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. මේ හිත හැසිරවීමේ මාර්ගය පෙන්වා වදාළේ බුදුරජාණන් වහන්සේ තමයි. මේ නිසා ඔබ හොඳ ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති කරගන්නට ඕනෙ.
ඉතින් නිවන් මග පෙන්වා දෙන්නට බුදුරජාණන් වහන්සේ තරම් ලෝකෙ වෙන කවුරුවත් කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේට පුළුවනි මේ සිත හසුරුවන ආකාරය ගැන පෙන්වා දෙන්නට. ඒකට තමයි මාර්ගය පෙන්වනවා කියන්නේ. දැන් අපි පාසල් ගියේ අපට මාර්ගයක් පෙන්නුවා දෙමව්පියෝ. ඒ මාර්ගයේ තමයි අපි ගියේ. ඒ වගේ මේ ජීවිතයේ සැප ලැබෙන, දුකින් නිදහස් වන මාර්ගයක් පෙන්වනවා අපගේ ශාස්තෘන් වහන්සේ. මේ මාර්ගය තුළ අපි ගියොත් අපි ජීවිතය අවබෝධ කරල දුකින් නිදහස් වෙනවා. ඒකට තමයි මේ මාර්ගය උපකාර වෙන්නෙ.
පංච උපාදානස්කන්ධය හඳුනාගනිමු…
ඉතින් මේකට සිහිය පවත්වාගන්නට තියෙනවා ධම්මානුපස්සනාවේ. ඒකට දැන් ඔබ ඉගෙන ගන්නේ විශේෂ භාවනාවක්. මේ භාවනාවට කියන්නේ පංච උපාදානස්කන්ධ භාවනාව කියල. ඔබ අහල ඇති පංච උපාදනස්කන්ධය කියන වචනය. ඔබට මතකද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව.
අන්න ඒ සූත්‍රයේ තියෙනවා ”පින්වත් මහණෙනි, මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍යය. ඉපදීම දුකක්. ජරාවට පත්වීම දුකක්. මරණය දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියයන් හා එක්වීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. කොටින්ම කිව්වොත් පංච උපාදාන ස්කන්ධයම දුකයි” කියල. එහෙම නම් මේ පංච උපාදානස්කන්ධය අයිති දුකට. පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන්නේ දුක අවබෝධ කරනවා කියන එක. පංච උපාදානස්කන්ධය ගැන සිහිය පිහිටුවනවා කියන්නේ දුක ගැන සිහිය පිහිටුවනවා කියන එක. අන්න ඒ නිසා ඒ කෙනාට පංච උපාදානස්කන්ධය ගැන සෑහෙන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා.
විමසිය යුතු දේ…
බුදුරජාණන් වහන්සේ වදාළා ශ්රාවකයා හුදෙකලා වෙලා තේරුම් ගන්නව මෙන්න මේකයි රූපය, මේකයි වේදනාව, මේකයි සඤ්ඤාව, මේකයි සංස්කාර, මේකයි විඤ්ඤාණය. මෙහෙමයි රූපය හටගන්නෙ, මෙහෙමයි රූපය අභාවයට යන්නෙ. මෙහෙමයි වේදනාව හටගන්නෙ, වේදනාව අභාවයට යන්නෙ. මෙහෙමයි සඤ්්ඤාව හටගන්නෙ, සඤ්ඤාව අභාවයට යන්නෙ. මෙහෙමයි සංස්කාර හටගන්නෙ, සංස්කාර අභාවයට යන්නෙ. මෙහෙමයි විඤ්ඤාණය හටගන්නෙ. මෙහෙමයි විඤ්ඤාණය අභාවයට යන්නෙ කියල පංච උපාදාන ස්කන්ධය ගැනත්, පංච උපාදාන ස්කන්ධය දිගින් දිගටම හටගන්නා ආකාරය ගැනත්, පංච උපාදාන ස්කන්ධය සදහටම නැතිවෙන්නෙ මේ ආකාරයටත් කියන මේ ආකාර තුන ගැනම විශේෂයෙන්ම සිහිය පිහිටුවාගෙන නුවණින් විමසීම තමයි මේ උපාදාන ස්කන්ධ භාවනාවට අයිති.
දැන් ඔබ මේ ගැන සෑහෙන තොරතුරු දැනගත යුතුයි. නැත්නම් ඔබට මේක තේරෙන්නෙ නෑ. පංච උපාදාන ස්කන්ධය කියන වචනය බුදුරජාණන් වහන්සේ විසින් තමයි පැහැදිලිව පාවිච්චි කළේ. පංච කියන්නෙ පහ. උපාදාන ස්කන්ධ පහ. ඒ තමයි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ. මේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන උපාදාන ස්කන්ධ පහ තමයි ඕනෙම කෙනෙකුගේ ජීවිතයක් තුළ තියෙන්නෙ.
පංච ස්කන්ධය – පංච උපාදාන ස්කන්ධය අතර වෙනස
මේ පංච උපාදාන ස්කන්ධයට ඇලී ගැලී වාසය කරන නිසා, මේ පංච උපාදාන ස්කන්ධයට ඇලී ගැලී වාසය කරනවා කියන අර්ථයෙන් මේ පුද්ගලයාට සත්වයා කියල කියනවා. ඉතින් යම්කිසි කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරලා මේ පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වුණොත්, ඒ කෙනාට පංච උපාදාන ස්කන්ධයක් නෑ. පංච ස්කන්ධයක් තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය සත්වයාට තියෙන්නේ පංච ස්කන්ධයක් නෙවෙයි. පංච උපාදාන ස්කන්ධයක්. රහතන් වහන්සේලාට පමණයි පංච ස්කන්ධයක් තියෙන්නේ.
පංච ස්කන්ධයයි, පංච උපාදාන ස්කන්ධයයි අතර වෙනස තමයි, පංච උපාදාන ස්කන්ධය කියන්නේ ඡන්ද රාගයෙන් යුක්ත වූ, ආසාවකට බැඳිච්ච පංච උපාදාන ස්කන්ධය. අසාවෙන් නිදහස් වෙච්ච ගමන් එයාගේ උපාදාන නෑ. පංච ස්කන්ධය විතරයි තියෙන්නේ.
ඉතින් මේකේ තියෙනවා කරුණු පහක්. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ. ඉස්සෙල්ලාම මෙයා කරන්නේ තමන් ජීවිතය තුළින් බලලා මේවා හොඳට අඳුනා ගන්න එක. ඉස්සෙල්ලාම මෙයා අඳුනාගන්නවා රූප උපාදාන ස්කන්ධය. රූප කියලා කියන්නේ (රුප්පතීති රූපං) නැසී වැනසී යන නිසා රූප කියනවා. මොනවද මේ නැසී වැනසී යන දේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේවල්. නැසී වැනසී යන්නේ කොහොමද මේවා. සීතලෙන් නැසී වැනසී යනවා. උණුසුමෙන් නැසී වැනසී යනවා. බඩගින්නෙන් නැසී වැනසී යනවා. පිපාසයෙන් නැසී වැනසී යනවා. අතුරු ආන්තරා වලින් නැසී වැනසී යනවා. රෝග පීඩා වලින් නැසී වැනසී යනවා. ඒ නිසා සතර මහා ධාතූන්ගෙන් හටගත්තු මේ ශරීරයට කියන නමක් රූප.
අවබෝධ කළ යුතු රූපය…
එතකොට මේ රූප ස්කන්ධයෙ වචනයක් තියෙනව ස්කන්ධ කියල. ස්කන්ධ කියල කියන්නේ රූප ගොඩක් කියන අර්ථය නෙවෙයි.
මහා පුණ්ණමා කියල සූත්‍ර දේශනාවක් තියෙනවා. දවසක් පෝය දවසක පූර්වාරාමයේ එළිමහනේ වැඩසිටිද්දී බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩසිටිය වෙලාවක, රහතන් වහන්සේලා පිරිවරාගෙන හිටිය වෙලාවක එක ස්වාමීන් වහන්සේ නමක් ”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම ප්‍රශ්නයක් අහන්නද?” කියල ඇහුවා. ”පින්වත් භික්ෂුව, ඔබ ඉන්න තැනම ඉඳගෙන ප්රශ්නය අහන්න. පිළිතුරු දෙන්නම්” කියල බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න.
ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ අහනවා ”භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පංච උපාදාන ස්කන්ධයේ ස්කන්ධ කියල වචනයක් තියෙනවා. මේ ස්කන්ධ ස්කන්ධ කියන වචනයේ නියම අර්ථය මොකක්ද?” කියල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ”පින්වත් භික්ෂුව, අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද, හට නොගත් අනාගතයේ යම් රූපයක් ඇද්ද, හටගත් වර්තමානයේ යම් රූපයක් ඇද්ද, තමාගේ යැයි සලකන සතර මහා ධාතූන්ගෙන් හටගත් යමක් (රූපයක්) ඇද්ද, අනුන්ගේ යැයි සලකන සතර මහා ධාතූන්ගෙන් හටගත් යමක් (රූපයක්) ඇද්ද, ගොරෝසු ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද, සියුම් ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද, හීන වූ රූපයක් ඇද්ද, ප්‍රණීත වූ රූපයක් ඇද්ද, දුර පවතින රූපයක් ඇද්ද, ළඟ පවතින රූපයක් ඇද්ද මෙන්න මේකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියල.”
කාලය හා අවකාශය අතර පැවැත්ම…
එතකොට ස්කන්ධය කියන වචනය යෙදුවේ ඔන්න ඕකටයි. අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්ම (තමා තුළ), බාහිර (තමාගෙන් පිට), ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ළඟ යම් රූපයක් ඇද්ද, අන්න ඒකට කියනව රූප ස්කන්ධය කියල. එතකොට ස්කන්ධ කියල කිව්වේ ගොඩකට කියන අර්ථය නෙවෙයි. අතීත, අනාගත, වර්තමාන කියන කාලයත්, ආධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ළඟ කියන අවකාශයත් කියන මේ දෙක තුළ පවතින දේට තමයි ස්කන්ධය කියල කිව්වේ.
එතකොට සතර මහා ධාතූන් තුළ පවතින රූපය ඒ කාලයත් අවකාශයත් තුළ පවතිනවා. ඒ නිසා කියනවා රූප ස්කන්ධය කියල. ඒ නිසා දැන් මේ කාලයත්, අවකාශයත් තුළ පවතින ඊට අයත් රූපයක් තමයි මේ ශරීරය තුළ තියෙන්නෙ. ඒ නිසා මේකට රූප ස්කන්ධය කියල කියනවා.
ඒ වගේම වේදනා ස්කන්ධය කියනවා. ස්පර්ශයෙන් හටගත්තු විඳීමට. සඤ්ඤා ස්කන්ධය කියනවා. ස්පර්ශයෙන් හටගත්තු හඳුනාගැනීමට. සංඛාර ස්කන්ධය කියනවා. ස්පර්ශයෙන් හටගත්තු චේතනාවලට. හොඳට මතක තියා ගන්න එතන සංඛාර කියන්නේ චේතනාවට.විඤ්ඤාණ ස්කන්ධය කියනවා. නාම රූපයන්ගෙන් හටගත්තු විඤ්ඤාණය. මේ පංච උපාදාන ස්කන්ධය ගැන තමන්ගේ ජීවිතය තුළින් අවබෝධ කරන්නට පටන් ගන්නට ඕනෙ. එයට සිහිය පිහිටුවාගෙන පුරුදු කරන්නට ඕනෙ. ඒක තමයි උපාදාන ස්කන්ධ භාවනාව.
11.2. එක් එක් උපාදානස්කන්ධය පිළිබඳව විස්තර
ඔබ හරිම වාසනාවන්තයි….
ඔබට සවන් දෙන්නට ලැබෙන්නේ කළාතුරකින් මනුෂ්‍යයෙකුට අහන්නට ලැබෙන දේවල්. ඔබේ ජීවිතය පුරාවට ඔබ පුවත්පත් බලල ඇති. ඔබ කොතෙකුත් රූපවාහිනී වැඩසටහන් බලල ඇති. නමුත් හැබෑවටම ජීවිතය අවබෝධ කරන යමක් කළාතුරකින් තමයි ලැබෙන්නේ. බොහෝ විට ලැබෙන්නෙ නෑ. ඒ නිසා මෙහිදී ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහට, කිසිදු පෞද්ගලික අර්ථ කථනයකට හසු නොවී ඉගෙන ගන්න ලැබෙනවා. ඒක තමයි ඔබ වාසනාවන්ත.
ඉතින් ඔබ දැන් ඉගෙන ගනිමින් සිටින්නේ ධම්මානුපස්සනාවේ පංච උපාදාන ස්කන්ධ භාවනාව ගැනයි. කලින් ඔබ ඉගෙන ගත්තා රූපය ගැන. රූපය කියන්නේ සතර මහා ධාතූන්ගෙන් හටගත් දෙයක්. ස්කන්ධ කියන්නේ කාලය හා අවකාශය තුළ පවතින දේ.
අවබෝධ කරගත යුතු දුක….
එතකොට වේදනාව කියන එකත් කාලය හා අවකාශය තුළ පවතින දෙයක්. සඤ්ඤාවත් එහෙමයි. සංස්කාරත් එහෙමයි. විඤ්ඤාණයත් එහෙමයි. මේ ඔක්කොම අවබෝධ කරගත යුතු දුකටයි අයිති. එතකොට රූප උපාදාන ස්කන්ධය අවබෝධ කරගත යුතු දුකට අයිති එකක්.
වේදනා උපාදාන ස්කන්ධය…
ඊළඟට තියෙනවා වේදනා උපාදාන ස්කන්ධය. වේදනාව කිව්වෙ විඳීම. පින්වතුනි, විඳීම ඇතිවෙන්නේ මේ ආයතන හයෙන් ඇතිවෙන ස්පර්ශය නිසා. ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. දැන් කෙනෙක් ඔබෙන් ඇහුවොත් විඳීම හටගන්නේ කොහෙද කියල ඔබට මතක තියෙන්න ඕනෙ මෙන්න මේ විදිහටයි. විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. එහෙම නම් යම් තැනක ස්පර්ශයක් ඇද්ද එතන තමයි විඳීම.
සඤ්ඤා උපාදාන ස්කන්ධය….
ඊළඟට සඤ්ඤා. සඤ්ඤා කියන්නෙ හඳුනාගැනීම. දැන් ඔබ හඳුනාගන්නෙ මොනවද? ඇස් දෙකෙන් රූප හඳුනාගන්නවා. කණ් දෙකෙන් ශබ්ද හඳුනාගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනාගන්නවා. දිවෙන් රසය හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුනාගන්නවා. මනසින් අරමුණු හඳුනාගන්නවා.
හඳුනාගන්නේ කොහොමද ඔබ? දැන් ඇහෙන් රූපයක් හඳුනා ගන්නේ, ඇස තියෙනවා. ඇසට රූපයක් එනවා. ඇහේ විඤ්ඤාණය ඇතිවෙනවා. එතකොට ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවෙනවා. එතකොටයි ඔබට රූප පේන්නෙ. අන්න එතකොට කියනවා ස්පර්ශය කියල. එතකොට ඇහින් රූප හඳුනාගත්තෙ ඇහේ ස්පර්ශය නිසා. කණින් ශබ්ද හඳුනාගත්තේ කණේ ස්පර්ශය නිසා. නාසයෙන් ගඳ සුවඳ හඳුනාගත්තෙ නාසයේ ස්පර්ශය නිසා. දිවෙන් රස හඳුනාගත්තෙ දිවේ ස්පර්ශය නිසා. කයින් පහස හඳුනාගත්තේ කයේ ස්පර්ශය නිසා. මනසින් අරමුණු හඳුනාගත්තේ මනසේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා හය ආකාර හඳුනාගැනීමක් තියෙනවා කියල තේරුම් ගන්නවා.
සංස්කාර උපාදාන ස්කන්ධය…
ඊළඟට සංඛාර. සංඛාර කියන්නේ චේතනා. චේතනා ඇතිවෙනවා ඇසින් දකින රූපය ගැන. ඇතිවෙලා හිතින්, කයින්, වචනයෙන් කි‍්‍රයාත්මක වෙනවා. චේතනා ඇතිවෙනවා කණින් අහන ශබ්දය ගැන. ඇතිවෙලා හිතින්, කයින්, වචනයෙන් කි‍්‍රයාත්මක වෙනවා. චේතනා ඇතිවෙනවා නාසයට දැනෙන ගඳ සුවඳ ගැන. චේතනා ඇතිවෙනවා දිවට දැනෙන රසය ගැන. චේතනා ඇතිවෙනවා කයට දැනෙන පහස ගැන. චේතනා ඇතිවෙනවා මනසට සිතෙන අරමුණු ගැන.
චේතනා කියල කියන්නේ කර්මය. කර්මය කියල කියන්නේ විපාක දීම පිණිස සකස් වෙන දේ. එහෙම නම් අපි හැම මොහොතකම ඇසින් රූපයක් දැකල චේතනාවක් පහළ කරල හිතින් හිතන කොට, වචනයෙන් ක්‍රියාත්මක වෙන කොට, කයින් ක්‍රියාත්මක වෙන කොට විපාක පිණිස සකස් වෙනවා. මේකට තමයි චේතනාව කියල කියන්නේ. මේකට ම තමයි සංස්කාර කියල කියන්නෙත්. එතකොට සංස්කාර ඇතිවෙන්නේ ස්පර්ශයෙන්. ඇහැයි රූපයයි සංස්කාරයි එකතු වෙන්නේ නැත්නම් ස්පර්ශයක් නෑ.
විඤ්ඤාණ උපාදාන ස්කන්ධය….
ඊළඟට විඤ්ඤාණය. විඤ්ඤාණය ඇති වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. දැන් ඔබෙන් කෙනෙක් ඇහුවොත් විඤ්ඤාණය හටගන්නේ කොහෙද කියල ඔබ පැහැදිලිවම මෙන්න මෙහෙම කියන්න ඕනෙ. විඤ්ඤාණය හටගන්නෙ ආයතන හයේ. බුදුරජාණන් වහන්සේ වදාළා ඇහැත් රූපයත් නිසා විඤ්ඤාණය හටගන්නවා කියල. ඇහැත් රූපයත් නිසා විඤ්ඤාණය හටගන්න හේතු වෙන්නෙ විඤ්ඤාණය නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්න නිසා.
දැන් නාමරූප ඔබට මතකද? නාම කියල කිව්වෙ වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර කියන පහ. රූප කියල කිව්වෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත්, සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේත්. ඒවයින් තමයි මේ ඇස හැදිල තියෙන්නෙ. කණ හැදිල තියෙන්නෙ නාමරූප වලින්. නාසය හැදිල තියෙන්නෙ නාමරූප වලින්. දිව හැදිල තියෙන්නෙ නාමරූප වලින්. කය හැදිල තියෙන්නෙ නාමරූප වලින්. මනස හැදිල තියෙන්නෙ නාමරූප වලින්. ඒ නිසා මේ ආයතන හය තුළ නාමරූප වලින් හැදෙන දේවල් ඔක්කොම හැදෙනවා. නාමරූප වලින් තමයි හැදෙන්නෙ විඤ්ඤාණය.
විඤ්ඤාණය තනියම පවතින්නෙ නෑ…
බුදුරජාණන් වහන්සේ වදාළා මේ විඤ්ඤාණය තනියම පවතින්නෙ නෑ. හුදෙකලාව පවතින්නෙ නෑ. විඤ්ඤාණයක් තනියම ගමන් කරන්නෙ නෑ. විඤ්ඤාණයක් තනියම චුත වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළා කවුරු හරි කියනවා නම් (අහමඤ්ඤත්ර රූපාය, අඤ්ඤත්ර වේදනාය, අඤ්ඤත්ර සඤ්ඤාය, අඤ්ඤත්ර සංඛාරේහි විඤ්ඤාණස්ස ආගතිං වා ගතිං වා චුතිං වා උප්පත්තිං වා පඤ්ඤාපෙස්සාමීති, නේතං ඨානං විජ්ජති) මම රූපයෙන් තොරව, වේදනාවකින් තොරව, සඤ්ඤාවකින් තොරව, සංස්කාර වලින් ඒ කියන්නේ චේතනාවකින් තොරව විඤ්ඤාණයක් එනවා කියල හෝ විඤ්ඤාණයක් යනවා කියල හෝ විඤ්ඤාණයක් චුත වෙනවා කියල හෝ විඤ්ඤාණයක් වැඩෙනවා කියල හෝ විඤ්ඤාණය උපදිනවා කියල හෝ ඒක කිසි දවසක වෙන්න බැරි දෙයක්.
එතකොට අපට ඉතාම හොඳින් පැහැදිලිව වැටහෙනවා, මේ පංච උපාදාන ස්කන්ධයේ හුදකලා විඤ්ඤාණයක් නෑ. විඤ්ඤාණය හැම වෙලේම තියෙන්නෙ රූපයේ බැසගෙන, වේදනාවේ බැසගෙන, සඤ්ඤාවේ බැසගෙන, සංස්කාරයේ බැසගෙන. එහෙම නම් ඒ විඤ්ඤාණය පවතින්නෙ එකට. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර කියන හතරත් සමඟයි.
ඉතින් මේකෙදි අපට ඉතාමත් ම පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා මේක පටලව ගන්නෙ නෑ. පටලවා ගන්නෙ නැත්තෙ මොකද? එයාට ශ්‍රද්ධාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු ගැන. මේ ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි මෙයා ආරම්භයේදී පංච උපාදානස්කන්ධය සිහිකරන්නෙ.
පංච උපාදාන ස්කන්ධයේ හටගැනීම…
ඊළඟට තියෙන්නෙ මේ පංච උපාදානස්කන්ධ හටගන්නෙ කොහොමද කියල සිහිකිරීම. පංච උපාදානස්කන්ධය හටගන්නෙ පටිච්ච සමුප්පාදය තුළ. සතර මහා ධාතූන් ගෙන් හටගත් රූපය රූප උපාදාන ස්කන්ධය බවට පත්වෙන්නෙ, ස්පර්ශයෙන් හටගත් විඳීම වේදනා උපාදාන ස්කන්ධය බවට පත්වෙන්නෙ, ස්පර්ශයෙන් හටගන්නා සඤ්ඤාව සඤ්ඤා උපාදාන ස්කන්ධය බවට පත්වෙන්නෙ, ස්පර්ශයෙන් හටගන්නා සංස්කාර සංස්කාර උපාදාන ස්කන්ධය බවට පත්වෙන්නෙ, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය විඤ්ඤාණ උපාදාන ස්කන්ධය බවට හැදෙන්නෙ, පටිච්ච සමුප්පාදය තුළින්.
එහෙනම් අපට ඉතාම පැහැදිලිව පේනවා මේ පටිච්ච සමුප්පාදය සකස් වෙනතාක් කෙනෙකුගේ ජීවිතයක් තුළ, පංච උපාදාන ස්කන්ධය පවතිනවා. පටිච්ච සමුප්පාදය සකස් වෙනතාක් පංච උපාදාන ස්කන්ධය පවතිනව නම්, පංච උපාදාන ස්කන්ධය කියන්නෙ අනිත්‍ය දෙයක්. ඒ කියන්නෙ රූපයත් අනිත්‍යයයි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයත් අනිත්‍යයයි.
දොළොස් මහේ පහන නිත්‍යයිද?
මේ ගැන සරළ උදාහරණයක් මා කියන්නම්. දැන් අපි කියමු දොළොස් මහේ පහන. දොළොස් මහේ පහන කියල කියන්නේ මාස දොළහෙම ඇවිලෙන පහනක්. එතකොට අපි ජනවාරි මාසෙ පහන දිහා බලන කොට පහන පත්තුවෙමින් තියෙනවා. මැයි මාසෙ බලනකොටත් පහන පත්තු වෙවී තියෙනවා. දෙසැම්බර් මාසෙ බලනකොටත් පහන පත්තු වෙවී තියෙනවා. එතකොට පත්තු වෙවී තියෙන්නෙ අනිත්‍ය වූ පහන් වැටි. අනිත්‍ය වූ තෙල්. එතකොට දැල්වෙමින් තියෙන්නේ අනිත්‍ය වූ පහන් සිලක්. නමුත් මේක අවුරුද්දෙම පත්තුවෙන නිසා කෙනෙක් කිව්වොත්, මම ජනවාරි මාසෙ මේ පහන් සිල දිහා බැලූවා එතකොටත් පත්තු වෙනවා. මම මැයි මාසෙ මේ පහන් සිල දිහා බැලූවා එතකොටත් පත්තු වෙනවා. මම දෙසැම්බර් මාසෙ මේ පහන් සිල දිහා බැලූවා එතකොටත් පත්තු වෙනවා. එහෙනම් මේ පහන් සිළ නිත්‍ය එකක් කියල කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම අනවබෝධයෙන් ඇතිවෙච්ච වැරදි මතයක්. මොකද තෙල්, වැටි මාස දොළහෙම දාපු නිසයි පහන් සිල පත්තු වෙවී තියෙන්නේ.
පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍යයයි…
ඒ වගේ මේ විඤ්ඤාණය පංච උපාදාන ස්කන්ධය තුළ ක්‍රියාත්මක වෙවී, භව පැවැත්ම තුළ සකස් වෙමින් දිගින් දිගට ම ආ මේ ගමන, ස්ථිර විඤ්ඤාණයක් භවයෙන් භවයට මාරුවෙමින් ගිහින් නොවෙයි. පටිච්ච සමුප්පාදයක් දිගින් දිගටම පැවතීම නිසා පංච උපාදාන ස්කන්ධයක් හැදුනා. එහෙම නම් අපට ඉතා පැහැදිලිව තේරෙනවා මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන්නෙ පටිච්ච සමුප්පාදය නිසා. මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන එක නවතිනවා පටිච්ච සමුප්පාදය හැදෙන එක නැවතිච්ච ගමන්.
ඒ කියන්නෙ අවිද්‍යාව මුලුමනින් ම ප්රහාණය වෙච්ච ගමන්, චතුරාර්ය සත්‍යය සම්පූර්ණයෙන් අවබෝධ වෙච්ච ගමන්, එතන ඉඳලා පටිච්ච සමුප්පාදය ඉවරයි.
එහෙනම් අපට ඉතා පැහැදිලියි බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා ධම්මානුපස්සනාව වඩන්නේ ආවාට ගියාට නෙවෙයි. ඒ කෙනා පටිච්ච සමුප්පාදය තුළින් පංච උපාදාන ස්කන්ධය හටගන්නා ආකාරයත් දකිනවා, පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ වෙන ආකාරයත් දකිනවා. පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ වීමට හේතු වුණේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරලා නොපිළිගැනීම.
උපාදාන ස්කන්ධ පහ මේ විදිහට දැක්කොත්….
සතර මහා ධාතූන්ගෙන් හටගත්තු රූප පෙණ ගුළියක් වගේ කෙනෙකුට අවබෝධ වුණා නම්, ස්පර්ශය නිසා හටගන්නා විඳීම දියබුබුලක් වගේ අවබෝධ වුණා නම්, ස්පර්ශයෙන් හටගන්නා සඤ්ඤාව මිරිඟුවක් වගේ අවබෝධ වුණා නම්, ස්පර්ශය නිසා හටගන්නා චේතනා, ඒ කිව්වේ සංඛාර (පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ජාභි සංඛාර) ගැන අරටුවක් හොයාගෙන ගිය කෙනෙක් අරටුව අඳුනගන්න බැරිව, කෙහෙල් ගහක පට්ට ගලවනවා වගේ කියල අවබෝධ වුණා නම්, ඊළඟට කෙනෙකුට නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය මායා ස්වරූපී දෙයක් හැටියට අවබෝධ වුණා නම්, මැජික් කාරයෙක් හතරමං හන්දියක මැජික් පෙන්නනවා වගේ කියල මේ විඤ්ඤාණයේ මැජික් එක පේනවා නම්, අන්න ඒ කෙනා පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරල ඒක පිළිගන්නෙ නැතිව යනවා. ඒක නොපිළිගැනීම තුළ ඒ කෙරෙහි බැඳෙන්නෙ නැතිව යනවා. ඒ කෙරෙහි නො බැඳීම තුළ ඒ කෙරෙහි ඇල්ම නිරුද්ධ වෙලා යනවා. ඇල්ම නිරුද්ධ වීම තුළ ඒ මුල්කරගෙන භවය හැදෙන්නෙ නැතිව යනවා. ඒ කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැතිව යනවා. එතකොට මොකද වෙන්නේ? උපතක් හැදෙන්නෙ නැතිව යනවා. එතකොට ඒ පටිච්ච සමුප්පාදය නැසී වැනසී යනවා. එයා නිදහස් වෙනවා.
වෙනස් වෙලා යන හැටි දකිනවා….
මෙන්න මේක තමයි පංච උපාදාන ස්කන්ධ භාවනාවෙන් විග්රහ වෙන්නෙ. එහෙම නම් බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා හුදෙකලා තැනකට ගිහිල්ලා මේක බලනවා. විමසා බලනකොට මේක අවබෝධ කරගන්නවා අනාත්මයි කියලා. අනාත්මයි කියලා කියන්නේ තමාගේ වසඟයේ පවත්වන්න බෑ කියන එක. තවදුරටත් පැහැදිලි කළොත් අයිතිකාරයෙක් නෑ කියන එකයි. සතර මහා ධාතූන් ගෙන් හටගත්තු රූප සතර මහා ධාතූන් වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා විඳීම ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා හඳුනාගැනීම ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නා චේතනාව ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය නාමරූප වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා.
අවබෝධයෙන්ම නිදහස් වෙනවා….
එහෙනම් මේ හේතූන්ගෙන් හටගන්නා ඵල හේතු නැතිවීමෙන් නැතිවෙලා යන ධර්මතාවයෙන් යුක්ත දෙයක්. මෙන්න මේ අවබෝධය එයාගේ ජීවිතයට ඇතුළුවෙන කොට ඒ කෙනා අනාත්මයක් දකිනවා. එහෙනම් එයා මේ පංච උපාදාන ස්කන්ධය මම කියල ගන්නෙ නෑ. මගේ කියල ගන්නෙ නෑ. මගේ ආත්මය කියල ගන්නෙ නෑ. ඒකෙන් එයා නිදහස් වෙනවා.
සතර සතිපට්ඨානය තුළ මනා කොට සිහිය පිහිටුවා ගන්නට දක්ෂ වීමෙන් කෙනෙකුට කොයිතරම් නිදහසක් භුක්ති විඳින්නට පුළුවන්කම තියෙනවද?
– ස්කන්ධ භාවනාව –
රූප ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යය යි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
වර්තමානයේ හටගෙන තිබෙන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
අනාගතයේ හට නොගත්තා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගන්නා හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
තමා යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
අනුන් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
ගොරෝසු යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
සියුම් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
යහපත් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
අයහපත් යැයි සලකන, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
දුර තිබෙන්නා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
ළඟ තිබෙන්නා වූ, යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප සතර මහා ධාතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු රූප මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
වේදනා ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් වේදනාවක් ඇද්ද, ඒ සියලු වේදනා ස්පර්ශය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු වේදනා මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
වර්තමානයේ හටගෙන තිබෙන….
අනාගතයේ හට නොගත්තා වූ….
තමා යැයි සලකන….
අනුන් යැයි සලකන….
ගොරෝසු යැයි සලකන….
සියුම් යැයි සලකන…..
යහපත් යැයි සලකන….
අයහපත් යැයි සලකන….
දුර තිබෙන්නා වූ….
ළඟ තිබෙන්නා වූ…..
සඤ්ඤා ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් සඤ්ඤාවක් ඇද්ද, ඒ සියලු සඤ්ඤා ස්පර්ශය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු සඤ්ඤා මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
වර්තමානයේ හටගෙන තිබෙන….
අනාගතයේ හට නොගත්තා වූ….
තමා යැයි සලකන….
අනුන් යැයි සලකන….
ගොරෝසු යැයි සලකන….
සියුම් යැයි සලකන…..
යහපත් යැයි සලකන….
අයහපත් යැයි සලකන….
දුර තිබෙන්නා වූ….
ළඟ තිබෙන්නා වූ…..
සංස්කාර ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් චේතනාවක් ඇද්ද, ඒ සියලු චේතනා ස්පර්ශය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු චේතනා මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
වර්තමානයේ හටගෙන තිබෙන….
අනාගතයේ හට නොගත්තා වූ….
තමා යැයි සලකන….
අනුන් යැයි සලකන….
ගොරෝසු යැයි සලකන….
සියුම් යැයි සලකන…..
යහපත් යැයි සලකන….
අයහපත් යැයි සලකන….
දුර තිබෙන්නා වූ….
ළඟ තිබෙන්නා වූ…..
විඤ්ඤාණ ස්කන්ධය
අතීතයේ නිරුද්ධ වී ගිය, යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සියලු විඤ්ඤාණ නාමරූප නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයයි… අනිත්‍යයයි… අනිත්‍යයයි… ඒ සියලු විඤ්ඤාණ මම නොවේ… මගේ නොවේ… මගේ ආත්මය නොවේ….
වර්තමානයේ හටගෙන තිබෙන….
අනාගතයේ හට නොගත්තා වූ….
තමා යැයි සලකන….
අනුන් යැයි සලකන….
ගොරෝසු යැයි සලකන….
සියුම් යැයි සලකන…..
යහපත් යැයි සලකන….
අයහපත් යැයි සලකන….
දුර තිබෙන්නා වූ….
ළඟ තිබෙන්නා වූ…..
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
අනත්තා යනු තමාට අයත් දෙයක් නොවේය යන අර්තය යි. පාලි ත්‍රිපිටකය සිංහලයට පෙරලීමේ දී නොසැලකිලිමත් කම නිසා අනත්ත යන්නට මගේ ආත්මයක් නොවේය යන අදහස එක් කර ඇත. ඉංග්‍රීසි පරිවර්තන වල පවා මෙම මගේ ආත්මය යන වචනය යොදා නැත. ඒ වෙනුවට no self හෙවත් තමා නොවේ යන අර්තය දී ඇත. මෙසේ මගේ ආත්මය යන වචනය භාවිතා කිරීම සක්කාය දිට්ඨිය දුරු කිරීමට විශාල භාදාවක් බව කරුණාවෙන් මතක් කරනු කැමැත්තෙමු.
අප විසින් මාගේ ආත්මය නොවේ කියා සිංහලට පරිවර්තනය කොට ඇත්තේ අනත්තා යන වචනය නොව “න මේසෝ අත්තා” යන පාළි වචනය යි. අනත්තා යන වචනය අප විසින් පරිවර්තනය කොට ඇත්තේ (ආත්මයක් නැහැ, තමාගේ වසඟගේ පැවැත්විය හැකි දෙයක් නොවේ) ලෙසයි.
මෙබදු භාවනා උපදෙස් අඩංගු ලිපි දහම් පිපාසයෙන් පෙළෙන බෞද්ධ ජනතාවට නිවන නැමැති අමා දොර විවෘ කිරීමක් බඳුය.
Sadu!Sadu!!Sadu!!!