මගේ අදරැති දියණියේ….. මේ දිනවල අපට ඉන්න වෙලා තියෙන්නේ හැඬූ කඳුළින්. සිඟිති දරුවන්ට මහා නරක කල දසාවක්…..! මල් කැකුළු වගේ ලස්සන දරුවන් සිතාගන්නටත් බැරි දුෂ්ට අයුරින් වැනසී යනවා….!

තවමත් මැදපෙරදිග සරණාගතයින් ජීවිතයට රැකවරණයක් සොයා පැන දුවද්දී මුහුදේ ගිලී මැරෙනවා….. අපේ රටේ රිය අනතුරු කෙළවරක් නෑ. අපට මේ වුනේ මොකක්ද කියා හිතාගන්න බැරි තරම්….. අහිංසක අම්මලා තාත්තලා, පුංචි දරුවන් නොයෙක් වාහන අනතුරු වලින් මරණයට ලක්වෙනවා. ඔය සිදුවීම් අතරේ ඇයි ලස්සන සිඟිති දුවේ, ඔයාට මෙතරම් කුරිරු ඉරණමක් ලැබුනේ…. ඔයා දන්නවාද දෙමව්පියන් ගැන අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ.

“මහණෙනි, මව්පියෝ වනාහී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව්බඹ විහරණයෙන් යුතු බ‍්‍රහ්මයෝ බඳුය. ඒ මව්පියෝ දරුවන්ට පළමුව මුණගැසෙන ගුරුවරයෝය. දරුවන්ගේ ගෞරව බුහුමනට නිස්සෝය. ඔවුහු ප‍්‍රජාවට අනුකම්පා කරන්නෝය”

පින්වත් දුවේ, ඔය විදිහටයි අම්මා, තාත්තා ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒක ඇත්ත මගේ දුවේ. ඒක සහතික ඇත්ත. ඔයාගේ මරණයට ගෞරව දක්වන්න වැල නොකැඞී පැමිණි ආදර අම්මලා, තාත්තලා හඬා වැටුණු හැටි අපි දැක්කා. අපේ රටේ අම්මලා, තාත්තලා තුළ තවමත් දරු සෙනෙහස දෝර ගලා යනවා. තවමත් දරු සෙනෙහස මව්පියන්ගේ රුධිරයෙහි උණුසුම්ව තියෙනවා. ආදර සිඟිති දුවේ, දරු සෙනෙහස කියන්නේ මහා පුදුම දෙයක්. දරුවන් කෙරෙහි ඇති පිවිතුරු ආදරවන්තකම අම්මා, තාත්තාගේ සම සිඳගෙන යනවා. සම සිඳ මස් සිඳගෙන යනවා. මස් සිඳ නහරවල් සිඳගෙන යනවා. නහරවල් සිඳ ඇට සිඳගෙන යනවා. ඇට සිඳගෙන ගොහින් ඇට මිදුලු තුළ කැකෑරෙමින් තියෙනවා.

ඒ ආදර දරු සෙනෙහස මව්පියන්ගේ ලෝකයේ කිරුළයි. දෙමව්පියන් නොකා නොබී දරුවන්ට කවලා පොවලා දරුවෝ හොඳින් වැඩෙනවා බලා සතුටු වෙනවා.

අනේ සිඟිති දුවේ, ඒ වුනාට ඇතැම් පවුල්වල දරුවන්ට මව්පිය සෙනෙහස ලැබෙන්නේ නෑ. මට මතකයි මං කුඩා අවධියේ තිබුන එක්තරා ගෙයක් ගැන දන්නවා. එයාලාගේ අම්මා සිංහල. තාත්තා දෙමල. ආගමක් නැති ගානයි. ඒ තාත්තා හරියට බිව්වා. ගෙදර ඇවිත් අම්මට හරියට කරදර කළා. ඒ කාලේ මට තේරුන හැටියට ඒ අම්මත් එතරම් හොඳ කෙනෙක් නෙමෙයි වගේ. දවසක් අපේ ගෙදර හිතවත් කමට අපිත් ඒ ගෙදර ගියා. එයාලා අපිට හොඳට සැලකුවා. එතකොට ඒ නැන්දා අපේ අම්මට කියපු කතාව මට අද වගේ මතකයි.

“අනේ අක්කේ…. අපේ මිනිහා අමුතු සතෙක්…. මං නම් මගේ ගෑණු ළමයි දෙන්නා පණ වගේ ආරක්ෂා කරන්නේ….. රෑට ඒ ළමයි දෙන්නට වෙනම කාමරයක නිදියන්න දෙන්නේ. ‘දරුවනේ, ඇතුලෙන් දොර හොඳට ලොක් කරගන්න. රෑට කිසිසේ්ත් දොර අරින්න එපා’ කියලා උපදෙස් දෙනවා”

එතකොට අපි ගොඩාක් පොඩියි. අපිට මේවයේ අර්ථ තේරුනේ නෑ. නමුත් දැන් ඒ අම්මා මැරිලා. ඒ ගෑණු දරුවෝ දෙන්නා අම්මලා වෙලා දරු මල්ලෝ හදාගෙන සතුටින් ඉන්නවා. ඒ ගෑණු දරුවන්ට ඒ සතුට ලැබුනේ අම්මාගේ දක්ෂකම නිසා. ඒ අම්මා හැම තිස්සේම ගෑණු දරුවන්ට ආරක්ෂාවක් ඕනා කියලා කල්පනාවෙන් හිටියා.

කොහොමත් තමන්ගේම ගෑණු දරුවන්ට වුනත් අමුතු ඇඟෑලුම්කම් දක්වන ඇතැම් තාත්තලාගෙන් ගෑණු දරුවන් පරෙස්සම් කරගත යුතුයි. තාත්තලා ගෑණු දරුවන්ට ආදරය දැක්විය යුතු සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවා ගියොත් එය අධර්මයයි. එය අවිනයයි.

ඇතැම් අම්මලා තමන්ගේ ස්වාමියාට හරි භයයි. ඇතැම් නීච සැමියන් බිරිඳව භය කරගෙන බිරිඳට හිරිහැර කරගෙන කෲර හිංසනයකට ලක්කරගෙන නීච අයුරින් පවුලේ ආධිපත්‍යය දරනවා. එබඳු පවුල් වලට තමයි මේ හැම කරදරයක්ම වෙන්නේ. ඒ ගෙදර බිරිඳ ඉන්නේ නිතරම භයෙන්. දරුවන්ට හෝ තමන්ට හෝ අධික හිංසනයක් කරද්දී හඬා වැළපී නිහඬ වෙනවා. බොහෝවිට මේ තත්වය දැක වේදනාවට පත්වෙන අසල්වැසියන් ඉන්නවා. ඔවුන් ඒ තුච්ඡ පුරුෂයාව නීතියට හසුකර දීමෙන් ඒ පවුල බේරගන්නා අවස්ථාවන් තියෙනවා.

පින්වත් සිඟිති දුවේ, ඔයාව බරපතල විනාශයකට ලක්කොට ඔයාගේ ජීවිතය බිලිගත් ඒ අවාසනාවන්ත පුද්ගලයාට විවිධාකාරයෙන් දඬුවම් දෙන්න කියමින් අන්තර්ජාලයේ කොමෙන්ට් දමා තිබෙනවා අපි දැක්කා. සමහරු ෂරියා නීතිය හොඳයි කියනවා. කොහොමත් නීතියෙන් එයාට ගැලවෙන්න බෑ. එයාට දඬුවම් ලැබේවි. කර්මයෙන් එයාට ගැලවෙන්නත් බෑ. එක ආත්මයක් නෙමෙයි. ආත්ම සියයක් නෙමෙයි. ආත්ම පන්සියයක් නෙමෙයි. ආත්ම දහස් ගණනක් දුක් විපාක ලැබෙන බිහිසුණු කර්මයක් එයා රැස්කර ගත්තා.

මගේ ආදර සිඟිති දුවේ, ඇයි මෙහෙම වෙන්නේ….

මෙයට හේතුව ධර්මය නැති කමයි. ධර්මය නොමැතිව නීතිය පමණක් පෙරට ගත්තොත් එම නීතියත් කෲර වෙනවා. නීතිය නොමැතිව ධර්මය පමණක් පවත්වන්නටත් බැහැ. එම නිසා ධර්මයත් අවශ්‍යයි. නීතියත් අවශ්‍යයි. අපේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයත් දේශනා කළා. විනයත් පැණෙව්වා. ධර්මය විතරක් තිබිලා විනය නැත්නම් ඒ ධර්මයෙන් දියුණුවක් ලබන්න බෑ. විනය විතරක් තිබිලා ධර්මයක් නැත්නම් එය හුදෙක් පීඩාවට පත්කරන දෙයක් පමණයි.

පින්වත් දුවේ, මේ කාලයේ ධර්මයයි නීතියයි වල් වැදිලා තියෙන්නේ. ධර්මයටත් තැනක් නෑ. නීතියටත් තැනක් නෑ. පින්වත් දුවේ, ධර්මයෙන් කරන්නේ කුමක්ද? එකිනෙකාට ගෞරව කිරීමට උදව් කිරීමයි. අද ඒ ගෞරවය වේගයෙන් පිරිහී යනවා. ස්වාමියා බිරිඳට ගෞරව කිරීම ධර්මයයි. බිරිඳ ස්වාමියාට ගෞරව කිරීම ධර්මයයි. දෙමව්පියන් දරුවන්ට ගෞරව කිරීම ධර්මයයි. දරුවන් දෙමව්පියන්ට ගෞරව කිරීම ධර්මයයි.

දෙමව්පියන් දරුවන්ට ගෞරව කිරීම යනු දරුවන්ට ගෞරවනීය ජීවිතයක් පවත්වා ගැනීමට සහය දීමයි. දරුවන්ව අධික හිංසනයට ලක් නොකිරීමයි. දරුවන් හදාවඩා ගැනීම වෙනුවෙන්, යහමග යැවීම වෙනුවෙන් දෙමව්පියන් දරුවන්ට මොළොක් ලෙසත් ගොරෝසු ලෙසක් අවවාද කරන අවස්ථා තියෙනවා. නමුත් ඒ හැම දෙයක්ම කරන්නේ දරුවන් යහමග යවන්නයි. දරුවන්ට එය සුළු කලකින්ම තේරුම් යනවා. එතකොට ඒ දරුවන් දෙමව්පියන්ගේ ගුණ කියන්න ගන්නවා.

ගුරුවරු ශිෂ්‍යයන්ට ගෞරව කළයුතුයි. ශිෂ්‍යයන් ගුරුවරුන්ට ගෞරව කළයුතුයි. ශිෂ්‍යයන්ගේ දක්ෂතා හැඳින ඒ ශිෂ්‍යයන්ට ඉදිරිමග පෙන්වා දීම ගුරුවරයාගේ ධර්මයයි. මෙය තේරුම් ගන්නා ශිෂ්‍යයා ගුරුවරයාට ගෞරව කිරීම, ගුරුවරයා විසින් සිසුන්ට උගන්වන දැහැමි වත් පිළිවෙත් නොසිඳ පවත්වාගෙන යෑම ශිෂ්‍යයාගේ ධර්මයයි.

මාධ්‍යයටත් ධර්මය තියෙනවා. එනම් තම ග‍්‍රාහකයාට යහපත පිණිස පවතින දේ ලබාදීමයි. අද මාධ්‍ය තුළ සාමාන්‍ය මිනිසාගේ මනස විකෘති කරවන නීච දේවල් නිරතුරුව අගය කිරීමට ලක්කරනවා. අද චිත‍්‍රපටයක් වුනත් සම්මාන ලැබෙන්නේ එහි අසභ්‍ය දේ හොඳින් විස්තර වෙනවා නම් විතරයිලූ. මෙබඳු අයුරින් අසභ්‍ය දේවල් මාධ්‍ය තුළින් ඉහළින් ඔසවා තැබීමේ ප‍්‍රතිඵලය නම් සිඟිති දුවේ, ඔයා වැනි අහිංසක කිරි දරුවන්ගේ ජීවිත විනාශ වීමයි.

මා සිතනා පරිදි මෙය වැරදිකාරයාට දඬුවම් දීමෙන් පමණක් අත පිස දමාගෙන අහක නොබැලිය යුතු දෙයකි. ඔයා වැනි තවත් ලස්සන මල් කැකුළු තියෙනවා. ඒ සිඟිති දරුවන්ට නිදහසේ වැඩෙන්නට මග සැලසිය යුතුයි. ඒ දරුවන්ට වටිනා දේ තෝරාගන්නට මග සැලසිය යුතුයි. ඒ දරුවන්ට රැකවරණය සැලසිය යුතුයි. ඒ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කළයුතුයි.

මගේ සිඟිති දුවේ, ඔයාගේ පණිවිඩය මෙයයි. ඔයා ජීවිතයෙන් වන්දි ගෙවා ලංකාවම අවදි කෙරෙව්වා. දැන්වත් දෙමව්පියන් දරුවන් සමග ධර්මයට පැමිණීම මැනවි. ධර්මයෙන් තොරව හුදෙක් නීතියකින් පමණක් රැකවරණයක් ලැබීම පූර්ණ සාර්ථකත්වයක් නොලබයි.

ආදර සිඟිති දුවේ, ඔයාට ඊළඟ උපතේදී දරු සෙනෙහස පිරීගිය මව්පියන්ගේ රැකවරණය ලැබේවා! ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කොට මේ නීච සසරින් නිදහස් වෙන්න ලැබේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ