01. පළමු අපේ ගෞතම සම්බුදුන් වඳින්නේ
දෙවනුව සිරි සදහම් සිරසේ රඳවන්නේ
තෙවනුව මහසඟරුවනට පාවඩ වන්නේ
තුන් සරණේ නැමැද පොසොන් විරිදු ගයන්නේ
නුවණින් එය අසපන්නේ …..

02. හෙලදිව යන නමින් රම්‍ය රටක් තියෙන්නේ
එ් රට වටකොට මහ සයුරයි බබලන්නේ
ගංගා ඇලදොලින් රටේ පස සරු වන්නේ
තිස්ස නමින් නිරිඳෙක් මෙහි රජ වී ඉන්නේ
හැමටම සතුට ලැබෙන්නේ …..

03. දවසක් පුන් පොහෝ දිනේ සඳ නැග එන්නේ
පොසොන් උදාවයි කියමින් දන තුටු වන්නේ
නැකැත් බලා රජ පිරිවර දඩයම් යන්නේ
දුනු ඊතල මානාගෙන සතුන් සොයන්නේ
මුවදඩයමටයි යන්නේ …..

04. ලස්සන මුව පැටියෙක් පඳුරින් මතු වන්නේ
නිරිඳුන් හට පෙනෙන ලෙසින් තණකොළ කන්නේ
තණ කන පැටියා මරන්ට අකමැති වන්නේ
නිරිඳුන් අතින් දුනු දිය ඇද නාද කරන්නේ
පැටියා පැන දිව යන්නේ …..

05. මුව පොව්වා විදුලිය මෙන් වනේ දුවන්නේ
දුනු ඊ තල මානා රජු ඌ පන්නන්නේ
කඳු මුදුනට පැන යන පැටියා සැණෙකින්නේ
නිරිඳුන් පෙනි පෙනි සිටිමින් නොපෙනී යන්නේ
පැටියා නොපෙනී යන්නේ …..

06. තිස්ස තිස්ස කියන නමින් හඬක් ඇහෙන්නේ
බිය සැක නැති සිතින් කෙනෙක් රජු අමතන්නේ
කවුදෝ මගෙ නම කියමින් මා අමතන්නේ
තිස්ස නිරිඳු අවට සිසාරා බලමින්නේ
කඳු ගැට මුදුන බලන්නේ …..

07. ගල්තල මුදුනේ කවුදෝ සිටගෙන ඉන්නේ
කසාවතින් පොරොවා ඇඟ වසා සිටින්නේ
මුඩු කළ කෙස් රැවුලෙන් එ් මුහුණ දිලෙන්නේ
කවුරුද මේ රන්වන් පාටින් බබලන්නේ
කොහොමද කඳු මුදුනට ආවේ …..

08. බිය වූ නිරිඳුන් ඊ තල එදෙස යොමන්නේ
කඳු මුදුනේ සිටින කෙනා රජු අමතන්නේ
මිහිරි සරින් ගුවන් තලේ හඬ පැතිරෙන්නේ
මෙලෙසින් එ් කෙනා රජුට මෙය පවසන්නේ
සොඳුරු බස් තෙපලන්නේ …..

09. ශ‍්‍රමණවරුන් කියා රජුනි අපට කියන්නේ
අප හැම දම් රජුගේ ශ‍්‍රාවකයන් වන්නේ
ඔබ ගැන අනුකම්පාවෙන් ම යි අප එන්නේ
දඹදිව් තලයෙන් පිටවී අපි මෙහෙ එන්නේ
දඹදිවෙනුයි ආවේ …..

10. තිස්ස රජුට දම්සෝ නිරිඳුන් සිහිවෙන්නේ
දම්සෝ නිරිඳුන්ගෙ ලිපිය සිහියට එන්නේ
සව්වෙකු වී ගෞතම බුදු සසුනෙ සිටින්නේ
කසාවතින් මුළු දඹදිව් තලය දිලෙන්නේ
රහතුන්ගෙන් බබලන්නේ…..

11. දුනු ඊතල පසෙක දැමූ රජු හිනැහෙන්නේ
පහළට වඩිනා ලෙස ඇරයුම් කරමින්නේ
අඹ සෙවණේ සඟ පිරිස ද දැන් වැඩඉන්නේ
තිස්ස නිරිඳුගෙන් අඹ ගැන පැනය අසන්නේ
රජු නිසි පිළිතුරු දෙන්නේ ……

12. මේ ඉන්නේ රහතුන් බව රජු දැනගන්නේ
මිහිඳු නමින් යුතු රහතුන් මුල වැඩඉන්නේ
දම්සෝ රජුගේ පුත් කුමරා බව දන්නේ
තිස්ස නිරිඳු සිත සතුටින් ඉපිලී යන්නේ
රජ පිරිසක් බව දන්නේ …..

13. අරහත් මහ මිහිඳු සමිඳු රජු අමතන්නේ
සුළු ඇත්පිය උපමා ඇති සුතුර දෙසන්නේ
ලොවෙහි සත්‍යය සොයන කෙනා ගැන දැනගන්නේ
වනයේ ඇත් රජු සොයනා කෙනෙකු ලෙසින්නේ
නුවණින් විමසිය යුතු වන්නේ …..

14. ඔන්න රජුනි කෙනෙක් වනේ ඇතුළට යනවා
ඇත් රජු සොයමින් ඔහු වනයේ හැසිරෙනවා
ගස් මුදුනේ බිඳි අතු ඉති ඔහුට පෙනෙනවා
දළ පහරින් ඇණුනු තැනුත් ඔහුට පෙනෙනවා
එ් ගැන තව විමසනවා …..

15. ඇතුන් ලෙසට වනේ ඇතින්නියන් සිටින්නේ
උස මහතින් යුතුව දළත් වැඞී තියෙන්නේ
ඇත් රජෙකුගෙ සළකුණු හැම තැනම තිබෙන්නේ
ඇතින්නියන්මයි එනමුත් එතන සිටින්නේ
එනිසා තවත් සොයන්නේ ……

16. මහවනයේ තව යන විට ඇතා පෙනෙනවා
අලංකාර දළ යුවලින් ඌ බබලනවා
රුක් සෙවණේ තෙද බලයෙන් ඌ බබලනවා
ඇත් රජු ගැන තිබුණු සැකය දැන් නැතිවෙනවා
ලස්සන ඇත් රජා පෙනෙනවා ……

17. පින්වත් මහරජුනි මමත් මෙලෙසින් සිටියේ
වනයේ ඇත් රජු සොයනා ලෙසටයි සිටියේ
ගෞතම සම්බුදු සසුනේ සෙවණේ සිටියේ
ඇත්රජුගේ සළකුණු ගැන සොයමින් සිටියේ
නුවණින් දකිමින් සිටියේ ……

18. රජුනි මමත් තුන්සරණය පිහිටට ගන්නේ
ඉඳුරන් සංවර කරගෙන වෙර අරඹන්නේ
සිහි නුවණින් යුතුව හොඳින් බවුන් වඩන්නේ
දැන් ටික ටික මේ සිත දමනය වී යන්නේ
සමාධියයි මට ඇතිවන්නේ ……

19. රජුනි මගේ සිත මැනැවින් තැන්පත් වන්නේ
පළමු දෙවෙනි තෙවෙනි දැහැන්වලට වැඩෙන්නේ
සිව්වෙනි දැහැනේ මේ සිත තැන්පත් වන්නේ
සමාධියෙන් යුතුව සිතේ බලය වැඩෙන්නේ
සමාධි බලය වැඩෙන්නේ …..

20. ඇතින්න දුටු විලස රජුනි මෙය දත යුත්තේ
තවදුරටත් දහම් මගේ යා ගත යුත්තේ
මුලා නොවී නුවණින්මයි එය කළ යුත්තේ
පෙර ජීවිත ගැනත් ඉතින් දැනගත යුත්තේ
ඤාණය ලැබගත යුත්තේ …..

21. ඉතින් රජුනි මං දිගටම එ් මග යෙදුණා
ඉපදෙන මැරෙනා ලොව ගැන බලන්න සිතුණා
ලොවේ සියලු දෙන යන්නේ කම්පල රැගෙනා
චුතිය උපත ගැන නුවණත් මා හට ලැබුණා
එ් ගැන නුවණ ලැබෙන්නේ …..

22. එයිනුත් නොනැවතී තවත් විමසාලන්නේ
බිහිසුණු සසරකයි ලොවේ හැමෝම යන්නේ
මෙයින් මිදෙන මගකුයි දැන් සොයමින් ඉන්නේ
දුක, සමුදය, නිරෝධ, මග මට වැටහෙන්නේ
සිව්සස් මට වැටහෙන්නේ ……

23. හේතු සකස් වෙන විට ඉන් ඵල ඇතිවෙනවා
එ් හේතුන් නැතිවෙන විට ඵල නැතිවෙනවා
මෙය ලෝ දහමක් ලෙස දැන් මට වැටහෙනවා
දුකට හේතු නසනා මග හොඳින් පෙනෙනවා
නිවන් මගේ වඩිනවා ……

24. රජුනි මෙයින් මගේ කෙලෙස් දුරුවී යන්නේ
රාග, ද්වේෂ, මෝහ මුලින් ඉදිරී යන්නේ
අමා නිවන් සුවය සිතට දැනුයි දැනෙන්නේ
ගෞතම මුනිඳුන්ගේ බස සැබෑම වන්නේ
බුදු බණ සැබෑම වන්නේ ……

25. ඇත් රජු දකිනා තුරු වනයේ ඇවිදින්නේ
තම දෑසින් දුටු ඇතාව සැක නොකරන්නේ
එ් අයුරින් රජුනි මමත් මේ මග යන්නේ
ඇත් රජාව දුටුව ලෙසින් දහම දකින්නේ
ඇත් රජු ලොව බබලන්නේ ……

26. භගවත් අරහත් සම්බුදු රජු බව දන්නේ
එ් සම්බුදු ගුණ ගැන නැත සැක ඇතිවන්නේ
මුල, මැද, අග පිරිසිදු බුදු බණ බබලන්නේ
සඟරුවනේ නිකෙලෙස් බව මට වැටහෙන්නේ
තෙරුවන් සරණ දිලෙන්නේ …..

27. රජුනි ඔබත් නුවණින් යුතුවම විමසන්න
ගෞතම මුනිඳුන්ගෙ සරණ පිහිටට ගන්න
දම්රුවන ද, සඟරුවන ද සැක නොකරන්න
තුන් සරණේ පිහිටාගෙන එය රැකගන්න
තෙරුවන් සරණ ලබන්න ……

28. තිස්ස නිරිඳු මිහිඳු තෙරුන් වෙත නමඳිනවා
හිමි පාමුල වැටෙමින් සතුටට පත්වෙනවා
ගෞතම බුදු සසුනේ තුන් සරණ ලැබෙනවා
සාදු! සාදු! අප නිරිඳුන් ශ‍්‍රාවක වෙනවා
ගෞතම ශ‍්‍රාවක වෙනවා …….

29. පින්වතුනේ පොසොන් උදාවයි මේ එන්නේ
අපි හැමෝම දැන් මේ ගැන නිතර සිතන්නේ
ගෞතම බුදු සසුනේ තුන් සරණ ලබන්නේ
සාදු! සාදු! අපිත් උතුම් ශ‍්‍රාවක වන්නේ
ගෞතම ශ‍්‍රාවක වන්නේ ……

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ