“පින පල දෙන හැටි පුදුමයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වන විදිහ අපට හිතාගන්න බැහැ. එය තේරුම් ගත හැක්කේ බුදු ඇස තිබෙන භාග්‍යවතුන් වහන්සේට විතරයි. අපගේ භාග්‍යවතුන් වහන්සේට බුදුඇස තියෙනවා. බුදුඇස කියන්නේ විශේෂ ඥාන දෙකක්. ඒ කියන්නේ සත්වයන්ගේ ආසයානුසය දන්නා ඥානයක් තියෙනවා. ඒ තුළින් කෙනෙකුගේ දුර්වලතා පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් උන්වහන්සේට ලැබෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා තව ඤාණයක් තියෙනවා. එයින් සත්වයන්ගේ ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳව පූර්ණ වාර්තාවක් ලැබෙනවා. මෙය බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. එයින් තමයි උන්වහන්සේ තව කෙනෙකුගේ මාර්ගඵලාවබෝධයේ ප්‍රමාණය ගැන පවසන්නේ.

දැන් ඔබ ඉගෙන ගන්නේ එවැනි කථාවක්. හරි පුදුම විදිහට මේ පින්වත් කෙනා ධර්මය කරා ගියා. එක් කාලයක කොසොල් රජ්ජුරුවන්ගේ රාජධානියෙහි එක්තරා ඈත ප්‍රදේශයක කැරැල්ලක් ඇතිවුණා. රජතුමා සන්තති නම් වූ මහ ඇමතිතුමා එය මැඬලන්න පිටත් කළා. ඔහු කැරැල්ල මැඬලා ආපසු ආවා. රජතුමාට හරී සතුටුයි. රජතුමා හත් දවසක් රජෙකුට වගේ සැළකිලි දැක්කුවා. නැටුම්, ගැයුම් වලට දක්ෂ ඉතා සුරූපී ස්ත්‍රියක් උපස්ථානයට දුන්නා. දැන් ඔහු රජෙක් වගේ ඉන්නවා. දවස් හත ගෙවිලා ගියා. අන්තිම දවස නිසා ඇති පදමට බිව්වා. රජ ඇඳුමෙන් සැරසිලා ඇතා පිට නැගී නාන්න පිටත් වුණා.

ඒ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේත් පිඬු සිඟා වඩිනවා. උන්වහන්සේ දොරටු අතර වැඩසිටියා. ඔය අතරේ සන්තති අමාත්‍යයා ඇතා පිටින් යනවා. ඇතා පිට සිටිද්දීම ඔහු භාග්‍යවතුන් වහන්සේ දෙසට හිස ඇල කොට නැමුවා. වන්දනා කළා. පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වුණා.

“ස්වාමීනී, සිනහ පහළ වෙන්නට සිදුවූ දෙය කුමක්ද?”

“පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ වලින්ම ඇමතිතුමාට තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත්වෙනවා. අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා.”

මිනිස්සු වටවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ මේ කරන කතාවට සවන් දුන්නා. මේ වචනය හැමතැනම පැතිරී ගියා. ධර්මයෙහි ඇද හොයන අයට මෙය හොඳ ආයුධයක් වුණා.

“ශ්‍රමණ ගෞතමයන්ගේ වැඩ නම් යසයි! කටට එන එන දේ කියනවා. අර බේබද්දා ඔය විදිහටම ආභරණ සමඟ ආපහු ඇවිදින් බණ අහලා පිරිනිවන් පානවා කියන්නේ. අද නම් ඔය බොරු කීමට අපි නැගී හිටින්න ඕන.”

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් මෙහෙම හිතුවා.

“සැබැවින්ම බුද්ධානුභාවය නම් මහා අශ්චර්යයි! අද බුදුරජුන්ගේ හාස්කමත්, බෞද්ධ ශ්‍රාවක භාවයට පත්වන සන්තති අමාත්‍යයාගේ හාස්කමත් අපට දැකගන්නට පුළුවනි.”

ඉතින් ඇමතිතුමා නාන්න ගියා. හොඳට නෑවා. උයනට ආවා. ශාලාව මැද්දේ වාඩිවුණා. දැන් මෙයා කැවිලි ජාති කකා නැටුම් බලනවා. අර ලස්සන ස්ත්‍රිය සිංදු තාලෙට විදුලිය වගේ නටනවා. මේ ස්ත්‍රියට දවස් හතට තමයි වැටුප් ලැබෙන්නේ. හත්වෙනි දවසේ ඇමතිතුමාව වැඩිපුර පහදවන්න හිතලා වේගයෙන් නැටුවා. ඇයට හෘදයාබාධයක් වැළඳුණා. එතනම මැරිල වැටුණා. සන්තති අමාත්‍යයාට නිකම්ම නැගිට්ටුණා.

“අන්න… මගේ නළඟන වැටුණා… ඉක්මනට ඔසොවා ගනිල්ලා…. ඔය මක් වුණාද…?”

“ඇමතිතුමනි….. මෑ…. මෑ…. මැරිලා…….!”

ඇමතිතුමාට ඉහලට ගත්තු හුස්ම පහළට ගන්නත් අමාරු වුණා. වෙරි හිඳුණා. හඬන්න පටන් ගත්තා. හැමදෙයක්ම එපා වුණා. ‘අයියෝ! මේ මොකක්ද වුණේ…’ කියලා වැළපුණා. බුදුරජාණන් වහන්සේව මතක් වුණා.

“භාග්‍යවතුන් වහන්සේ හැර මේ දුකින් මාව ගලවන්න වෙන කෙනෙක් නෑ…. මට මේවා වැඩක් නෑ… මාව භාග්‍යවතුන් වහන්සේ ලඟට එක්කරගෙන පලයන්…”

නිළියගේ කටයුතු අවසන් කොට මහත් කම්පාවෙන් යුතුව ඔහු සේනාව සමඟ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. තමන්ගේ ශෝකය කියා හිටියා.

“පින්වත, ඔබ ඔය ස්ත්‍රිය ඔය අයුරින් මිය ගිය අනේක ආත්මවලදී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි” යැයි පැවසුවා. ඉන්පසුව උන්වහන්සේ මෙන්න මේ ගාථාව වදාළා.

“යං පුබ්බේ තං විසෝසේහි – පච්ඡා තේ මාහු කිඤ්චනං
මජ්ඣේ චේ නෝ ගහෙස්සසි – උපසන්තෝ චරිස්සසි”

යමක් වූයේ නම් කලින් – වියළා දමන්න සහමුලින්
අනාගතයේ ඇතිවන – කෙලෙස් ඔබ නොගනීවා
මේ මොහොතෙදී කිසිවක් – ඔබට පැටලී නැතිනම්
උපශාන්තව සැබැවින් – හැසිරෙනු හැකිය මැනැවින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔය ගාථාරත්නයයි ඒ මොහොතෙදී බුදුරජාණන් වහන්සේ වදාළේ. හරිම ආශ්චර්යයි! ඔහු අරහත්වයට පත්වුණා. තවමත් රජ ඇඳුම් පිටින් ඉන්නේ. සන්තති රහතන් වහන්සේට තේරුණා තමන්ගේ ආයුෂ අවසන් වී ඇති බව.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා!”

“එසේ නම් ඔබ මෙවැනි වූ විස්මිත අරහත්වයක් ලබන්නට කළ පින ගැන අහසට ගිහින් කියන්න. එතකොට හැමෝටම පිනෙහි වටිනාකම තේරේවි.”

ඉතින් සන්තති රහතන් වහන්සේ ආභරණ පිටින්ම අහසට පැන නැංගා. පළඟක් බැඳ වාඩිවුණා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා පෙර කළ පින අසා වදාරණ සේක්වා! මෙයින් අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙ මං බන්ධුමතී නගරයේ ඉපදිලා හිටියේ. කාටවත් වරදක් නැතුව, හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වෙන්න මං කල්පනා කළා. ඊට පස්සේ මං තෝරාගත්තා බණ කීම. මහජනයාට මං දහම් කරුණු කියාදෙනවා. ‘පින්වත්නි, පින් කරන්න. සිල් රකින්න. දන් දෙන්න. ධර්මය අහන්න. තුනුරුවනට ගෞරව කරන්න…’ ආදිය කියමින් ගියා.

ඒ විපස්සී බුදුරජුන්ගේ පියාණන් වන බන්ධුමතී මහරජුට මං ගැන අසන්නට ලැබුණා. මාව කැඳෙව්වා.

“දරුව, තොප කුමක්ද ඔය කරමින් සිටින්නේ?”

“දේවයන් වහන්ස, මං තුනුරුවන්ගේ ගුණ කියමින් මහජනයාව පිනට යොමු කරනවා.”

“කොහෙ ඉඳන්ද ඒක කරන්නේ?”

“දේවයන් වහන්ස, මං පයින්ම ඇවිදගෙන ගිහින් තමයි ඒක කරන්නේ….”

“දරුව, එහෙම යන්න ඕන නෑ. මල් මාලයක් පැළඳගෙන අශ්වයා පිටේ නැගලා ගිහින් කියන එකයි හොඳ” කියලා මල් දන් දුන්නා. හීලෑ අශ්වයෙක් දුන්නා.

ඉතින් ස්වාමීනී, මං ඒ විදිහට දහම් ඝෝෂාව කරගෙන ගියා. ආයෙමත් රජතුමා මාව කැඳෙව්වා. කැඳවලා මෙහෙම කිව්වා.

“දරුව, අශ්වයා ගැලපෙන්නේ නෑ. මං අශ්ව කරත්තයක් දෙන්නම් කියලා සෛන්ධව අශ්වයන් හතර දෙනෙක් බැඳපු අශ්ව රථයක් දුන්නා. මං ඒකෙ නැගලා තමයි ඊට පස්සේ බණ කිව්වේ. ආයෙමත් මාව කැඳෙව්වා. කැඳවලා මට සැප සම්පත් දීලා මාළිගාවකුත් දීලා ඇතෙකුත් දුන්නා. මං සියලු ආභරණ වලින් සැරසිලා ඇතා පිට නැගිලා අවුරුදු අසූ හාරදහසක් මිනිස්සුන්ව පිනට යොමු කළා.

ස්වාමීනී, එතෙක් මෙතෙක් කාලයක මගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නෙ නෑ. සඳුන් සුවඳ හමනවා. මුඛය ගඳ ගසන්නෙ නෑ. මහනෙල් මල් සුවඳයි. මේ තමයි මා කළ පින්කම.”

ඉතින් ඒ සන්තති රහතන් වහන්සේ අහසේ වැඩසිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පෑවා. ශරීරය ගිනි ගෙන දැවී සමන් මල් මිටක් වගේ ධාතූන් වහන්සේලා ඉතිරි වුණා. භාග්‍යවතුන් වහන්සේ සුදු වස්ත්‍රයක් බිම එළන්න කිව්වා. අන්න ඒ වස්ත්‍රයට ධාතූන් වහන්සේලා වැටුණා. මහාජනයාට වන්දනා කොට පින් කරගැනීම උදෙසා ඒවා තැන්පත් කොට ස්ථූපයක් කෙරෙව්වා.

භික්ෂූන් වහන්සේලා අතර කථාවක් ඇතිවුණා. “මේ ඇත්තා අරහත්වයට පත්වුණේ ගිහි ඇඳුම් පිටින් නෙව. දැන් අපි මොහුට කුමක්ද කියන්නේ….? ශ්‍රමණයෙක් කියනවාද? බ්‍රාහ්මණයෙක් කියනවාද?”

බුදුරජාණන් වහන්සේට මෙය අසන්නට ලැබුණා. උන්වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, මාගේ ළයෙහි උපන් දරුවාට ශ්‍රමණයා කියන්ටත් වටී. බ්‍රාහ්මණයා කියන්ටත් වටී.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

අලංකතෝ චේ’පි සමං චරෙය්‍ය
සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
සෝ බ්‍රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු

සොඳුරු අභරණ වලින් සුසැදිව – සිටි නමුත් හැසිරෙයි ද දහමේ
කෙලෙස් සංසිඳුවාගෙන ඉඳුරන්ද දමනය කොට – තිරව දහමෙහි පිහිටා
උතුම් බඹසර හැසිරුණ – හැම සතුන් වෙත මෙත පතුරා
මුගුරු අතහැර වසනා – යමෙක් වෙයි නම්
හේ බ්‍රාහ්මණයෙක්මයි – ශ්‍රමණයෙක්මයි භික්ෂුවක්මයි


පින්වතුනේ, පින්වත් දරුවනේ, හරි පුදුමයි නේද? හරි දෙයක් කළොත් වරදින්නෙ නෑ. යහපත උදාවෙනවාමයි. මේ ගෞතම බුදුසසුනේ පිහිට ලබන්න තියෙන්නෙත් ඒ වගේ අවංක සිතින් ධර්මයේ හැසිරිලයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ