විශේෂ නිවේදනයයි!

(මෙය මේ අවස්ථාවේදී කළයුතු ම දෙයක් බව සලකන්න.)

සත්පුරුෂ පින්වත්නි,

මේ ලක්දිව ස්වභාවයෙන්ම යකුන්ගේ වාසභූමියකි. එසේ මිනිස් වාසයෙන් තොරව තිබූ ලක්දිවට අප භාග්‍යවතුන් වහන්සේ තුන්වරක් ම වැඩම කොට ලක්දිවට අරක්ගෙන සිටි යකුන්ව ගිරි දිවයිනට පිටත් කොට යවන ලද්දේත්, ලක්දිවට ආශීර්වාද කරන ලද්දේත්, ලංකා භූමිය ගෞතම බුද්ධ ශාසනය පිහිටන ඒකාන්ත පුණ්‍යක්ෂේත්‍රය නිසා ය.

කාලිංග මාඝ කාලයේවත් නොසිදු වූ ආකාරයේ අතිශයින්ම බිහිසුණු සහ ම්ලේච්ඡ ආගමික ත්‍රස්තවාදයකට දැන් අපගේ සොඳුරු මාතෘභූමිය මුහුණ දී සිටියි.

මෙය සුළු කොට නොතැකිය යුතුය. දැන් ඉතින් එකිනෙකාට දොස් කීමෙන් පලක් නැත. එහෙත් අප විසින් හදවතට එකඟව කළයුතු එක ම දෙයක් ඇත. එනම් සත්‍යක්‍රියා කිරීම යි. එම සත්‍යක්‍රියාව මෙසේ කරන්න.

වෛශ්‍රවණ දෙව්රජුට පින් පිණිස බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් ආලෝකයක් පූජා කරන්න. හැකි නම් වෛශ්‍රවණ දෙව්රජුට පින් පිණිස රතු නෙළුම් හෝ රතු මල් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. ඉන් පසු තෙරුවන් වන්දනා කරන්න. ඉන් පසු එදා විශාලා මහනුවර ත්‍රිවිධ භය දුරුකොට අනන්ත ආරක්ෂාව සැපයූ රතන සූත්‍රය සජ්ඣායනා කරන්න. ඉන් පසු මේ අයුරින් සත්‍යක්‍රියා කරන්න.

  • ඒ භාග්‍යවත් වූ අර්හත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් නවවන මාසයේ දුරුතු පුන් පොහෝදා ශ්‍රී ලංකා භූමියෙහි මහියංගණයට වැඩමකොට ලක්දිවට අරක්ගෙන සිටි බිහිසුණු යකුන් පලවා හැරිය බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වෙනි වසරේදී බක් පුන් පොහෝ දවසේ චූළෝදර මහෝදර නාගයන් දමනය කිරීම පිණිස ලක්දිවට වැඩමකොට වදාළ බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරේදී වෙසක් පුන් පොහෝ දින කැළණියට වැඩම කොට අනතුරුව සමන්කුළු පව්වෙහි ශ්‍රීපාද ලාංඡනය තබා, ශ්‍රී මහා බෝධිය පිහිටන ස්ථානය, රුවන්වැලි මහාසෑය පිහිටන ස්ථානය ආදී තන්හි වැඩමකොට මේ ලංකාද්වීපය බුද්ධ පරිභෝග වස්තුවක් කළ බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සාලවනෝද්‍යානයේදී පිරිනිවන් යහනෙහි සැතපී සිට මේ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදු සසුන පිහිටන ද්වීපය බවත් එනිසා ලක්දිව මිනිස් වාසය අරඹන විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිසට ආරක්ෂාව සලසන ලෙස සක්දෙවිඳුට වදාළ බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑ කරමින් අප‍ගේ මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදු සසුන ලක්දිව පිහිටුවා වදාළ බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිය වන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ ලක්දිව අනුරපුරයෙහි පිහිටා ඇති බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහාසෑයේ වැඩසිටින බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය ශ්‍රී ලංකාද්වීපයෙහි මැනවින් ආරක්ෂා වූ බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • අපගේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, උතුම් ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ආර්ය මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා, අනගාරිකා මෑණිවරු, උපාසක උපාසිකාවෝ මේ මොහොත දක්වා ම සීලාදී ගුණධර්ම රකිමින්, දානාදී පින්කම් කරමින්, ගෞතම බුදු සසුනෙහි පිළිසරණ පතමින් සිටින බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • වෛශ්‍රවණ දෙව්රජු ආටානාටිය සූත්‍රයේදී විපත් කරදර වූ අවස්ථාවන්හිදී සිව්වණක් පිරිසට ආරක්ෂාව සපයන බවට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥාවක් දී ඇති බව සත්‍යයි. සත්‍යයි. සත්‍යයි.
  • මේ සත්‍යානුභාවයෙන්, දැනට බිහිසුණු හළාහළ විෂක් සෙයින් ලක්දිව පුරා පැතිර ඇති මිසදිටු බලවේගය දුරින් ම දුරුවේවා!
  • මේ සත්‍යානුභාවයෙන් සියලු භික්ෂූන් වහන්සේලාට ද සියලු සිල්මාතාවන්ට ද උපාසක උපාසිකාවන්ට ද ආරක්ෂා රැකවරණ සැලසේවා!
  • මේ සත්‍යානු‍භාවයෙන් සියලු පාසල් දරුවන්ට ආරක්ෂාව සැලසේවා!
  • මේ සත්‍යානුභාවයෙන් අපගේ මාතෘභූමිය ආරක්ෂා කරන්නා වූ සියලු රණවිරුවන්ට ආරක්ෂාව සැලසේවා!
  • මේ සත්‍යානුභාවයෙන් හිරු දුටු ගණදුරක් සෙයින් මේ දුර්භාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය වහ වහා දුරු වේවා!