පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය කියා දීම පිණිසයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසාමයි අපි සියලු දෙනාටම මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් එතෙර වෙන්නට බැරිව සිටින්නේ. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොකළ සියලු දෙනාම සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා ඒ අනතුර චතුරාර්ය සත්‍යය අවබෝධ නොකළ හැමෝටම තියෙනවා. මේ භයානක සංසාරයෙන් එතෙර කරවන ධර්මය බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝක සත්වයා හට කියා දෙන කොට බුද්ධිමත් මිනිසුන් විතරක් ඒ ධර්මයට අහුම්කන් දෙනවා. ඒ ධර්මයෙහි හැසිරෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්නවා. සතර අපායෙන් නිදහස් වෙනවා. සංසාරයෙන් එතෙර වෙනවා. නමුත් බුද්ධිමත් නැති කෙනා කොතරම් පිරිසිදු අදහසින් පැවිදි වුනත්, බුද්ධිමත් නැතිකම නිසාම ඒ මූලික අරමුණෙන් බැහැර වෙනවා. ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවලට හසුවෙනවා. සමාජ තත්වය ලබාගැනීමේ ආශාවෙන් නොමඟ යනවා. අන්තිමේදී ඔවුන්ට චතුරාර්ය සත්‍යය ධර්මයමයි අහිමි වෙන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලෙදිත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන අදහසින් පැවිදි වූ පිරිස අතරේ ඔය කොටස් දෙකම හිටියා. තමා තමන්ව පිළිසරණ කරගෙන අනුන් කළ නොකළ දේ ගැන නොව, තමා කළ නොකළ දේ ගැන සොයා බලමින් තමාගේ යහපත සළසා ගෙන පැවිදි ජීවිතය සාර්ථක කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩසිටියා. නමුත් සුළු සුළු කරුණුවලට ආරවුල් හදාගෙන වෛර බැඳගෙන දුර නොබලා වැඩ කළ නොහික්මුණ ආඩම්බරකාරී භික්ෂූන් වහන්සේලා එකලත් සිටියා. බුදුරජාණන් වැඩසිටිද්දී පවා එ් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ සිතේ ඇතිවෙන දුෂ්ටකම හදුනාගන්නට බැරිව ගියා. බුදු බණටවත් අවනත වුනේ නැහැ. ඉතින් ඒ නිසාම ඔවුන් ලොකු අවුලක් හදාගත්තා. ඒක වුනේ මෙහෙමයි.
කොසඹෑ නුවර ඝෝෂිත කියලා මහා ධනවත් සිටුවරයෙක් සිටියා. ඔහු විශාල මුදලක් වියදම් කරලා භික්ෂූන් වහන්සේලා දහස් නමකට වැඩසිටින්න පුළුවන් විහාරයක් කරවලා බුදු සසුනට පූජා කළා. එ් විහාරය හැඳින්වුයේ ‘ඝෝෂිතාරාමය’ යන නමින්. අන්න එ් විහාරයෙහි වැඩසිටි ස්වාමීන් වහන්සේලා අතර පන්සිය නමක් විනය පුරුදු කළා. පන්සිය නමක් ධර්මය පුරුදු කළා.
එක් දිනක් ඒ ධර්මධර භික්ෂූන්ගේ නායක ස්වාමීන් වහන්සේ අමතක වීමකින් වැසිකිළි බඳුනේ වතුර ඉවත් නොකොට ස්වල්පයක් භාජනයේ තිබියදී වැඩම කළා. ඇත්තෙන්ම ඒක සුළු දෙයක්. සුළුවෙන් විසඳාගන්න තිබුනා. නමුත් විනයධර භික්ෂූන් වහන්සේලා එය මහා ලොකු වරදක් ලෙස, බරපතල විදිහට කතා කළා. මෙය මුල් කරගෙන දෙපිරිසම බෙදුනා. දායකයොත් බෙදුනා. නමුත් ප්‍රධාන දායක පින්වතුන් සමඟි කරන්න මහන්සි ගත්තා. ආඩම්බරකම වැඩි නිසා ඒ භික්ෂූන් සමඟි වුනේ නැහැ. සිවුරු දරාගත්තට පස්සේ බොහෝ දෙනෙක් ඕනෑවටත් වඩා හිතට ගන්නවා. කාගෙවත් බසකට අවනත නෑ. එබඳු හිස් පුරුෂයන් තමන් ගැන හිතන්නේ මහා ලොකුවට. මෙතැනදි වුනෙත් ඒකමයි. අන්තිමේදී බුදුරාජාණන් වහන්සේ තුන්වතාවක්ම වැඩම කරලා සමගි වෙන්න කියලා කරුණාවෙන් අවවාද කළා. දීඝීති කෝසල ජාතකයත් දේශනා කළා.
ඔන්න එකෝමත් එක කාලෙක බරණැස් නුවර බරණැස් නමින් ධනවත් රජකෙනෙක් සිටියා. ඒ රාජධානිය කිට්ටුවෙන්ම දීඝීති කෝසල නමින් ප්‍රාදේශීය රජෙක් හිටියා. ඔහු එතරම් ධනවත් නැහැ. අර බරණැස් රජතුමා ඒ රාජ්‍යය ආක්‍රමණය කරන්න කල්පනා කළා. දීඝීති කෝසල රජතුමාට මෙය සැළ වුනා. රජතුමා රජකම අත්හැරලා බිසවත් සමඟ පැන ගියා. ගෙවල්වල කුලී වැඩ කරමින් ජීවත් වුනා. බරණැස් රජතුමාගේ චරපුරුෂයන්ට මේ දෙදෙනාව හසු වුනා. අත්අඩංගුවට ගත්තා. එ් දෙදෙනාටම මරණීය දණ්ඩනය නියම වුනා. ඒ දෙන්නාගේ ගෙලෙහි රතු වදමල් මාලාවන් පැළඳෙව්වා. මළ බෙර ගසමින් වීදියක් ගානේ රැගෙන ගියා. ඒ යද්දී දීඝීතිකෝසල රජතුමාගේ දීඝාවු නම් එකම පුත් කුමරා ගුරුගෙදර සිට මව්පියන් සොයාගෙන එමින් සිටියා. දංගෙඩියට තම මව්පියන් රැගෙන යන විට සෙනඟ පීරාගෙන මේ පුත් කුමරා ඉදිරියට පැන්නා. දීඝීතිකෝසල රජතුමා පුත් කුමරාව හඳුනා ගත්තා. කෑගහලා මෙහෙම කිව්වා. “පුතේ දීඝාවු, ළඟ නොබලන්න. දුරබලන්න” කියලා.
මේ රජතුමාට පුතෙක් ඉන්න බව කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා එය කාටවත් තේරුනේ නැහැ. පුත් කුමරා හරිම ඥානවන්තයි. තම පියාණන්ගේ අන්තිම අවවාදය සැණෙකින් අවබෝධ වුනා. පස්සෙන් පස්සට ගිය පුත් කුමරා සෙනෙඟ අතරට වැදී නොපෙනී ගියා. රජතුමාත් බිසවත් මැරුම් කෑවා. ඔවුන්ගේ අත පය ඉරා තැන තැන එල්ලුවා. එදා රෑ රහසේ පැමිණි පුත් කුමරා මිනිසුන්ට මුදල් දී මව්පියන්ගේ සිරුරු කැබලි එකතු කොට ආදාහනය කළා. ඒ පළාත අත්හැරලා පැන ගියා.
දීඝාවු කුමාරයාගේ හිතේ දැන් තිබෙන්නේ එකම එක දෙයයි. එනම් මව්පියන් මැරූ පළිය රජතුමාගෙන් ගැනීම පමණයි. මේ කුමාරා හොඳින් වැඩුනා. ලස්සන පෙනුමක් ඇති වුනා. රජවාසලට සේවා පිණිස බැඳුනා. අන්තිමේදී රජ්ජුරුවන්ගේ සිත දිනා ගැනීමට මේ කුමරා සමත් වුනා. රජතුමාගේ හොඳම යහළුවා බවට මොහු පත් වුනා.
දිනක් පිරිස සමඟ රජතුමා දඩයම් ගියා. එදා අස්රිය පැදෙව්වේ දීඝාවු කුමාරයා විසිනුයි. පිරිසෙන් වෙන් වන පරිදි රජතුමාව ඈතට අරගෙන ගියා. වනයේ අතරමං කෙරෙව්වා. රජතුමා තනිවුනා. දඩයමේ ගිය රජතුමාට හරි මහන්සියි. රජතුමයි, කුමාරයයි විතරයි දැන් ඉන්නේ. රජතුමාට නිදිමතයි. කුමාරයාගේ උකුලේ හිස තබා සැතපුනා. රජතුමා මොහොතකින් නින්දට වැටුනා.
කුමාරයාට අතීත සිදුවීම් එකිනෙක මතක් වෙන්න පටන් ගත්තා. කෝපය උහුලාගන්න බැහැ. “ඔව්… දැන් මම මේ පුද්ගලයාව මරලා දනවා. මගේ මව්පියන් වැනසූ මේ සතුරාව මොහොතක්වත් ජීවත් කරවිය යුතු නැහැ” කියලා හෙමිහිට කොපුවෙන් කඩුව ඇදලා ගත්තා. කඩුමිට තදින් මිරිකා ගත්තා. ඒ සැණින්ම එදා මහපාරේ මරණය කරා යමින් සිටි තම පියාගේ අන්තිම අවවාදය රැව් පිළිරැව් දෙන්න පටන් ගත්තා. “පුතේ දීඝාවු, ළඟ නොබලන්න. දුරබලන්න” කියලා. “ඔව්, මගේ පියාණෙනි, මං ළඟ බලන්නේ නෑ. දුර බලනවාමයි.” කියලා කුමාරයා හිතිවා. කඩුව හෙමිහිට කොපුවේ දමාගත්තා. මොහොතකින් කුමාරයාට එය අමතක වුනා. ආයෙමත් වෛරය ඇති වුනා. කෙපුවෙන් කඩුව ඇදලා ගත්තා. හරි පුදුමයි! පියාගේ අවවාදය පුත් කුමරාගේ හිතේ නැවතත් රැව්පිළිරැව් දුන්නා. අයෙමත් කඩුව කොපුවේ දමා ගත්තා. තුන්වැනි වතාවෙත් පුත් කුමරා මේ වතාවේ නම් මරණවාමයි කියලා කොපුවෙන් කඩුව ඇදලා ගත්තා. පියාගේ අවවාදයෙහි මනාව පිහිටි මේ බුද්ධිමත් කුමරාගේ සිතේ යළි යළිත් ඒ අවවාදය රැව්පිළිරැව් දුන්නා. අන්තිමේදී කඩුව කොපුවේ දමා ගත් පුත් කුමරා සුසුම් හෙළන්න පටන් ගත්තා.
රජතුමා තිගැස්සිලා ඇහැරුනා. රජතුමා හොඳටම භය වෙලා. ඇස් ලොකු වෙලා…. වේගයෙන් හුස්ම ගන්නවා. “දරුවා… මං දැන් මහා භයානක හීනයක් දැක්කා. මගේ අතින් අර දීඝීතිකෝසල රජතුමාත්, එම බිසවත් මරණයට පත් වුනා. ඔවුන්ගේ පුතෙක් කඩුවක් රැගෙන මාව මරන්න උත්සාහ කළා. දරුවා… මට හිතාගන්න බැහැ. මෙහෙම හීනයක් පෙනුනේ මක් නිසාද? කියලා. මට හිතාගන්න බැහැ.” දීඝායු කුමරා වේගයෙන් නැගිට්ටා. කොපුවෙන් කඩුව අතට ගත්තා. රජතුමාගේ කෙස්වැටිය වමතින් අල්ලා ගත්තා. බියකරු බැල්මක් හෙළුවා. දත්කූරු සපමින් මෙහෙම කිව්වා.
“එම්බල රජතුමනි, ඒ පුත් කුමරා මමයි. මගේ මව්පියන් මැරූ පළිය ගන්නට දැන් වෙලාව පැමිණුනා.” රජතුමා හොඳටම භය වුනා. වෙව්ලන්නට පටන් ගත්තා. ජීවිතදානය ඉල්ලා සිටියා. සමාව ඇයැද සිටියා. ඒ සැණින්ම පුත් කුමරාට ආයෙමත් පියාගේ අවවාදය මතක් වුනා. පුත් කුමරා කඩුව විසි කළා. රජතුමා ඉදිරියේ වැඳ වැටුනා. සමාව ඉල්ලුවා. ජීවිතදානය ඉල්ලා සිටියා.
අන්තිමේදී එකිනෙකා ආදරයෙන් වැළඳ ගත්තා. එකිනෙකා යළි කිසිදා විරුද්ධ නොවන බවට සපථ කරගත්තා. රජතුමා මාළිඟාවට පැමිණ එ් පුත් කුමරාට තම දියණිය සරණ පාවා දුන්නා. අන්තිමේදී රජකමත් දුන්නා. අවවාදය නිතර නිතර සිහි කොට එ් අවවාදයට අනුව කටයුතු කිරීමෙනුයි යහපත සිදුවුනේ.
මේ අයුරින් බුදුරජාණන් වහන්සේ අවවාදයට කීකරුවීම ගැන ඉතාම පැහැදිලි ලෙස කියලා දුන්නා. නමුත් ලාභසත්කාරවලින් අන්ධ වූ ඒ භික්ෂුන් වහන්සේලාට අඩදබර කිරීමේ භයානකකම තේරුණේ නැහැ. එකට එක කිරීමේ භයානකකම තේරුණෙත් නැහැ. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ මෙහෙම කිව්වා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, විවේකයෙන් සිටින සේක්වා! බණ භාවනාවෙන් කල් ගෙවන සේක්වා! අපි මේ ආරවුල හදාගත්තේ ප්‍රසිද්ධ වීම පිණිසයි” කියා පැවසීමට තරම් විළිබිය නැති කරගත්තා.
මහාකාරුණික බුදුරජාණන් වහන්සේ සියල්ල හැර දමා පාරිලෙය්‍ය වනයට වැඩම කොට මහත් සැනසීමෙන් යුතුව හුදෙකලා විවේකයෙන් වැඩසිටියා. රැලෙන් වෙන් වූ ඇත් රජෙක්ද හුදෙකලාවේ සිටීමට කැමැත්තෙන් ඒ වනයේ නැවතී සිටියා. ඒ ඇත් රජුත් බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළා.
කොසඹෑ නුවර සිටි සැදැහැවත් ගිහි පින්වතුන් තුළ මහා සිත් වේදනාවක් හටගත්තා. ඔවුන් බලවත් කම්පාවට පත් වුනා. බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කරවීම නිසා ඒ භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය තවත් වැඩි වුනා. ඒ ගිහි පින්වතුන් පිණ්ඩපාතය නොදෙන්නට කතිකා කරගත්තා. ඔවුන් සමඟි වී බුදුරජාණන් වහන්සේගෙන් සමාව රැගෙන පැමිණෙන තුරා මුළු කොසඹෑ නුවර ඇවිද ගියත් ඒ භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතය ලැබුනේ නැහැ.
“බුදුරජාණන් වහන්සේ ගේ අවවාදයට හෝ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ අවවාදයට නොහික්මෙන රණ්ඩු දබර කිරීමටම සැදී පැහැදී සිටින, දායකයින්ගේ සිත පවා අවුල් කරන තමුන්නාන්සේලාට පිණ්ඩපාතෙ බෙදන්න මෙහෙ කවුරුවත් නෑ. බුදුරජාණන් වහන්සේ වනයට වැඩියෙත් තමුන්නාන්සේලාගේ මෙල්ල නොවන දරුණු ගතිය නිසයි. දැන්වත් මේක තේරුම් ගන්න, වඩින්න. බුදුරජාණන් වහන්සේ බැහැදකින්න. උන්වහන්සේගෙන් සාමාව ගන්න. එහෙම වුනොත් විතරයි ඔය පාත්තරේට අපි දන් පිඬක් බෙදන්නෙ.”
ගිහි පින්වතුන් කවුරුත් ඒ මතයේ දැඩිව හිටියා. ගිහි පින්වතුන්ගේ දඬුවමින් ඒ අහංකාර භික්ෂූන් මෙල්ල වුනා. ලාභසත්කාර නැතිවීම ගැන බිය වුනා. කම්පා වුනා. එනිසාම සමඟි වෙන්න තීරණය කළා. සමඟිව බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් සමාව ඉල්ලා සිටියා. ඔවුනට සමාවදී වදාළ මහාකරුණිකයන් වහන්සේ මේ ගාථාවෙන් දහම් දෙසා වදාළා.
පරේ ච න විජානන්ති මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති තතෝ සම්මන්ති මේධගාරණ්ඩු දබරවල පැටළී – එහිම රැඳී සිටිනා විට
එයින් තමන් වැනසෙන බව – ඔවුන් දන්නෙ නෑ කිසිවිට
යමෙකුට වැටහී ගිය විට – වැනසී යන බව එයින්ම
සංසිඳිලා යනු ඇත ඒ – රණ්ඩු දබර සැම දෙයක්ම
පින්වතුනේ, පින්වත් දරුවනේ, කලකෝලාහලවල පැටලුණ කෙනෙකුට වෙන කිසි දෙයක් මතක නෑ. හොඳ නරක මතක නෑ. යහපත අයහපත මතක නෑ. කොටින්ම තමන් කවුද කියලවත් මතක නෑ. එතකොට ඔවුන් කරන්නේ සිතට එන එන දේ කරන එක විතරයි. දුර පේන්නෙ නෑ. ඒ වෙලාවට සතුරන් කරන්නේ ඒ කලකෝලාහල තව තවත් අවුස්සන එකයි. තව තවත් අවුල් කරන එකයි. නූල් පන්දුවක් පැටලෙනවා වගේ අඬදබර කරන පිරිසත් ඔහේ පැටළෙනවා. අවසානයක් වෙන්නේ නැහැ. අන්තිමේදී එයින් විනාශ වෙන්නේ තමන්මයි. අඬදබරවලට මැදි වී ද්වේෂ සහගත සිතින් යුතුව සිටින කෙනා යහපත අයහපත වෙන් වශයෙන් නොදකින නිසාම කුසල්වලින් පිරිහෙනවා. ගුණවත්කමින් පිරිහෙනවා. මනුස්සකමින් පිරිහෙනවා. සත්තු වගේ ජීවත් වෙනවා. ඔවුන් සිතන්නේ පළිගැනීමෙන් සතුටු වීම විතරයි.
එබඳු පිරිහුණු පිරිසක් අතරේ සීල, සමාධි, ප්‍රඥා ප්‍රගුණ වෙන්නේ නෑ. ධර්ම කථාව රැඳෙන්නේ නෑ. සැනසීම ඇතිවන්නෙත් නෑ. එකිනෙකා ගුණධර්මවලින් පිරිහිලා විනාශ වෙලා යනවා. අන්තිමේදී අපායේ ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙනවා.
මේ නිසා පින්වතුනේ, පින්වත් දරුවනේ, සමඟිය පිණිසමයි කටයුතු කළ යුත්තේ. සමාදානය පිණිසමයි කටයුතු කළ යුත්තේ. එක්සත්ව එක් සිත්ව වැඩ කිරීම පිණිසමයි කටයුතු කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ශ‍්‍රාවක සංඝයාගේ සමඟිය සැපයක් (සුඛා සංඝස්ස සාමග්ගි) කියලයි. සමඟි වූවත්ගේ බණ භාවනාව සැපයක් (සමග්ගානං තපෝ සුඛෝ) කියලයි.
යම් හෙයකින් සමඟි වූ සඟ පිරිසක් බෙදීමට කටයුතු කරනවා නම්, එයින් සිදුවන්නේ ආනන්තරීය පාපකර්මයයි. ඒ තුළින් ලැබෙන කටුක විපාක විඳින්න තිබෙන්නේ කල්පයක් ආයුෂය ඇති නිරයේ ඉපදිලයි. නමුත් බිඳුණු සඟ පිරිස සමඟි කරනවා මේ, ඒ තුළින් ලැබෙන සැප විපාක කල්පයක් සුගතියෙහි ඉපදීම පිණිස හේතු වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. එනිසා සමඟියමයි සැපය.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ