“යහපත් පැවිද්දා අල්පේච්ඡභාවයට කැමතියි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඕනෑවට වඩා බඩු මුට්ටු පුරවා ගත්තොත් ගෙයක් වුණත් ලස්සන නෑ. සාමාන්‍යයෙන් පැවිදි උතුමන් වාසය කරන තැන චාම් වුණ තරමට ලස්සනයි. කොටින්ම බුදුරජාණන් වහන්සේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වූ කෙනෙක්. භික්ෂූන් වහන්සේලාටත් වදාළේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වෙන්න කියලයි. කුරුල්ලෙක් ඉගිල යද්දී ඌට තියෙන්නේ පියාපත් බර විතරයි. මෙතනින් තව තැනකට යද්දී පාත්‍රා සිවුරු විතරක් අරන් යන්න කිව්වා. ඒ කාලෙ වැඩසිටි භික්ෂූන් වහන්සේලා මොනතරම් සැහැල්ලුවෙන් ඉන්න ඇද්ද? හැබැයි ඔය අතරවාරයේ පොට වැරදුණු එක්කෙනෙක් දෙන්නෙක් නම් සිටිය බව පේනවා. දැන් අපි අහන්නේ එවැනි කථාවක්.

සැවැත් නුවර එක්තරා පවුලක් වාසය කළා. ඒ ගෙදර බිරිඳ මැරුණා. ස්වාමියා භික්ෂූන් ළඟට ගිහින් පැවිද්ද ඉල්ලා සිටියා. පැවිදි වෙන්න කලින්ම තමන්ට ඉන්න කුටියක් හැදෙව්වා. ගිනිහල්ගෙයක් හැදෙව්වා. බඩු ගබඩාවක් හැදෙව්වා. ගිතෙල්, මීපැණි ආදිය පිරෙව්වා. ඊට පස්සේ තමයි පැවිදි වුණේ. තමන්ගේ සේවකයන් ලවා පණිවිඩ යවලා කැමති කැමති වෑංජන හදාගෙන ගෙන්න ගන්නවා. රාත්‍රියට වෙන සිවුරක් පොරවා ගන්නවා. දවල්ට තව සිවුරක් පොරවා ගන්නවා. දවල් කාලෙ වෙනත් විහාරයක වසනවා.

දවසක් තමන්ගේ සිවුරු ඇතිරිලි ආදිය සේවකයන් ලවා අව්වට වේලෙන්න දැම්මා. සේනාසන චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා මේවා දැක්කා.

“හප්පේ…! කාගෙද ඇවැත්නි, මෙතරම් සිවුරු පිරිකර…? බොහෝ සඟපිරිසක් ඉන්නවාද?”

“අනේ නෑ ආයුෂ්මතුන් වහන්ස. මං විතරයි ඉන්නේ….”

“එතකොට තමුන්නාන්සෙගෙද මේ ඔක්කොම….?”

“එහෙමයි ඇවැත්නි.”

“ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ අපට අනුමත කළේ සිවුරු තුනක් නෙව. මෙතරම් අල්පේච්ඡ වූ බුද්ධ ශාසනයේ පැවිදි වූ ඔබ බලන්න…. ගොඩගහගෙන තියෙන බඩු කන්දරාව…. මේක නම් හරි නෑ…. යමු භාග්‍යවතුන් වහන්සේ මුණගැසෙමු.”

ඉතා අකමැත්තෙන් ඒ භික්ෂුව අර භික්ෂූන් වහන්සේලා සමඟ පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට කරුණු සැළවීමෙන් පසු උන්වහන්සේ ප්‍රශ්න කළා.

“පින්වත් භික්ෂුව, මේ කතාව ඇත්තද?”

“එහෙමයි ස්වාමීනී”

“පින්වත් භික්ෂුව, දැන් බලන්න…. මේ තරම් අල්පේච්ඡතාවය ගැන කරුණු කියද්දී පිරිකර ගොඩගහගත්තා නේද?”

මෙසේ ඇසීම නිසා ඒ භික්ෂුව කිපුණා. කිපිලා තමන් පොරවාගෙන සිටි සිවුරු එතනම ගලවලා දැම්මා. අඳනය පිටින් හිටගත්තා.

“එතකොට මට කියන්නේ මෙහෙම හැසිරෙන්න කියලද?”

එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

“පින්වත් භික්ෂුව, කලින් ආත්මෙක නම් ඔබ ඔහොම නොවෙයි. රකුසෙක් වෙලා ඉපදිලා හිරි ඔතප් (ලැජ්ජා භය) දැනගන්න ආසාවෙන් දොළොස් අවුරුද්දක් ඒ ගැන කරුණු සොය සොයා ගියා. දැන් මෙතරම් වටිනා බුද්ධ ශාසනයක පැවිදි වෙලා හිරි ඔතප් නැති කරගෙන මේ සිව්වණක් පිරිස මැද්දෙ හිටගත්තා නේද?”

එතකොට ඒ භික්ෂුවට බලවත් ලැජ්ජාවක් ඇතිවුණා. යළි සිවුර පොරවාගෙන සංසුන්ව වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ ඒ අතීත විස්තරය කියල දුන්නා.

ඉස්සර කාලෙ බරණැස් නුවර රජ්ජුරුවන්ගේ බිසවගේ කුසේ මහාබෝසතාණන් වහන්සේ උපන්නා. මහිංසාස කුමාරයා යන නම ලැබුණා. ඒ කුමාරයාගේ බාල සහෝදරයාගේ නම චන්ද කුමරු. මේ දරුවන්ගේ මෑණියන්ව සිටි ඒ බිසව මියගියා. එතකොට රජතුමා වෙන කුමාරියක් අගමෙහෙසිය කළා. ඇයටත් දරුවෙක් ලැබුණා. ඔහුට සූරිය කුමාර කියලා නම දැම්මා. ඒ පුතාව දැකලා රජතුමාට හරි සතුටුයි. රජතුමා දේවියට කිව්වා. ‘මේ දරුවා හරි ලස්සනයි. ඔබට කැමති වරයක් දෙමි’ කියලා. ‘දේවයන් වහන්ස, මං කැමති කාලෙක ඉල්ලන්නම්’ කියලා ඈ කිව්වා.

පුතාට නිසි කල වයස ආවා. එතකොට දේවිය කිව්වා පුතාට රාජ්‍යය දෙන්න කියලා. රජ්ජුරුවන්ගේ හිත රිදුණා.

“එතකොට මගේ අනිත් පුත්තු දෙන්නා….? ගිනි කඳන් වගේ බබලන මේ දරුවන් දෙන්නා සිටිද්දී රජකම නම් දෙන්න පුළුවන්කමක් නෑ.”

එහෙම කියද්දී අර බිසව ආයෙ ආයෙමත් වරය මතක් කරනවා. රජකමමයි ඉල්ලන්නේ. රජ්ජුරුවන්ට හිතුණේ වැඩිමහල් කුමාරවරු දෙන්නට මේ බිසව අනතුරක් කරාවි කියලයි. රජතුමා දරුවන් කැඳෙව්වා.

“මාගේ දරුවෙනි, මං සූරිය කුමාරයා උපන්න දවසේ වරයක් දුන්නා. දැන් එයාගේ අම්මා මගෙන් රජකම ඉල්ලනවා. සූරිය කුමාරයාට දෙන්නලු. ඒකට මගේ කැමැත්තක් නෑ. නමුත් පුතේ, ඔය බිසව ඔයාලට අනතුරක් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මෙහෙන් යන්න. කැලේ ගිහින් වාසය කරන්න. මගේ ඇවෑමෙන් පස්සේ මෙහෙ එන්න. ඇවිත් රාජ්‍යය භාරගන්න.”

එතකොට අර දරුවන් දෙන්නා පිය රජතුමා වැන්දා. රාජාංගණයෙන් නික්මී පිටත් වුණා. සෙල්ලම් කරමින් හිටිය සූරිය කුමාරයා මේක දැක්කා. දැකලා දුවගෙන ගියා. ඔවුන් වනගත වන බව අසා සූරිය කුමාරයත් එයට එකතු වුණා. සියලු දෙනා හිමාල වනයට ගියා. ඒ යන අතරේ බෝධිසත්ව කුමාරයා රුක් මුලක හිඳගෙන සූරිය කුමාරයාට මෙහෙම කිව්වා.

“මල්ලියේ…. අර විලට ගිහින් නාලා පැන් බීලා නෙළුම් කොළවලට අපටත් පැන් අරන් එන්න.”

ඉතින් සූරිය කුමාරයා එතනට ගියා. ඔය විලේ අරක්ගත් රකුසෙක් ඉන්නවා. වෙසමුණි දෙවියන්ගෙන් වරම් අරගෙනයි ඇවිත් ඉන්නේ. වෙසමුණි දෙවියෝ ඔහුට මෙහෙම කියලා තිබුණා. ‘දේවධර්මය දන්න අය හිටියොත් අත්හරින්න ඕන. වෙනකෙනෙක් විලට බැස්සොත් කෑවට කමක් නෑ.’ ඉතින් මොහු කරන්නේ විලට බහින අය ගෙන් දේවධර්මය ඇසීමයි.

සූරිය කුමාරයා විලට බැස්සා. රකුසා මතුවුණා. අල්ලගත්තා.

“කියාපිය! දේවධර්මය යනු කිම?”

“දේවධර්මය යනු හිරුත්, සඳුත් ය.”

“නෑ…! තෝ දේවධර්මය දන්නෙ නෑ” කියලා වතුරෙ අස්සට ගෙනිහින් කුමාරයාව තමන්ගේ භවනේ සිරකළා. බෝසත් කුමාරයා සෑහෙන වෙලාවක් බලා සිටියා. කුමාරයා තාම ආවෙ නෑ. කරදරයක්වත් ද කියලා චන්ද කුමාරයාව පිටත් කළා. චන්ද කුමාරයාත් විලට බැස්සා. අල්ල ගත්තා. දේවධර්මය ඇහුවා. කුමාරයා කිව්වේ සතර දිශාව දේවධර්මය කියලයි. උත්තරේ වැරදියි. ඒ නිසා එයාවත් වතුරෙ අස්සට ගෙනගොස් සිර කළා.

චන්ද කුමාරයත් ගියා ගියාමයි. බෝසත් කුමරු ඒ ගමන විලට පිටත් වුණා. හොඳ කල්පනාවෙන් ගියා. හොඳට වටපිට විපරම් කළා. විලට බැහැපු පා සටහන් තියෙනවා. නමුත් ගොඩට ආපු බවක් පේන්න නැහැ. ඒකාන්තයෙන්ම රකුසෙක් අධිගෘහිත විලක් වගෙයි. ඉතින් බෝසත් කුමාරයා දුනු ඊතල වලින් සන්නද්ධ වෙලා සූදානම්ව සිටියා. එතකොට රකුසා කැලේ ඇවිදින මිනිසෙකුගේ වේශයෙන් ආවා. ඇවිදින් කිව්වා,

“භවත් පුරුෂය, ඔබට සෑහෙන්න මහන්සියි වගේ. මෙච්චර අපූරු විලක් තියෙද්දී බැහැලා නාලා වතුර බීලා නෙළුම් අල කාලා මල් මාලා පැළඳගෙන යන්නෙ නැතුව ඇයි බලාගෙන ඉන්නේ….?”

එතකොට බෝසතාණන් වහන්සේට හිතුණා, මේ තමයි රකුසා කියලා.

“ඇත්ත කියාපිය! මගේ සහෝදරයො දෙන්නා ගත්තෙ නුඹ නේද?”

“එසේය, මමයි ගත්තේ….”

“ඇයි එහෙම ගත්තේ….?”

“මේ විලට බැස්ස අය මට පරිභෝජනයට කැපයි.”

“ඒ කියන්නේ විලට බහින හැමෝම බිල්ලට ගන්නවද?”

“නෑ… දේවධර්මය දන්නා අය බිල්ලට ගන්න අවසර නෑ… ඔබ දේවධර්මය දන්නවාද?”

“එසේය, මම දේවධර්මය දනිමි.”

“පින්වත, එහෙනම් කියන්න…”

“එම්බා රකුස, මගේ ශරීරය දැන් අපවිත්‍රයි. මම නාලා පැන් වළඳලා අලංකාර වෙලා ආසනයක වාඩිවෙනවා. එතකොට ඔහේ මගේ පාමුල වාඩිවෙන්න ඕන. ඒ වෙලාවට දේවධර්මය කියන්නම්.”

යකා කැමති වුණා. ඉතින් බෝසතාණන් වහන්සේ කියා දුන්නා.

හිරිඔත්තප්පසම්පන්නා – සුක්කධම්මසමාහිතා
සන්තෝ සප්පුරිසා ලෝකේ – දේවධම්මාති වුච්චරේ

ලැජ්ජාව සහ භය නැමැති යහපත් ගුණධර්මයන් ගෙන් යුක්ත වූ, ශාන්ත වූ සත්පුරුෂයන් ලෝකයේ සිටිත් ද, ඔවුන්ගේ ඒ ලැජ්ජාව සහ භය දේවධර්මය යැයි කියනු ලැබේ.”
ඉතින් යකා බොහොම සතුටු වුණා.

“නුවණැති පින්වත, මං ඔබට එක සහෝදරයෙක් දෙන්නම්. කවුරුද ඕන?”

“එහෙනම් මට බාල සොහොයුරාව දෙන්න”

“අහෝ! නුඹ නුවණැති කෙනෙක් වුණත්, දේවධර්මය දැනගත්තත්, ඒ දේවධර්මයට අනුකූලව සිටින්නෙ නැහැ නෙව. ඇයි, වැඩිමලා සිටිද්දි බාලයාව දෙන්න කිව්වේ? වැඩිමහලු පිළිවෙලට ගරුකිරීමක් නැද්ද?”

“එම්බා යක්ෂය, මං දේවධර්මය දන්නවා. ඒ වගේම එයට අනුව වාසය කරනවා. අපි වනගත වුණේ ………….. මෙන්න මේ හේතුව නිසයි. ඉතින් අපේ පියාණෝ ඒ වරය නොදී තමයි අපව වනාන්තරයට පිටත් කළේ. ඉතින් මම වැඩිමලා රැගෙන ගිහින් වනාන්තරයේදී බාල මල්ලිව යකෙක් කෑවා කිව්වොත් කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසයි මම ඔහුව මට දෙන්න කියලා කිව්වේ….”

“ඉතා මැනවි කුමාරය. තොප දේවධර්මය දනී. ඒ අනුව වාසය කරයි. තොපට මම සොහොයුරන් දෙදෙනාම දෙමි.”

ඉතින් බෝසත් කුමාරයා යක්ෂ ජීවිතයේ ඇති අනතුර ඔහුට පෙන්වා දුන්නා. පංච ශීලයෙහි සමාදන් කෙරෙව්වා. ඉන්පසු හැමෝම වනාන්තරයේ සුවසේ වාසය කළා. පියරජතුමා මියගිය පසු බරණැසට පැමිණුනා. තමන් රජවුණා. චන්ද කුමාරයා යුවරජු වුණා. සූරිය කුමාරයා සේනාපති වුණා. එදා ඒ ආත්මයේදී රකුසා වෙලා හිටියේ ඔබ. සූරිය කුමාරයා වුණේ ආනන්ද. චන්ද කුමාරයා වුණේ සාරිපුත්ත. මහිංස කුමාරයා වුණේ මම” කියලා භාග්‍යවතුන් වහන්සේ ඉතා මධුර වූ ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළා.

න නග්ගචරියා න ජටා න පංකා – නානාසකා ථණ්ඩිලසායිකා වා
රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං – සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං

පලක් නැතේ සිටියත් නිරුවත් වී – ජටා මඬුලු බැන්දත් සෙත නැත්තේ
පලක් නැතේ දත් මැලියම් තිබුණත් – කුසගින්නේ සිටියත් සෙත නැත්තේ
පලක් නැතේ මඩ තවරා සිටියත් – පලක් නැතේ උක්කුටියෙන් සිටියත්
එතෙර නොවී සිටි විට ඔහු සැකයෙන් – පිරිසිදු බව නැහැ ඇති වන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, අදටත් ඉන්දියාවේ ඔය විදිහයි. නැකතට නිරුවතින් දුවගෙන ගොස් වතුරට පනිනවා. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. කටු ඇතිරිලිවල සයනය කරනවා. වටේට ගිනි ගොඩවල් ගහගෙන මැද්දෙ ඉන්නවා. කෙළවරක් නැති තපස්කම් කරනවා. හැබැයි බුද්ධකාලෙ තරම්ම නෑ. ඒ එකකින්වත් පලක් නැහැ. යමෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කළොත් ඔහු සැකයෙන් එතෙර වෙනවා. ඔහු විතරයි ජීවිතයේ සත්‍යය වූ පාරිශුද්ධිය ලබාගන්නේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ