Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

ළඟ එක පින්වත්නි, මේ ලෝකයේ අසාර්ථක දේවල් අතර බොහෝ දෙනෙකුගේ ජීවිතවල අසාර්ථක දෙයක් තමයි, විවාහය. විවාහ ජීවිතය ගොඩක් දෙනෙකුගේ අසාර්ථකයි. ඒ අසාර්ථක වෙන්න හේතුව මොකක්ද? දැන් අපි ගත්තොත් සමහර විට දුවෙකුයි පුතෙකුයි ආදරය කරමින් අවුරුදු ගාණක් ඉන්නවා. ඊට පස්සේ ඒ දෙන්නා බඳිනවා. බැඳලා සුමානයි, දෙකයි. රණ්ඩු පටන්ගන්නවා. ඊට පස්සේ ඉතින් වද විඳ විඳ, පීඩා විඳ විඳ, අසහනයෙන් ඉන්නේ. දැන් දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න නිසා විඳව විඳවා කරගහගෙන යන්න ඕන.

එහෙම අසාර්ථක වෙන්නේ, විවාහ ජීවිතයට ඕනකරන මූලික දෙයක් ඒ ඇත්තන්ගෙන් ගිලිහිලා යන නිසයි. ඒ තමයි ‘ආදරය.’ හිතලා බලන්න අපි ඔක්කෝම පුංචි කාලෙ දරුවෝ වෙලා හිටියා. අපට අම්මලා තාත්තලා හිටියා. අම්මා තාත්තට ආදරය කිරීමත්, තාත්තා අම්මට ආදරය කිරීමත් දරුවන්ට සතුට ලැබෙන්න හේතු වෙන්නේ නැද්ද? අම්මා තාත්තා ආදරයෙන් ඉන්නවා දකින කොට ඒ ආදරය දරුවන්ට ලැබෙන්නේ නැද්ද?

අම්මයි තාත්තයි ‘උඹ මෙහෙමයි…. උඹ මෙහෙමයි…’ කියලා රණ්ඩු ගොඩක ඉන්න කොට ඒකෙන් දරුවෝ මහා අසහනයට පත්වෙන්නේ නැද්ද? පීඩාවට පත්වෙනවනේ. එහෙනම් ගෙදරක අම්මයි, තාත්තයි රණ්ඩු ගොඩක, සැකයක, අසහනයක, ගුටි බැට ගොඩක, අසභ්‍ය වචන ගොඩක ඉන්නවා නම්, ඒක නිසා ඒ දරුවෝ දුක් විඳිනවා. ඒගොල්ලන්ටත් ඒ දුක යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතය තුළ ඒගොල්ලොත් ලෝකයට පේන්න ඉන්න ඕන. කරන්න දෙයක් නෑ. ආයෙ හිත හදාගන්නවා. ආයෙ ආදරය කරනවා. නමුත් පවත්වන්න බෑ. ආයෙ රණ්ඩු සරුවල් වෙනවා. මෙහෙම වෙන්නේ නැද්ද? බොහෝ ජීවිතවල වෙනවනේ. මේක වෙන්නේ තනිකරම කර්ම විපාකයකින්. මනුස්සයා කැමැති දෙයක් ආදරය. ඒක ලැබෙන්නේ නෑ. එහෙම වෙන්නේ වැරදි කාමසේවනය නිසා. අපි වැරදි කාමසේවනයේ යෙදුණොත්, මේ ජීවිතයේ යම් අසාර්ථක දෙයක් තියෙනවාද, ඊට වඩා සිය දහස් ගුණයක අසාර්ථකත්වයක් ආයේ ලැබෙනවා.

දැන් ඔන්න අපි ගත්තොත් දෙන්නෙක් බැන්ඳා. ඔන්න ස්වාමියයි, බිරිඳයි ඉන්නවා. දැන් ස්වාමියාට බිරිඳ ආදරේ නැත්නම්, බිරිඳ අනියම් ස්වාමිවරු හොයාගෙන යන්නේ නැද්ද? එතකොට ඒ ආදරේ හිඟකමින් අර ස්වාමියා විඳවන්නේ නැද්ද? මේ දේවල් මේ ජීවිතයේ වෙන්න බැරිද? ඒ වගේම බිරිඳට ස්වාමියා ආදරේ නැත්නම් ඒ ස්වාමියා බිරිඳ සිටිද්දී වෙන අයථා ක‍්‍රමවලින් සැප විඳින්න යනවා. මේ සියල්ලට හේතුව ආදරය නැතිවීම.

මේ විදිහට බිරිඳට ස්වාමියා එපාවීම, ස්වාමියාට බිරිඳ එපාවීම මේ ජීවිතවල ඇතිවෙන්න පුළුවන්. ඒ එපාවීම ඇතිකරන්නේ තමන්ට දුක් විඳවන්නයි. ඒක ලබාදෙන්නේ තමන් සසරේ වැරදි කාමසේවනයේ යෙදීමේ ප‍්‍රතිඵල හැටියටයි. එහෙම කෙනා මිනිස් ලෝකයට ආවට පස්සේ විවාහ ජීවිතය අසාර්ථකයි. ස්වාමියාගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. නමුත් ස්වාමියාගෙන් ආදරය ලැබෙන්නේ නෑ. ස්වාමියා බිරිඳගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. නමුත් බිරිඳගෙන් ආදරය ලැබෙන්නේ නෑ. ඉතින් දෙන්නට දෙන්නා එපා වෙනවා. දෙන්නට දෙන්නා තරහකාරයෝ වගේ වෙනවා. මේකට හේතුව කලින් ජීවිතවලදී වැරදි කාමසේවනයේ යෙදීම.

එතකොට අපි මේ සසරේ ආපු ගමනේදී වැරදි කාමසේවනයේ කොපමණවත් යෙදිලා ඇති. එහි විපාක මේ ජීවිතයේදී විඳව විඳවා, මේ ජීවිතයේදීත් අපි වැරදි කාමසේවනයේ යෙදුණොත් ආයෙ ආයෙමත් අසාර්ථකයි.

දැන් බලන්න, තරුණ අවධියේදී යන හැම සිංදුවක්ම යන්නේ ආදරය ගැනනේ. තරුණ අවධිය ගැන යන හැම සිංදුවකම කතා කරන ආදරය අවුරුදු කීපයක ජීවිතය ගැනනේ කතා කරන්නේ. ඊට පස්සේ එපාද? ඇයි මැරෙනකම් ඕනෙ නැද්ද? එතකොට මේ ආදරය අර්ථවත් කරගන්න බෑ.

දැන් බලන්න සිල් රකින ජීවිතයක හැටි. බුද්ධ කාලෙදී නකුලපිතා කියලා තාත්තා කෙනෙක් හදිසියේම අසාධ්‍ය වුණා. ඊට පස්සේ බිරිඳ ස්වාමි පුරුෂයා ළඟට ගිහිල්ලා කියනවා, “ඔයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙක්නේ. ඔයා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්නේ. ඔයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණින් මෙනෙහි කරපු කෙනෙක්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ බිරිඳ දරුවෝ කෙරෙහි අපේක්ෂාවක් තියාගෙන මැරෙන්න කියලද? අපේක්ෂාවක් නැතුව මැරෙන්න කියලද?” ඉතින් එයා කිව්වා, “බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේක්ෂා නැතුව මැරෙන්න” කියලයි. “ඉතින් ඔයා ඒකට ලෑස්තිද?” මේ බිරිඳ අහන්නේ. බලන්න ශාස්තෘන් වහන්සේගේ සැබෑම ශ‍්‍රාවකයන්ගේ ජීවිතවල අභිමානය!

එතකොට ස්වාමියා කියනවා “නෑ, මං අපේක්ෂාවක් නැතුව මැරෙන්න කැමතියි. නමුත් මගේ හිතේ මේ ළමයින්ට යන කලදසාව ගැන පොඩි දුකක් තියෙනවා. ළමයි පොඩියි. ඔයා මේක කොහොම කරගනියිද කියලා.”

මෙන්න බිරිඳ උපදෙස් දෙනවා. බිරිඳ කියනවා “ඔයා භයවෙන්න එපා! මගේ අතේ පයේ හයිය තියෙනවා. මං නූල් කැටලා, රෙදි වියලා හම්බකරලා ළමයින්ට කන්න දෙන්නම්. ඔයා ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා! ඔයාට හිතේවි ඔයා කෙරෙහි මං දක්වපු ආදරය වෙනස් කරාවිද කියලා. නෑ… භයවෙන්න එපා! ඒ ආදරය එහෙමම තියෙනවා. මම වෙන පුරුෂයෙක් එක්ක යන්නේ නෑ. මං බ‍්‍රහ්මචාරී වෙනවා. බ‍්‍රහ්මචාරී වෙලා මං මේ දරුවෝ ටික හදාගෙන ඉන්නවා.”

බලන්න, ‘අම්මා’ කියන්නේ මේ වගේ චරිතයක්. ඊට පස්සේ කියනවා. “ඔයා හිතයි මම භාවනා කරන එකක් නෑ. මේකටම මැදිවෙලා ඉඳියි කියලා. නෑ… මං භාවනාත් කරනවා. මං ඒකත් කරගන්නවා.” මේ විදිහට මේ බිරිඳ දිගින් දිගටම අර ස්වාමි පුරුෂයාට කරුණු කිව්වා. ඒක ඒ ස්වාමිපුරුෂයාගේ ජීවිතයට බෙහෙත බවට පත්වුණා. සනීප වුණා.

මේ ස්වාමියා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා “ආ…. නකුලපිතු, ඔබේ බිරිඳ ඔබට වාසනාවක් නේද?” කියලා. “එහෙමයි ස්වාමීනී, මගේ බිරිඳ මට සැමදා වාසනාවන්…” කිව්වා. ඒක ලබාදුන්නේ ධර්මයෙන් නේද?

මේ නිසා මේ ජීවිතයේ විවාහය අසාර්ථක නම් ඒකට හේතුව කලින් ජීවිතයේ වැරදි කාමසේවනය කිරීම. ඊළඟ ජීවිතය අසාර්ථක කරගන්න ඕන නම්, මේ ජීවිතයෙත් ඒක කරන්න. ඊළඟ ජීවිතයේ ආදරය හිඟකමින් පෙලි පෙලී විඳව විඳවා ඉන්න ඕන නම් මේ ජීවිතයේත් ඒක කරකර ඉන්න. ඊළඟ ජීවිතයේ ස්වාමියා බිරිඳට ආදරය කරන, බිරිඳ ස්වාමියාට ආදරය කරන ලස්සන ජීවිතයක් ඕන නම්, මේ ජීවිතයේ වැරදි කාමසේවනයෙන් වැළකී සිටින්න. මේ ජීවිතයේ අසාර්ථක නම් බ‍්‍රහ්මචාරීව ඉන්න. ප‍්‍රශ්නය ඉවරයි. ඊළඟ ජීවිතයේදී සාර්ථකයි. මේ ජීවිතයේදී වැරදි කාමසේවනය කළොත් ඊළඟ ජීවිතයේදී අසාර්ථක වෙන්න 100% ක්ම ඉඩ තියෙනවා.

අපට මේ ජීවිතය සතියකින් අහිමි වුණොත්, ඊළඟ සතියේ ඉඳන් ඊළඟ ජීවිතය පටන් ගන්න ඕනනේ. ඉතින් මේ නිසා බලන්න, මේ පින සැපය ලබනවා කියන එකේ අර්ථය. සීලය කියන එක පින්කමක්. ඒ පිනෙන් සැප ලබනවා කියන එක කොච්චර ගැඹුරුද? විවාහ ජීවිතයක දෙන්නා දෙමහල්ලෝ වෙන් වෙනවා කියන්නේ ජීවිතයට ලොකු පාඩුවක්. බරපතල බිඳවැටීමක්. මේ ජීවිතයේදී සිල්වත්ව, වැරදි කාමසේවනයෙන් වැළකී සිටීම ඊළඟ ජීවිතයේදී ඒකෙන් වළක්වනවා.

එතකොට බලන්න පින්වත්නි, අපට නොතේරුණාට අපි පොඩි කාලේ ඉඳලා පන්සිල් ගත්තා. නමුත් අපි දැනගෙන හිටියේ නෑනේ මේ පන්සිල්වලින් මේ වගේ දෙයක් අපට ලබාදෙනවා කියලා. හොඳම ආයෝජනය කියලා අපි හිතාගෙන ඉන්නේ සල්ලි ආයෝජනය කිරීමනේ. සීලය ආයෝජනය කරනවා කියලා අපි දන්නේ නෑනේ. නමුත් සීලය හොඳම ආයෝජනයක්. ඊළඟ ජීවිතයේ සැප ලබාදෙන හොඳම සාධකයක්. මේ නිසා වැරදි කාමසේවනයෙන් වෙන්වී වාසය කිරීම, ආදරයෙන් හඬන හදවත්වලට හොඳම සැප ලැබෙන පණිවිඩයක්. ආදරය නොලැබීම නිසා හඬන හදවත්වලට සැප ලැබීමේ හොඳම පණිවිඩයක්. පින්වත්නි, අපි මේවා පුරුදු කරන්න ඕන. මේ දේවල් අපේ ජීවිතවලට හරි වැදගත්.

ඊළඟ එක ඔබ ඊළඟ ජීවිතයේදී මිහිරි හඬක් ලැබෙනවාට කැමතිද? අකමැති වෙන එකක් නෑ. ඔබ ඊළඟ ජීවිතයේදී ලස්සනට කතා කරන්න කැමැතිද? අකමැති වෙන්න විදිහක් නෑ. ඔබ කැමැතිද ඊළඟ ජීවිතයේදී මිනිස්සු ඔබ කියන කතාව ආදරයෙන් අහනවා දකින්න? එහෙනම් බොරු කියන්න එපා! ඇත්ත කියන්න. යහපත උදාවෙන දෙයක් කියන්න. කේළම් කියන්න එපා! බිඳවන්න එපා! එතකොට ඔබ ඊළඟ ජීවිතයේදී යමක් කියද්දී අන් අය මුව පැටව් වගේ අහගෙන ඉඳියි.

දැන් ඔන්න උදාහරණයක් කියමු. හැමෝම බුදුබණ කියන්නේ නෑනේ. ඔබ දන්නවා ඇති පසුගිය දවස්වල බණ රැල්ලක් ගියා. ඒකේ තිබුණේ අසභ්‍ය වචන විතරයි. නමුත් මිනිස්සු එකතුවෙලා අහන්න ගියා. මිනිස්සුන්ට එපාවුණා. ඊට පස්සේ බැන බැන යනවා. ඒ මේ වැරදි දෙයක් කීමේ මේ ජීවිතයේම විපාක. මේ නිසා බොරු නොකීම හරි වැදගත්.

කේලාම් කියන්න එපා! සමඟිය නැතිකරන්න එපා! කවුරුහරි පිරිසක් සමඟි සම්පන්නව වැඩක් කරනවා නම්, ඒකට උදව් කරන්න. ඒකට රුකුල් දෙන්න. කණ්ඩායම් වශයෙන් වෙන් වෙන්න එපා! ඊළඟ ජීවිතයට ඒක යනවා. ඊළඟ ජීවිතයට ඒක ගියාම විශාල අමාරුවක වැටෙනවා. ඒ නිසා ඔබ මේ ජීවිතයේදී මේ දේවල් හොඳට පුරුදු කරන්න. සමඟිය පිණිස උදව් කරන්න. සමඟියට හේතුවෙන දේවල් කියන්න. සමඟියට උදව්වෙන දේවල් කරන්න. බිඳවන දේවල් කියන්න එපා! එතකොට ඔබ ඔබේ ඊළඟ ජීවිතයට ලොකු දෙයක් රැස්කරනවා.

ඔබ කැමති වහා වැටහෙන නුවණ තියෙන කෙනෙක් වෙන්නද? නිකම්ම නිකං මෝඩ කෙනෙක් වෙන්නද? වැටහෙන නුවණ ලබන්න අපි කොච්චර ආසද? එක දෙයයි කරන්න තියෙන්නේ. අරක්කු බොන්න එපා! කසිප්පු බොන්න එපා! ගංජා බොන්න එපා! හේතුව, මේ හැම එකකම අපේක්ෂාව අපි සිහි මුලාව සිටීම, මත්වී සිටීම.

මේක පාසල් දරුවෝ විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන. පාසල් දරුවන් අලූතෙන් පුරුදු වෙලා ඉන්නවා කැස්සට බොන බෙහෙත් බොන්න. අර පිරිටන් බෙහෙත් කුප්පි තියෙන්නේ. මත්වෙලා ඉන්න ඒ බෙහෙත් කුප්පි දෙකක් තුනක් බොනවා. කිසි දවසක කරන්න එපා! මත්වීම සතුටක් හැටියට ගන්න එපා! කවදාවත් අපට නුවණ දියුණු කරන්න ලැබෙන්නේ නෑ.

ඊළඟ ජීවිතයේදී ඔබට අවශ්‍ය වහා වැටහෙන නුවණක්ද? එහෙනම් මේ ජීවිතයේදී මත්ද්‍රව්‍ය, මත්වතුර අහලකටවත් ගන්න එපා! කාටවත් දෙන්නත් එපා! මඟුල් ගේකට ගන්නත් එපා! මළගෙයකට ගන්නත් එපා! ඒක මේ ජීවිතයටත්, මතු ජීවිතයටත් හිතසුව පිණිස පවතින දෙයක් නොවෙයි.

ඊළඟට ඔබ කැමතියි නේද ලස්සන කෙනෙක් වෙන්න? ලස්සන කෙනෙක් වෙන්න ලෝකයේ අකමැති කවුද? ලස්සන වෙන්න ඕන නම් ඊර්ෂ්‍යා කරන්න එපා! ඊර්ෂ්‍යාව තමයි අවලස්සන වීමේ රහස. පුද්ගලයෙක් ඊර්ෂ්‍යා කරපු ගමන් අනිත් පුද්ගලයාගේ ගුණ ටික ඔක්කෝම විනාශ වෙනවා. අනිත් පුද්ගලයාගේ ගුණ මකනවා. ඒ පුද්ගලයා කෙරෙහි පැහැදීමක් ඇතිවෙලා තියෙනවාද, ඒක නැති කරන්න මහන්සි ගන්නවා. ඒ පුද්ගලයාට ගරහනවා. අපහාස කරනවා. නින්දා කරනවා. ඒ ඔක්කොම තියෙන්නේ ඊර්ෂ්‍යාව මත.

ඊර්ෂ්‍යා කරන්න කරන්න, හොඳ පුද්ගලයින්ට කළු චිත‍්‍ර හදන කොට, යහපත් පුද්ගලයන්ගේ වර්ණය දුර්වර්ණ කරන කොට, මෙයාටත් දුර්වර්ණබව, විරූපී බව ලැබෙනවා. මම නම් ලස්සන අය දැක්කාම ලස්සනයි කියනවා මිසක් කවදාවත් ඒකට ඉරිසියා කරන්නේ නෑ. ලස්සන කෙනෙක් දැක්කොත් ‘ආ… හරි ලස්සන කෙනෙක්…’ කියනවා. ලස්සන ගෙයක් දැක්කොත් ‘ලස්සන ගෙයක්…’ කියනවා. ලස්සන වාහනයක් දැක්කොත් ‘ලස්සන වාහනයක්…’ කියනවා. හොඳ උගතෙක් දැක්කොත් මම ‘හොඳ උගතෙක්…’ කියලා කියනවා. ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ. ඒ විදිහට ඊර්ෂ්‍යා නොකරනවා නම්, වහා කිපෙන්නේ නැත්නම් එයා ලස්සන කෙනෙක් වෙනවා.

සමහරු කිපිලා, වෛර බැඳගෙන තරහා හිතේ තියාගෙන ඒකම කල්පනා කර කර පිළිගන්න බලාගෙන ඉන්නවා. එයා විරූපී කෙනෙක් වෙනවා. මේ නිසා අපට හරි පැහැදිලියි, දෙවියන්ටත්, මිනිසුන්ටත් විතරක් නොවෙයි, පැවිද්දන්ටත් සැප පිණිස පවතින්නේ පිනමයි.

දැන් බලන්න පින්වත්නි, මේවා කවුද හෙළිදරව් කළේ? බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ මේවා හෙළිදරව් නොකරන්න, පිනෙන් මෙපමණ දේවල් කරනවා කියලා අපි දන්නේ නෑ. දැන් මේ කියපු සෑම දෙයක්ම පින්. මේ දේවල් රැස්වෙන්නේ පිනෙන්. එ් නිසා පින අපේ ජීවිතවලට අනිවාර්ය අවශ්‍ය දෙයක්, හොඳ ආයෝජනයක්, හොරෙකුට ගන්න බැරි ආයෝජනයක්.

දැන් බලන්න, මිනිස්සු ඉඩම් විකුණලා මුදල් ආයෝජනය කළා. ඒවා හොරු ගත්තා. (පුඤ්ඤං චෝරේහි දූහරන්ති) නමුත් පින සොරෙකුට ගත නොහැකිය. එතකොට බලන්න, අපි ඉඩම් ආයෝජනය කළොත්, සමහර විට ඒක හොරෙන් ගන්න පුළුවන්. හොර ඔප්පු ලියාගන්නත් පුළුවන්. අපි මුදල් ආයෝජනය කළොත් හොරකම් කරන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන් කියලා දැන් ඔප්පු වෙලා තියෙනවනේ.

අපි වෙන ලෞකික දෙයක් ආයෝජනය කළොත් ඒකත් හොරෙන් ගන්න පුළුවන්. නමුත් අපි පින ආයෝජනය කළොත්, කිසි වියදමක් නැතුව ආයෝජනය කරන්න පුළුවන්. පොඞ්ඩක් මහන්සි වෙන්න විතරයි තියෙන්නේ. මොකද්ද මහන්සිය? පුරුද්දක් එක්ක තියෙන සටන.

අපට සසරේ පුරුදු ගොඩාක් ඇවිල්ලා තියෙනවා. සත්තු මරන්න, හොරකම් කරන්න, වැරදි කාමසේවනයේ යෙදෙන්න, බොරු කියන්න, මත්පැන් බොන්න, ඊර්ෂ්‍යා කරන්න, කේලාම් කියන්න, වෛර කරන්න, පළිගන්න, කඩාබිඳවා හරින්න මේ ඔක්කොම අපි සසරේ කර කර ආපු දේවල්. දැන් අපට සටනක් තියෙන්නේ ඒ පුරුදුත් එක්කයි. ඒ පුරුද්දට ඉඩ නොදී වීරිය අරගෙන මේ කියපු පින උපදවා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්