“පින් තියෙන අය බණ ඇහුවොත් අවබෝධ කරනවා”
පින්වතුනේ, පින්වත් දරුවනේ, කලින් කථාවේ විස්තරය ඔබට මතකද? බණ අහන්න ආපු අය එක එක විදිහට වෙනස්වෙලා ගියා. නමුත් මේ කථාව ඊට වෙනස්. සසරේ පින් තිබුණු පිරිසක් ගෞතම බුදු සසුනට ඇතුළු වුණා. ඔවුන් සතුටින් පිළිවෙත් පිරුවා. ගුණදම් රැක්කා. දහමේ හැසිරුණා.
ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලා වස් කාලයේ හුදෙකලාව ගත කළා. වස්සානයෙන් පස්සේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට කැමැත්තක් ඇතිවුණා. ඉතින් ඔවුන් පිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට පැමිණුනා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔවුන් සියලු දෙනාගේ සිත්වල ධර්මාවබෝධයට ඇති හැකියාව බුදුරජුන් විසින් විමසා බැලුවා. ඔවුන්ගේ ධර්මාවබෝධය මුහුකුරා යන ආකාරයෙන් මේ ගාථාවන් වදාළා.
කණ්හං ධම්මං විප්පහාය – සුක්කං භාවේථ පණ්ඩිතෝ
ඕකා අනෝකං ආගම්ම – විවේකේ යත්ථ දූරමංනුවණැති කෙනා හැමවිට – දුරු කළ යුතුය අකුසල්
වැඩිය යුතුමය ඔහු නිති – සැප සදා දෙන කුසල්
නිදහස්ව තණ්හාවෙන් – නිවන වෙත පැමිණීමෙන්
ලෝ සතුන් එහි නොඇලෙන – යම් අමා නිවනක් වෙදතත්රාභිරතිමිච්ඡෙය්ය – හිත්වා කාමේ අකිඤ්චනෝ
පරියෝදපෙය්‍ය අත්තානං – චිත්තක්ලේසේහි පණ්ඩිතෝකාම කිසිවක් ඇලුම් නොකරන – ඔහුගෙ සිත නම් ඇලෙයි නිවනට
නුවණැති කෙනා මෙය දැන – සිතේ ඇතිවෙන සියලු කෙලෙසුන්
දුරු කොට හැම විලසින් – සේදිය යුතුය මේ සිතයේසං සම්බෝධිඅංගේසු – සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගේ – අනුපාදාය යේ රතා
ඛීණාසවා ජුතීමන්තෝ – තේ ලෝකේ පරිනිබ්බුතායම් කෙනෙකුගේ සිත – නිවන වෙත යන දහමෙහි
වැඩෙයි නම් මනාකොට – හොඳින් එහි පිහිටා සිත
කෙලෙසුන් බැහැර කොට – නිවනට ඇලුම් කොට
නුවණින් බබලනා ඒ – නිකෙලෙස් මුනිවරු සිටිත් නම්
ඔවුන් මේ හැම ලෝකයෙන් – මිදී පිරිනිවී යති
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා පන්සිය නම මේ උතුම් ධර්මය මොනතරම් අගේට තේරුම් ගන්න ඇද්ද? උන්වහන්සේලාගේ පැවිදි ජීවිතය හිස් වුණේ නෑ. කලණ මිතුරු ඇසුර හිස් වුණේ නෑ. ශාස්තෘ ශාසනයෙන් පල නෙලා ගත්තා. බුදුරජුන්ගේ ඒ උතුම් බණ පද අසා අවබෝධ කරගත් උතුමන් ගැනත් සිත පහදවා ගන්න ඕන. ඒ වගේම ඒ අවබෝධය ඇති කරදෙන උතුම් ධර්මය ගැනත් සිත පහදවා ගන්න ඕන. ඒ චිත්තප්රසාදයමයි අප ඇති කරගත යුත්තේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ