“චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගන්න”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලෙ සිල් සමාදන් වුණ බොහෝ අයට යම් යම් අරමුණු තිබිල තියෙනවා. ඒ කියෙන්නේ, යාලුවො අඬගහන නිසා යනවා නොවෙයි. තමන් යම්කිසි යහපතක් හොයාගෙනයි යන්නේ. නමුත් චතුරාර්ය සත්‍යය අවබෝධයට ඉලක්ක කරගෙන හිටියේ නෑ. ඒ බව මේ කථාවෙන් ඔප්පු වෙනවා.

විශාඛා මහෝපාසිකාව තමයි සැවැත් නුවර ප්‍රධාන දායිකාව. උපෝසථ දිනයක පන්සියයක් පමණ ස්ත්‍රීන් උපෝසථ සිල් සමාදන් වුණා. එදා ඒ සිල් ගත් ස්ත්‍රීන් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කිරීමට දෙව්රම් වෙහෙරට පැමිණියා. විශාඛාවට හරී සතුටුයි. විශාඛා පළමුවෙන්ම ගිහින් ඔවුන් සමඟ කතාබස් කරන්න පටන්ගත්තා.

“බොහොම අගෙයි! මේ අත්තම්මා එතකොට උපෝසථ සිල් සමාදන් වුණා නේද? ඔය අම්මගේ සිල් ගැනීමෙහි අරමුණ මොකක්ද?”

“අනේ විශාඛා දුවේ, මං කල්පනා කළේ මේ මිනිස් ලෝකෙ නම් මට වැඩක් නෑ. දෙවියන් අතර උපදින්න පුළුවන් නෙව සිල් සමාදන් වුණොත්. ඒ නිසයි මං මේ උපෝසථය සමාදන් වුණේ.”

එතකොට විශාඛා ඒ ගැන සතුටු වෙලා තව කෙනෙක් ළඟට ගියා.

“හානේ…. නංගි…. ඔයත් ආවා නේ… හරි හොඳයි… ඔයාටත් මේ සිල් සමාදන් වීමෙහි විශේෂ කාරණයක් තියෙනවද?”

“ඔව් අක්කා… අපි ළඟදිනෙ බැන්දේ… මට හරී ආසයි පින්වන්ත දරු සම්පතක් ලබාගන්න. ඒ කියන්නෙ පුතෙක්. ඉතින් ඒ වෙනුවෙන් තමයි මං මේ සිල්ගන්නේ…”

“එතකොට චූටි නංගියේ… ඔයා මොකද සිල් ගන්නේ….?”

“විශාඛා මෑණියනි, මං කැමතියි හොඳ සත්පුරුෂ ස්වාමියෙක් ලබාගන්න. ඒ නිසයි මං මේ සිල් ගන්නේ…”

“එතකොට මේ නංගි…. සිල් ගත්තේ මොකද?”

“අනේ විශාඛා අක්කේ… මට ගෙදර ඉන්න බැහැ. අපේ ස්වාමියාට බිරින්දෑවරුන් කීප දෙනෙක් ඉන්නවා. අපි ඔක්කොම එකටනෙ ඉන්නේ…. මට අල්ලන්නෑ… අනික මට කේන්ති යනවා… නමුත් පොහොය දවසට සිල් ගත්තාම මගේ හිතට හරි සැපයක් දැනෙනවා… ඒ නිසයි මං එන්නේ…”

මේ විස්තර අහගෙන යද්දි විශාඛාවට මහත් අනුකම්පාවක් ඇතිවුණා. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ අදහසක් නෑ. සෝතාපන්න වෙන්න අදහසක් නෑ.

ඉතින් විශාඛා ඒ සියලු දෙනාව බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන ගියා. ඔවුන් සිල්ගත් අරමුණු පැහැදිලි කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් විශාඛා, ඕක තමයි සසරේ හැටි. ගොපල්ලෙක් කෙවිටක් අරගෙන ගවයන්ව දක්කනවා වගේ මේ උපන් සත්වයාව ජරා මරණවලට තමයි දක්කගෙන යන්නේ. වෙන මොකවත් නෑ. සසරේම යනවා… ආර්ය සත්‍යය පසක් කරගන්නේ ප්‍රඥාවන්තයන් නෙව.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථාරත්නය වදාළා.

යථා දණ්ඩේන ගෝපාලෝ – ගාවෝ පාචේති ගෝචරං
ඒවං ජරා ච මච්චු ච – ආයුං පාචෙන්ති පාණිනං

පහර දෙයි කෙවිටෙන් ගොපල්ලා – තණ බිමට ගවයා යවන්නට
ජරා මරණ ද එලෙස බැටදෙයි – සතුන්ගේ ආයුෂ ගෙවන්නට


පින්වතුනේ, පින්වත් දරුවනේ, එක එක අරමුණුවල අපි ජීවත් වෙද්දී දන්නෙම නැතුව වයසට යනවා. දන්නෙම නැතුව මැරිලා යනවා. ආයෙමත් උපදිනවා. අවසන් නොවන සසර ගමන තුළ කවදාවත් ස්ථිර විසඳුමක් නැහැ. බුදුරජුන්ගේ ධර්මය තුළින් අපට ජීවිතය අවබෝධ කරගන්නට හැකි වුණොත් නම් එදාට තමයි ස්ථිර විසඳුම ලැබෙන්නේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ