භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් සැදැහැ බැතිපෙම් ඇති ශ්‍රාවක දනන් විසින් දින ගණනාවක් තිස්සේ බොහෝ වෙහෙස මහන්සි වී ඇප කැප වී සූදානම් වුනු මහා අසිරිමත් පින්කමක් 2018-08-18 දින රැය පහන්වන තුරු ඓතිහාසික පොළොන්නරු රන්කොත් වෙහෙරේදී පැවැත්වුනි. කෙනෙකුට කලාතුරකින් දැකබලා ගැනීමට ලැබෙන, කලාතුරකින් සහභාගී වීමට ලැබෙන මෙම දුර්ලභ පින්කම සංවිධානය කරන ලද්දේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදය සහ අනුශාසකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් මගිනි. බලාපොරොත්තු වූවාටත් වඩා අතිවිශාල ජනකායක් සහභාගී වුනු මෙම මහා පින්කමේදී රන්කොත් වෙහෙර මළුවත් අවට ප්‍රදේශයත් අතුරු සිදුරු නැතිව දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.

උතුම් සර්වඥ ධාතූන් වහන්සේලාත් නැළි ගණන් අරහන්ත ධාතූන් වහන්සේලාත් නිධන්කොට මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජවරුන්ගේ කාලයෙහි එම ධීර වීර රජදරුවන් විසින් අනුරපුර රුවන්වැලි මහාසෑය හා සමකොට පොළොන්නරු රාජධානියෙහි ඉදිකරවන ලද මහාසෑය මෙම පූජනීය රන්කොත් වෙහෙරයි. වසර අටසිය ගණනක් පුරා හුදෙකලාව, මෙහි පූජනීයත්වය කෙබඳුදැයි අප්‍රසිද්ධව පැවති මෙම රන්කොත් වෙහෙර මෙසේ ලක්ෂ ගණන් සැදැහැවතුන්ගේත් දහස් ගණන් භික්ෂූන් වහන්සේලාගේත් සිය ගණනක් වූ අනගාරිකා මෑණිවරුන්ගේත් සහභාගීත්වයෙන් මහත් හරසරින් පුද දෙන ලදී.

විශේෂයෙන්ම මෙහිදී සිරිපා අඩවියෙන් ගෙනෙන ලද නොඉඳුල් සීතල පැනින් පිරුණු නැවුම් පැන් පාත්‍රා විසිහතර දහසක් ලක්දිව වැඩසිටි නිකෙලෙස් මහරහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරමින් පූජා කරන ලදී. එමෙන්ම මහාසෑ රජාණන් වහන්සේ රන්වන් පැහැති විදුලි බුබුළුවලින් මුළුමනින්ම අලෝකමත් කොට එදින පටන් සෑම දිනකම මහසෑ රජාණන් වහන්සේත් එම භූමියත් ආලෝකමත් වන ලෙසින් මහාසෑ මළුව අවට විදුලි ආලෝකධාරා කණු දොළහක් ස්ථීර ලෙස පිහිටුවා අසූහාර දහසේ මහා පහන් ආලෝක පූජාවක් ද පවත්වන ලදී. රන්කොත් වෙහෙර මහාසෑ රජාණන් වහන්සේගේ එම මනරම් විදුලි ආලෝක පූජාව එදින පටන් පසුගිය නිකිණි පුන් පොහෝදා දක්වා සෑම දිනකම පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

පින්කමට දින කිහිපයකට පෙර වන්දනාවේ පැමිණෙන ජනයාට සුවසේ හිඳගෙන වන්දනාමාන කරගැනීම සඳහාත් සුවසේ මහාසෑ රදුන් පැදකුණු කිරීම සඳහාත් කලින් වැලි අතුරා නොතිබුණු රන්කොත් වෙහෙරේ උඩ මළුවේ සහ පහත මළුවේ අක්කර අටක භූමිභාගය පුරා මනාකොට සේදූ වැලි අතුරා තිබුණි. සැදැහැවතුන් විසින් ඉමහත් ශ්‍රද්ධාවෙන්, නැවුම් බව සුරැකෙන ලෙසින් රැගෙන ආ සුවඳ පිච්චමල් අහස් කුසින් ඇදහැලෙන මල්වරුසාවක් ලෙසින් මහාසෑ රජාණන් වහන්සේ උදෙසා සාදුකාර මධ්‍යයේ පුදදුන් අතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසාත් මහරහත් මුනිවරුන් උදෙසාත් අනේකවිධ පූජෝපහාරයන් තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි පවත්වන ලදී.

වන්දනාවේ මුල් කොටසේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බුද්ධ වන්දනාව සහ අසූමහා ශ්‍රාවක මහරහතුන් වන්දනාව පවත්වන ලද අතර වන්දනාවේ දෙවන කොටසේදී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් ලක්දිව වැඩසිටි උතුම් මහරහතන් වහන්සේලාගේ අසිරිමත් තොරතුරු ගැන කියැවෙන කතාපුවත් විස්තර කරන ලදී. රන්කොත් වෙහෙර මහාසෑ රජාණන් වහන්සේ සඳහා ශ්‍රද්ධා රූපවාහිනිය මගින් නිෂ්පාදිත උපහාර ගීයක් ද මෙහිදී එළිදක්වන ලදී.

පසුදා හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ අසූමහා ශ්‍රාවක රහතන් වහන්සේලා උදෙසා කිරිපිඬු පාත්‍රා 81, එළකිරි පාත්‍රා 81, ඖෂධීය කැඳ පාත්‍රා 81 ක් සහ පලතුරු පාත්‍රා 81 ක් පූජා කරන ලදී. මේ අයුරින් එදින රාත්‍රිය පුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා පවත්වමින්, මහරහතන් වහන්සේලා උදෙසා පූජා පවත්වමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සදානුස්මරණීය වූ අසිරිමත් පුණ්‍ය ධර්මයන් රැස්කරගත්හ.

පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරාධිපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ධුරන්ධර, ශාස්ත්‍රපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය මෙම උතුම් පින්කම සාර්ථක කරගැනීම සඳහා මහත් ශක්තියක් වූ අතර පින්කම අතරතුරදී ද එම ස්ථානයට වැඩමකොට එම උතුම් පින්කමට සහභාගී වී පින් අනුමෝදන් වූ සේක. පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරාධිපති, උතුරු – උතුරුමැද – නැගෙනහිර පළාත්වල ප්‍රධාන සංඝනායක, පොළොන්නරුව දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති උඩුගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ සහ පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරාධිකාරී කන්දකැටියේ අත්ථදස්සී නායක ස්වාමීන් වහන්සේත් මෙම උතුම් පින්කමට සහභාගී වූහ.

පින්කම අවසානයේදී රහතුන් විෂයෙහි පිදූ මෙම පැන් පාත්‍රා එක පවුලකට එක බැගින් ආශීර්වාදාත්මක පැන් ලෙසින් භාවිතයට ගැනීම පිණිසත්, දිනපතා නිවසේදී බුදුරජාණන් වහන්සේ උදෙසා පැන් පූජා කිරීම පිණිසත් පැමිණ සිටි සැදැහැවතුන් වෙත බෙදා දෙන ලදී.

සැදැහැවත් ශ්‍රාවක පිරිසක් විසින් සමගියෙන් එකමුතු වී තම ශාස්තෘ වූ, මෙවැනි පුදපූජාවන්ට අතිශයින්ම යෝග්‍ය වූ, දෙව් මිනිසුන්ගෙන් නිති පුදපූජා ලබන්නා වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාත් දෙව් මිනිස් ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ, දහමට දිවිපිදූ, නිකෙලෙස් සිත් දැරූ මහරහතන් වහන්සේලා උදෙසාත් කරන ලද මෙම අනේකවිධ පූජෝපහාරයන් පින් කැමති සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා! මෙම අසිරිමත් පින්කම සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් ආධාර උපකාර කළ, වෙහෙස මහන්සි වූ සියලු දෙනාටත්, මෙම පින්කමට සහභාගී වූ සියලු දෙනාටත්, දැකබලා අනුමෝදන්වන සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා!