“කර්මය විපාක දෙන හැටි හරි පුදුමයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, කර්ම විපාක දෙන හැටි දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඇතැම් කර්ම වලින් කොටසක් මේ ජීවිතයේ විපාක දෙනවා. එයට කියන්නේ ‘දිට්ඨධම්මවේදනීය කර්ම විපාක’ කියලා. තව කොටසක් ඊළඟ ජීවිතයේදී හෝ ආසන්න භවයකදී විපාක දෙනවා. එයට කියන්නේ ‘උපපජ්ජවේදනීය කර්ම විපාක’ කියලා. තව කොටසක් පිරිනිවන් පානා තෙක් විපාක දෙනවා. එයට කියන්නේ ‘අපරාපරියවේදනීය කර්ම විපාක’ කියලා. ඔය විදිහට තමයි කර්ම විපාක දෙන්නේ.

ඉතින් දැන් අපි කියන්නේ හරිම සංවේගජනක කතාවක්. ඒ අපගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ වන මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ජීවිතය අවසන් වුණ ආකාරයයි.

දිනක් අන්‍යාගමිකයන් රැස්වෙලා රහස් සාකච්ඡාවක් පැවැත්තුවා.

“මිත්‍රවරුනි, ශ්‍රමණ ගෞතමයන්ටමයි ලාභ සත්කාර ලැබෙන්නේ. පිළිගැනීම තියෙන්නෙත් ඔවුන්ට විතරයි. ඉස්සර අපේ පස්සෙන් ආපු එවුන් දැන් අහක බලාගෙන යනවා. උන්ට අවබෝධ වෙලාලු!”

“ඔහේලා ඔහොම කියෝ කියෝ ඉන්න. අපට මේ තියෙන ටිකත් ඉස්සරහට නැතිවෙලා යාවි. ශ්‍රමණ ගෞතමයන්ටත් ශ්‍රාවකයින්ටත් විරුද්ධව අපි කොයිතරම් දේවල් කියනවද? බණට ගිහින් අපි කරන්නෙම බනින එකනෙ. ඒත් මුන් යනවනෙ.”

“හරි! තමුසෙලා දන්නවද හේතුව මොකක්ද කියලා…? ඔය පිරිස අතරෙ ඉන්නවා මහාමොග්ගල්ලාන කියලා කෙනෙක්. ඔය පුද්ගලයා තමයි මිනිස්සුන්ව අද්දලා ගන්නේ.”

“ඒ කොහොමද?”

“ඔය පුද්ගලයා දෙව්ලොවට යනවලු! ගිහින් දෙවියන් සමඟ කතාබස් කරනවලු! ඇයි, ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ අපායේ යන්නෙ නැහැලුනේ… ඉතින් මහාමොග්ගල්ලාන මෙහෙ ඇවිදින් කියනවා විස්තර. එතකොට දායකයො තවත් පහදිනවා. නම්ගම්, එහෙ කනබොන දේවල් විතරක් නෙවෙයි එහෙදිත් ධර්මයේ ඉතුරු කොටස අවබෝධ කරනවලු!”

තාපසවරු ඔක්කොම හිනාවෙන්න පටන්ගත්තා.

“මොන සමයංද? ඔය ඔක්කොම ලාභසත්කාර උපද්දවගන්න කියන ගැට…. ඉතින් දැන් අපි මොකද කරන්නේ…?”

“වෙන මොනවා කරන්නද? එක විසඳුමයි තියෙන්නේ…. මොග්ගල්ලානයාව වලපල්ලට යවන්න ඕන.”

ප්‍රධාන තාපසයා කතා කළා.

“අදහස නම් බොහොම අගෙයි! ඒත් කොහොමද එවැනි දෙයක් කරන්නේ?”

“අපි මෙහෙම කරමු. සොරමුලකට ලොකු ගාණක් දෙමු. දීලා වැඬේ භාරදෙමු. උන්දැලා ඉතුරු ටික බලා ගනීවි.”

සියල්ලන්ම මේ යෝජනාවට එකඟ වුණා. දරුණු සොරමුලකට ලොකු මුදලක් දුන්නා.

“එම්බා මිතුරනි, වැඬේ හරියට කෙරෙන්න ඕන. මොග්ගල්ලාන මේ දිනවල වාසය කරන්නේ ඉසිගිලි පව්ව පාමුල ඇති කාලසිලාව මතයි. හැබැයි සම්පූර්ණ ගාණ ගෙවන්නේ වැඬේ කළාට පස්සෙයි.”

ඉතින් කාලසිලා ගල්තලාවෙහි කුටියක අපගේ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ භාවනා සුවයෙන් වැඩසිටියා. ආයුධ සන්නද්ධ පිරිසක් කුටිය වටකොට සිටින බව උන්වහන්සේට භාවනාවෙන් නැගිටින කොටම වැටහුණා.

එතකොට උන්වහන්සේ ඉර්ධිබලයෙන් යතුරු සිදුරෙන් නික්මී වැඩියා. ඒ වතාවේ සොරුන්ට මගහැරුණා.

ආයෙ දවසක් කුටිය වටකළා. ඒ වතාවෙත් උන්වහන්සේ වහළෙ උඩින් වැඩියා. සොරුන්ට ඒ අවස්ථාවත් මගහැරුණා. සොරුන්ගේ කුරුමානම දිගටම පැවතුණා. ආයෙමත් දවසක් අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර කුටියේ වැඩසිටිද්දී සොරු වටකළා. උන්වහන්සේ නුවණින් විමසා බැලුවා ඇයි මෙහෙම දෙයක් වෙන්නේ කියලා. සසරේ කරන ලද කර්මයක් විපාක දෙන්නයි යන්නේ. එදා උන්වහන්සේ කොහෙවත් වැඩියේ නෑ. කුටියේ දොර හැරියා. ඇතුළට ගිහින් වාඩිවුණා. ආයුධ සන්නද්ධව පැමිණි සොරු උන්වහන්සේව වටකොට පහර දුන්නා. හිස පැලුවා. අතපය කැපුවා. පපුව තැලුවා. කොටින්ම කියන්නේ මිනිස් සිරුරක් තිබුණාද කියා සොයාගන්නට බැරි තරමටම අපගේ පරමෝත්තම මහාමොග්ගල්ලානයන් වහන්සේගේ සිරුර කුඩුපට්ටම් කළා.

සොරු සෑහීමකට පත්වුණා. ඔවුන් පිටත්ව ගියා. මහාමොග්ගල්ලානයන් වහන්සේ පළවෙනි පොලු පහර හිසට වදිද්දි අධිෂ්ඨානයක් ඇතිකරගත්තා මාගේ ශාස්තෘන් වහන්සේ බැහැනොදැක මං පිරිනිවන් පාන්නේ නෑ කියලා. ඒ අධිෂ්ඨාන බලය නිසාත්, වඩන ලද ඉර්ධිපාද බලය නිසාත් සහල් ඇට තරමට කුඩු කළ ඒ ශරීරය යළි ධ්‍යාන බලයෙන් ප්‍රකෘතිමත් කළා. අහසින් බුදුරජාණන් වහන්සේ වැඩසිටි වේලුවනයට වැඩියා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං පිරිනිවන් පාන්නයි යන්නේ”

“පින්වත් මොග්ගල්ලාන, ඔබ දැන් පිරිනිවන් පානවාද?”

“එසේය ස්වාමීනී”

“පින්වත් මොග්ගල්ලාන, ඔබ පිරිනිවන් පාන්නේ කොහේද?”

“ස්වාමීනී, ඉසිගිලි පර්වත ප්‍රාන්තයේ කාලසිලා ගල්තලාවේ.”

“මාගේ ළය මඬලින් උපන් දරුව, මට ධර්මය පවසන්න. මෙබඳු වූ ශ්‍රාවකයෙකුගේ දර්ශනය ලොවට අදින් පසු නොලැබෙන්නේය.”

එවිට “එසේය, ස්වාමීනී” කියා මුගලන් මහරහතන් වහන්සේ අනේක වූ ඉර්ධිප්‍රාතිහාර්ය දක්වමින් අතිමිහිරි ස්වරයෙන් චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට නොපෙනී ගියා. කාලසිලා ගල්තලාවේදී පිරිනිවන් පා වදාළා.

මේ සිදුවීම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස තුළම මහත් කම්පනයක් ඇතිකළා. අජාසත්ත රජු මහත් කම්පාවට පත්වුණා. දඹදිව් තලය පුරා විසිරී සිටි බෞද්ධ ශ්‍රාවකයන් තුළ මේ සිදුවීම නිසා මහත් කම්පනයක් ඇතිවුණා. රහතන් වහන්සේලා තුළ ධර්ම සංවේගය උපන්නා. අනාගාමී උතුමන් තුළ මහත් සංවේගයක් හටගත්තා. අනෙකුත් ශ්‍රාවකයන් හඬා වැළපුණා.

අජාසත් රජු මිනීමරුවන් සෙවීම පිණිස චරපුරුෂයන් යෙදෙව්වා. දිනක් සුරාසැලක කෝලාහලයක් ඇතිවුණා. ඒ කෝලාහලයේදී ඔවුන් ගහගත්තා. එක හොරෙක් අනිකාට කෑ ගසා කිව්වා,

“අඩා…. අද තෝ නේද මගේ මත්වතුර බඳුන බිම දැම්මේ? එදා තෝ තමයි මහාමොග්ගල්ලානයන්ට ඉස්සෙල්ලාම පොලු පහර ගැහැව්වේ….”

“හිටු තෝ අල්ලගන්න…. මං විතරක්ද මැරුවේ…? ඇයි තෝත් පොලු පහර ගැහැව්වේ….”

ඔවුන් අතර ඇතිවූ කෝලාහලයෙන් මිනීමරුවන් හෙළිවුණා. රාජපුරුෂයන්ගේ අත්අඩංගුවට පත්වුණා. එකිනෙකා අහුවුණා. ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දි මෙය අන්‍යාගමික කුමන්ත්‍රණයක් බව හෙළිවුණා. ඒ
අන්‍යාගමික තාපසයන්වද අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට දඬුවම් ලැබුණා.

භික්ෂූන් වහන්සේලා රැස්ව මේ සිදුවීම පිළිබඳව නිතර කතා කරන්න පටන් ගත්තා.

“අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේට නම් වුණේ සිදු නොවිය යුතු දෙයක්… මෙතරම් මහා ඉර්ධිබලයකින් හිටපු මහෝත්තමයන් වහන්සේගේ අවසාන මොහොත මේ විදිහට වුණේ ඇයි?”

භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ වුණා.

“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. අපගේ මහාමොග්ගල්ලානයන්ගේ අවසාන මොහොත සිදුවූ විදිහ හරි මදි තමයි. නමුත් සිදුවෙලා තියෙන්නේ තමන්ගේ කර්මයට අනුරූප දෙයක් නෙව. තමන් විසින්ම ඉස්සර ආත්මයක කරපු දෙයක් ඔය විපාක දුන්නේ.

අතීතයේ බරණැස් නුවර එක පවුලක් හිටියා. අම්මයි, තාත්තයි, පුතයි. ඉතින් මේ පුතා තමයි දෑස් නොපෙනෙන දෙමව්පියන්ව පෝෂණය කළේ. කුඹුරු වැඩකරනවා. හේන් වැඩකරනවා. සහල් කොටනවා. උයනවා. දරපලනවා. වතුර ගේනවා. සෑම දෙයක්ම කළේ මේ පුතා විසිනුයි. දෙමව්පියන්ට මේ ගැන හරි දුකයි.

“අනේ පුතේ… අපට හරි දුකයි. ඔයා තනියම මහන්සි වෙනවා. ඔයාගේ උදව්වට සහකාරියක් ඉන්නවා නම් කොයිතරම් හොඳයිද? අපි හොඳ තැනකින් බලන්නද?”

“ඕන නැහැ අම්මා…. මට බඳින්න අදහසක් නැහැ. මං දෙමව්පියො ඉන්නකම්ම උපස්ථාන කරනවා. මට ඒකෙන් යහපතක් වෙනවා.”

මෙහෙම කියද්දි පවා මව්පියන් දරුවාගේ අදහසට කන් දුන්නේ නෑ. දරුවා අකමැති වෙද්දි, කසාදයක් වුවමනා නෑ කියද්දි බලෙන් වගේ ගෑණු ළමයෙකුව බන්දලා දුන්නා.

ටික දවසක් යනතුරු ලේලිය අර මව්පියන්ට උපස්ථාන කළා. ටිකෙන් ටික ගැටුම් ඇතිවුණා. එවිට සැමියා සමඟත් රණ්ඩු අල්ලන්න පටන් ගත්තා. මව්පියන්ට සැළකීම අත්හැරියා. සැමියා පිට ගිය විට අර ලේලිය අමුතු දෙයක් කරනවා. තැන් තැන්වල කුණුරොඩු දානවා. රෙදි අවුස්සලා දානවා. ගේ පුරා හැඩි කරනවා. සැමියා එද්දි අඬාගෙන එළියට යනවා. ගිහින් ගෙට ගොඩවෙන්න කලින් නෝක්කඩු කියනවා.

“බලන්න අනේ…. මං ඔයාට කොච්චර කිව්වාද? මට තවදුරටත් නාකි අන්ධ ජෝඩුවක් සමඟ මේ අපායේ ජීවත් වෙන්න බෑ…. බලන්න මගෙන් පළිගන්න හැටි…! ඔයා ලවා මට බන්නවන්න අන්න කරල තියෙන දේවල්… ගෙවල් හැඩිකරලා…. විනාස කරලා…. පැත්ත පලාතෙ යන්න බෑ…. ඔයා බැන්දෙ මාවද? වෙන කාවවත්ද….?”

මේ තරුණයා බොහෝ ඉවසාගෙන හිටියත් මෙවැනි දේවල් දිගින් දිගටම කිරීමෙන් දෙමව්පියන්ව එපා වුණා.

“හරි! එහෙනම් කියන්න දැන්…. මං මොකද කරන්නේ….? මට අපේ දෙමව්පියන් යවන්න තැනකුත් නෑ….. එකගෙදර ඉන්නත් බෑ…. මට පිස්සු වගේ…. මං මොකක්ද ගත යුතු තීරණය…?”

“මොනවා ගන්නද? ඔය නාකි ජෝඩුව කම්මුතු කරනකම් මට නම් නින්ද යන්නෙ නෑ… මං මේ ගෙදරට ආපු දවසෙ ඉඳලා විඳින අපා දුක මං විතරයි දන්නේ…. අනේ…. මට තාමත් මතක් වෙනවා… මාව බඳින්න හොඳ හැඩකාර මිනිහෙක් ආවා…. දෙමව්පියොත් නෑ…. මගේ අවාසනාව… ඒකා මට කැමති වුණේ නෑනෙ.”

“හරි! හරි! ඔයාට කැමති කෙනෙක් දැන් ඉන්නවානේ….”

“මට දැන් ඔයාවත් එපාවෙලා තියෙන්නේ… මට ගෙදර යන්න හිතයි. හැබැයි මං මේ ඔයාට කියන්නේ අවසාන වතාවට…. මහදෙන්නව මගේ දෑසට නොපෙනෙන්න සැළැස්වුවේ නැත්නම් මං නොකියම යනවා….”

“මොකක්ද අනේ මං දැන් කරන්නේ….?”

“මෙච්චරයි…! අපි කැලෑ පාරක යමු. ගිහින් මහදෙන්නව මරල දාමු. පාඩුවෙ එමු. එතකොට අපේ ප්‍රශ්නෙ ඉවරයිනේ….”

මේ තරුණයාගේ සිත දැඩිවුණා. මව්පියන්ගේ දර්ශනය පවා දැන් මොහුට පිළිකුල්. කතා කරගත් පරිදි නෑදැ ගමනක් යන්න කියලා පිටත් වුණා. ඔවුන්වද කරත්තයක නංවාගෙන කැලෑබද පාරක ඈතට ගියා.

“තාත්තේ…. අපි කරදරේක වැටෙන්නයි යන්නේ… හොරු රංචුවක් මග ඉන්නවා. තාත්තලාට කරදරයක් කරන එකක් නෑ… දෙන්නගෙම ඇස් පේන්නෙ නෑනෙ… අපි මෙතනින් බහිනවා. අපි ටිකක් හැංගිලා ඉඳලා හොරු මගඇරලා එන්නම්….. කෝ…. තාත්තා එන්න…. ඕං ඔහොම වාඩිවෙන්න. මේන්න මේ රැහැන අල්ලගන්න…. හරි… දැන් භය වෙන්න දෙයක් නෑ… ගොන්නු අඩිපාර දිගේ යාවි. අපි හෙමිහිට එන්නම්” කියලා කරත්තයෙන් බැස්සා. අන්ධ දෙමව්පියන් මේ කිසිවක් නොදැන කරත්තෙ යනවා. හොරුන්ගේ විලාසය ගෙන කටහඬ මාරුකොට මහා සිනහ නගමින් කරත්තයට කඩා පැන්නා.

“අනේ පුතේ… අපට අනතුරක් කරන්න එපා…! අනේ පුතේ… උඹලට අපි වගේ දෙමව්පියො ඇති. අපේ ඇස් පේන්නෙත් නෑ….”

සොරුන්ගෙ වෙස් ගත් මේ පුත්‍රයා සහ බිරිඳ අර දෙදෙනාට එකපිට පහර දුන්නා. ඔවුන් මරණයට පත්වුණා. මේ දෙදෙනා ඒ ජීවිතයේ සතුටින් ගෙව්වත් මරණින් මතු නිරයේ ගොස් අනන්ත අප්‍රමාණ දුක් වින්දා. ගණන් කළ නොහැකි තරම් ආත්මභාව ගණනක් ශරීරය කුඩුපට්ටම් වන සේ මරණයට පත්වුණා.

මේ ආත්මයේදී මාගේ අග්‍රශ්‍රාවකයෙකු වූ සියලු කෙලෙසුන්ගෙන් දුරුවූ සසුන් ගුණයෙන් සෝභමාන වූ මෛත්‍රී පිණ්ඩයක් වැනි වූ ඒ මාගේ දරු වූ මහා මොග්ගල්ලානයන් හට අන්‍යාගමිකයන් හා සොරුන් එකතුව කරන ලද මේ දරුණු ක්‍රියාව මහා බලවත් අපරාධයකි. මෙවැනි අපරාධවලදී එහි විපාක ද දරුණුය කියා බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයන් වදාළ සේක.

යෝ දණ්ඩේන අදණ්ඩේසු – අප්පදුට්ඨේසු දුස්සති
දසන්නමඤ්ඤතරං ඨානං – ඛිප්පමේව නිගච්ඡති

දඬු මුගුරු නොමැති වූ – මෙත් ගුණැති රහතුන් හට
යමෙක් දඬු මුගුරු ගෙන – වනසයි ද ඒ රහතුන්
දුෂ්ට නැති සිතින් යුතු – රහත් මුනිවරුන් දැක
යම් කෙනෙක් දුෂ්ට වූ – සිතින් පළිගන්නාහුද
මේ කරුණු දහයෙන් එකක් – වහා ඔවුන් වෙත පැමිණේ

වේදනං ඵරුසං ජානිං – සරීරස්ස ව භේදනං
ගරුකං වාපි ආබාධං – චිත්තක්ඛේපං ව පාපුණේ

සිරුරෙහි හටගන්නේය – මහා දුක් ඇති වේදනා
කැඩී වැනසී යත්මයි – ඔහුගේ හස්ත පාදයෝ
භයානක වූ රෝගයන් – හටගන්නේය ඔහු තුළ
සිහිවිකල් වීමෙන් – වැළඳෙයි උමතු රෝග ද

රාජතෝ වා උපස්සග්ගං – අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ව ඤාතීනං – භෝගානං ව පභංගුරං

දඬුවම් ලැබෙයි ඔවුනට – රජුන් උදහස් වීමෙන්
දරුණු වූ අපරාධයන් හට – හවුල් වී යති ඔවුන්
නෑදෑයන්ද තමන්ගේ – අහිමි වී යනු ඇත්තේ
තමා සතු දේපල – නැසී වැනසී යන්නේ

අථ වාස්ස අගාරානි – අග්ගි ඩහති පාවකෝ
කායස්ස භේදා දුප්පඤ්ඤෝ – නිරයං සෝ උපපජ්ජති

තමාගේ ගේ දොර ද – ගින්නෙන් දැවී යනු ඇත
අනුවණයා එසේ මියගොස් – නරකයෙහි උපදින්නේ


පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙයින් පැහැදිලි වන්නේ සසරෙහි ඇති භයානකකම නොවේද? අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේ ඒ භයානක වූ ඝෝර සසරින් එතෙරට වැඩි සේක. දෙව්ලොවට වැඩම කොට එහි දිව්‍ය යස ඉසුරු පිළිබඳ තොරතුරු මිනිසුන්ට පවසා ඔවුන් පිනෙහි උනන්දු කළ සේක. අප්‍රමාදයෙහි අනුසස් නිතර ඉස්මතු කළ සේක. සිව්වණක් පිරිසට ධර්මයෙහි හැසිරෙන්නට නිරතුරු අනුබල දුන් සේක. අපගේ පරම පූජනීය වූ, ඉර්ධි බලයෙන් අගතැන්පත් මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ පා දූවිලිවලට ද අපගේ නමස්කාරය වේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ