“පළමුව තමන් හැදුණා නම් කොතරම් අගේද !”
පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුන්ට අවවාද කරන්න හැමෝම ආසයි. හැබැයි තමන් අවවාදයේ පිහිටන එක ගැන වගක් නෑ. තමන්ගේ වැඬේ මගහරිනවා. අනුන්ව හදන්නමයි මහන්සි ගන්නේ. මිනිසා නැමැති සත්ව වර්ගයාගේ ආරම්භයේ සිටම ඔහොම වෙන්න ඇද්ද කියලා හිතෙනවා. එදා ඇති දුර්වලකම් අදත් ඒ විදිහටම පේන්න තියෙනවා. මේකත් එවැනි කතාවක්.
එක්තරා භික්ෂූන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අවවාද ලබාගෙන පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමඟ වනාන්තරයක වාසය කරන්නට පිටත් වුණා. උන්වහන්සේ තමා සමඟ පැමිණි සඟ පිරිසට නිතර උපදෙස් දෙනවා.
“ඇවැත්නි, අපි මේ දහම් අවවාද ගත්තේ ජීවමාන බුදුරජුන්ගේ සමීපයෙන් බව හොඳට මතක තබාගන්න. අප්‍රමාදීව මහණකම කරන්න” කියලා සඟ පිරිසව බලවත්ව භාවනාවට යොමු කරනවා. තමන් ගිහින් හොඳට නිදා ගන්නවා. අර භික්ෂූන් වහන්සේලා රාත්‍රී ප්‍රථම යාමයේ සක්මන් භාවනාවෙන් කල් ගෙවනවා. මධ්‍යම යාමයේ ටිකක් සැතපෙන්න හිතාගෙන විහාරයට වඩිනවා. එතකොට අර අවවාද දෙන භික්ෂුව හොඳින් නිදාගෙන සිට අවදි වූ සැණින් හනික නැගිට ගිහින් අවවාද කරනවා.
“හප්පේ…! තමුන්නාන්සේලා සැතපිලා නිදියන්න ලේස්ති වෙලා නේද ඔය ආවේ…? වහාම යන්න. ගිහින් මහණකම කරන්න.”
ඉතින් අර භික්ෂූන් වහන්සේලා රාත්‍රියේ මධ්‍යම යාමයේත් පිටත සක්මනේ වැඩඉන්නවා. අවවාද කළ භික්ෂුව යළිත් නිදාගන්නවා. රාත්‍රියේ පශ්චිම යාමයේ අනිත් භික්ෂූන් විහාරයට වඩින්නේ ටිකක් විවේක ගන්නයි. එතකොට හොඳට නිදාගෙන සිටි භික්ෂුව ආයෙමත් නැගිටලා ඇවිත් අවවාද කරලා එළියට පිටත් කරනවා.
හැමතිස්සේම මේ විදිහට පස්සෙන් පන්න පන්නා අනවශ්‍ය විදිහේ අවවාද කරන්න යෑම නිසා අනිත් භික්ෂූන් වහන්සේලාට ධර්මය සජ්ඣායනා කරන්නත් බැරිව ගියා. දහම් අවවාද මෙනෙහි කරන්නටත් බැරිව ගියා. චිත්ත පීඩාව ඇතිවුණා.
‘අනේ අපගේ ආචාර්යයන් වහන්සේ මහා බලවත් වීරියකින් යුක්තයි. අපවත් හැම තිස්සේම උනන්දු කරනවා’ කියලා මුලින් හිතුවා. පස්සේ ඒ ආචාර්ය භික්ෂුව නින්දෙන්ම කල් යවන බව හැමෝටම තේරුම් ගියා.
“අයියෝ ඇවැත්නි. අපි වැනසුණා! අපගේ ආචාර්යවරයා හිස් ඝෝෂාවක්නේ කරලා තියෙන්නේ” කියලා පසුතැවුණා. මේ පීඩාව නිසා නින්දෙන් ක්ලාන්ත වූ භික්ෂූන් අතරින් එක නමකටවත් චිත්ත සමාධියක්, මාර්ග ඵල අවබෝධයක් ඇතිකරගන්නට බැරිව ගියා.
වස් කාලේ අවසන් වුණාට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් මෙකරුණ සැළකළා.
“පින්වත් මහණෙනි, දැන් විතරක් නොවෙයි පෙර ආත්මෙකත් ඒ භික්ෂුව ඔබට අන්තරායක්මයි කරලා තියෙන්නේ.
පින්වත් මහණෙනි, බරණැස බ්‍රහ්මදත්ත කියලා රජකෙනෙක් වාසය කරද්දී මං හිටියේ දිසාපාමොක් ආචාර්යවරයා වෙලා. ඒ කාලෙ ශිෂ්‍යයන් පන්සියයක් ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ඒ දිනවල උදේ අවදිවුණේ වේලාව නොවරදවා හඬලන කුකුලෙකු නිසයි. කලක් යද්දී ඌ මැරුණා. දැන් වෙලාව බලන්න ක්‍රමයක් නෑ. එක්තරා ශිෂ්‍යයෙක් හුදෙකලාවේ සොහොනක ජීවත් වූ කුකුලෙක් අරගෙන ආවා. ඇතිදැඩි කළා. ඒ කුකුලාට හැඬලීමේදී කිසි වෙලාවක් කලාවක් නෑ. රෑ ජාමෙටත් හඬලනවා. එතකොට ශිෂ්‍යයන් නැගිටිනවා. එළිවුණා කියලා හිතනවා. පාඩම් කරනවා. ආයෙත් අලුයමත් හඬලනවා. වෙලාවක් නැතුව කුකුලා හඬලන නිසා ශිෂ්‍යයන්ට නින්ද නැතුව ගියා. පාඩම් අවුල් වුණා. නිදිකිරා වැටුණා. කුකුලෙක් නිසා සියලු කටයුතු අසාර්ථක වුණා. ‘මේකා නිසා අපි විනාසයි’ කියලා ශිෂ්‍යයෝ ඒ කුකුලාව ගහල පැන්නුවා.
පින්වත් මහණෙනි, ඒ කාලෙ ශිෂ්‍යයන් වෙලා හිටියේ ඔබ. වෙලාවක් කලාවක් නැතුව හඬලපු කුකුලා වෙලා හිටියේ අර භික්ෂුව. ඒ නිසා අනුන්ට අවවාද කරන්න කලින් තමන් ඒ අවවාදයේ පිහිටා සිටීමයි හොඳ” කියා වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ මියුරු සරින් මෙම ගාථාරත්නය වදාළා.
අත්තානං චේ තථා කයිරා – යථඤ්ඤමනුසාසති
සුදන්තෝ වත දම්මේථ – අත්තාහි කිර දුද්දමෝඅනුන්ට උපදෙස් දෙන්නට – යන්නේ යම් විලසකින් ද
තමා හොඳින් ඒ උපදෙස් – අනුවම කටයුතු කරයි ද
අනුන්ට දෙන උපදේසෙන් – දමනය වෙයි නම් තමන් ද
තමාව දමනය කිරීම – දුකසේ කළ යුතු දෙයක් ය
පින්වතුනේ, පින්වත් දරුවනේ, දැක්කා නේද තමන්ව හික්මවාගන්න තියෙන අමාරුව? අනුන්ට උපදෙස් දෙන්න හැමෝම ලෑස්තියි. හැබැයි ඒ උපදෙස් තමන් පිළිපදින්න ලෑස්ති නෑ. ඒ නිසාමයි හැමදෙයක්ම අවුල් වෙලා යන්නේ. අපිත් අනුන්ට යම් උපදේශයක් දෙනවාද, ඒ අනුව කටයුතු කරන්න පුරුදු වෙමු. ඒකෙන් දෙපක්ෂයටම යහපතක් වෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ තමන් තුළ ධර්මය පිහිටුවාගෙනනෙ අන් අයට ධර්මය කියා දුන්නේ. මොන තරම් අසිරිමත්ද!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ